ජනාධිපතිවරණය කැඳවීමට අවශ්‍ය නැති කාලයක එය කැඳවා ඇති බව බැලූ බැල්මට පෙනුනා වුවත් සැබෑව නම් රාජපක්ෂ ජනාධිපතිවරයාට තව වසර 2ක් කාලය තිබියදීත් මෙසේ ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවී ඇත්තේ එසේ කැඳවීම රටතුල ඇතිවී ඇති අත්‍යවශ්‍ය හේතුවක් වන නිසාවෙනි. රාජපක්ෂ කල්ලිය රට තම අතට ගැනීමෙන් පසුව කරගෙන ගිය දේශපාලනය (එය හැබෑ අර්ථයෙන් දේශපාලනයක් නොවූවා වුවත්) විසින් කරනු ලැබුවේ රටේ ධන සම්පත් එක්තරා කල්ලියක් අතට පත්කර එය කිසිම අයුරක ආරක්ෂාවකට හෝ සංවර්ධනයකට ලක්නොකර ඔවුන්ගේ හිතුමනාපයට නාස්තිකාර ආකාරයෙන් කඩා වඩා ගැනීමයි. එයත් හරියට එක්තරා පුතෙකුට තම පවුලේ ධනය අයිති වූ පසු ඔහු එම ධනය වතුපිටි කර්මාන්ත සංවර්ධනය කරමින් පවත්වා ගන්නවා වෙනුවට ඒවායේ භවබෝග අවසාන වනතුරු තමනුත් තම සහචරයනුත් එක්වී කාබී විනෝදවීම වැනිය. ක්‍රමක්‍රමයෙන් එම වතුපිටි කර්මාන්ත ආදායම් නොදෙන පිට්ටනි සහ ‍ගොඩනැගිලි බවට පත්වෙද්දී මේවා උගසට තබමින් ඒමදිවාට තව ණයට ගන්නා මුදල්ද නැති නාස්ති කරමින් තම සහචරයන් සමග විනෝදවන ලෙසකි. මහින්ද අතට පත්වන ලංකාදේශය මේ නාස්තිකාර පුතෙකු සතුවූ පවුලේ දේපළ මෙන් දැන් විනාශයට පත්කර හමාරය.

රටක් වශයෙන් ලංකාව ලෝකයටම ණයවී ඇති අතර එහි ඇති සම්පත් ලෝකයට විකුණමින් එදිනෙදා වේල හම්බකර ගනී. මිලියන එක හමාරකට වැඩි ශ්‍රමිකයන් ශ්‍රමිකාවියන් ප්‍රමාණයක් මැදපෙරදිග වහල්සේවය කර එවන මුදලින් මේ කල්ලිය බාල් නටති. චීනය හෝ වෙනත් රටක ගිනි පොලියට ගන්නා ණය තව පරම්පරා හතකටත් වැඩි ප්‍රමාණයක් ණයකරුවන් කර තිබේ. මහින්දලා බලයට විත් පසුගිය වසර 9 ක ලංකාවට හිමිකර දී ඇති තත්වය මෙයයි. රටේ සම්පත් කඩාවඩා ගැනීම මිස හදාවඩා ගැනීමක් මොවුන් සිදු නොකරන්නේ එවැන්නකට තරම් දියුණු සංස්කෘතියක් සතු මිනිසුන් මේ කල්ලිය තුල නොවීම නිසාවෙනි.

රාජපක්ෂලා රටේ ජනයාගේ ඡන්දයෙන් බලය ගන්නා විට එසේ ගෙන ඉන්පසු රට තමන් අත්අඩංගුවට පත්කර ගන්නා විට (ඔවුන්ට බලය හිමිවන්නේ ජනතාවගේ වැඩි කැමැත්ත තුලිනි හිට්ලර්ට ජර්මනියේ බලය ලබාදීමේදී එරට ජනයාගෙන් 80%ක් පමන ඔහුට ඡන්දය දෙනු ලැබීය. මුසෝලීනිට ඉතාලියේද මේ අයුරින්ම ජනප්‍රසාදය හිමිවිය. ඔවුන් ඡන්දයෙන් බලයට පත්වී එම රටවල් තමන්ගේ අත්අඩංගුවට පත්කර ගනු ලැබීය). ලංකාදේශය තුල පූර්ණ යහපාලනයක් නොතිබූ බව ඇත්තය. නමුත් එහි මිනිසුන්ට එක්තරා හෝ විශ්වාසයක් තැබිය හැකි රාජ්‍ය ක්‍රමයක් එතුල පැවතුනි. මෙතුල යහපාලනය සහමුලින්ම විනාශ කරමින් තමන්ගේ සිතැඟි මත වැඩකරන ඥාතීන් සහ තම කල්ලියේ සගයින්ගෙනුත් ඔවුන්ගේ ආවතේවකරුවනුත් එහි සෑම අස්සක් මුල්ලක් තුලටම රිංගවනු ලැබීය. යහපාලනය යන වචනය නිග්‍රහ කිරීමට ඇති වදනක් බවට පත්කරනු ලැබීය. යහපාලනයක් ගැන කතා කරන අය විනාශ කර දැමිය යුතු දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසනු ලැබූ අතර පාලන තන්ත්‍රය අසංස්කෘතික තගරි කල්ලියක යටතට ගනු ලැබුනි.

මේ රට තුල මිනිස් අයිතීන් කියා දෙයක් නැති තැනට පත්කරනු ලැබීය. මිනිස් අයිතීන් ගැන කතාකරන්නන්, අධිරාජ්‍ය ගැති ඔත්තුකරුවන් සහ ඩොලර් වලට රට පාවාදෙන ජාති ද්‍රෝහීන් බව රටේ මතය බවට රාජ්‍ය මාධ්‍ය තුලින් නිතිපතා ප්‍රචලිත කරනු ලැබීය. නිදහස් මාධ්‍යවේදීන් රටට විපත් සිදුකිරීමට බලාසිටින පිස්සු බල්ලන් රැලක් ලෙස හදුන්වමින් ඔවුන් හඹාගොස් ඝාතනය කරවීම හෝ තාඩන පීඩනයට ලක්කරනු ලැබීය. ඒ සදහා පාතාල කල්ලි සහ පොලීසි එක්ව වැඩකිරීම අරඹන අතර ආරක්ෂක ලේකම්ගේ අනුග්‍රහයෙන් මේ කල්ලි ක්‍රියාත්මක කරවනු ලබයි. ඒ සමගම කුඩු ජාවාරම්, කප්පම් සහ සියලුම ආකාරයේ දූෂකයන් රාජ්‍ය කරවන කල්ලියේ කොටස්කරුවන් කරගනු ලැබුන අතර මොවුනට එරෙහිව වචනයක් කතාකළ ඕනෑම තත්වයක අයෙකු මොහොතකින් මහමග ඇද පහර දෙන තත්වයක් ඇතිකරනු ලැබීය. මැති ඇමතිවරු පිරිවරාගත් චන්ඩි කල්ලි පොලු මුගුරු ගෙන විරුද්ධ මත දරන අය පසුපස එළව එළවා පහරදෙන දසුන් පසුගිය වකවානුවේ නිතර නිතර රූපවාහිනියේ දකින්නට සලස්වන සංස්කෘතියක් රටතුල ඇතිකරවනු ලැබීය. මෙසේ චන්ඩීන් පිරිවරාගත් දේශපාලඥයන් ප්‍රසිද්ධ ස්ථානවල සැරිසරමින් මිනිසුන්ට අඩම්තේට්ටම් කරමින් ස්ත්‍රීනට ලිංගික බලහත්කාරකම් කරමින් හැසිරෙන්නේ මුළු රටේම අයිතිකරුවන් ඔවුන්ය යන හැඟීමක් ජනයා තුල ඇතිකරවමිනි. මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියාවලින් පසුව පාර්ලිමේන්තුවේ හෝ රූපවාහිනී සාකච්ඡාවල සුදු වතින් සැරසී පෙනී සිටින මොවුන් තම ගොදුරු බවට පත්වූ අය තවදුරටත් මෙම ප්‍රසිද්ධ සාකච්ඡාවන් තුල උපහාසයට හා අපහාසයට පත්කරමින් සිනාසෙන දර්ශන රටට නිති දර්ශනය කරවන සංස්කෘතියක්ද ඔවුන් සමාජගත කරනු ලැබීය.

මේ දෙස බලාසිටින අයට කළහැකි වූයේ ඒ දෙස බලා බියෙන් ඇකිලී පුදුමයෙන් තුෂ්නිම්භූතව ‘අනේ අපොයි රටට ගිය කලක් ‘ යැයි හීල්ලීමට පමනි. එසේ හීල්ලිය යුතු වූයේද රහසිනි. එසේ නොවුනානම් ඔවුනට සිදුවන්නේ ඊළඟ දින තමන්ද ඔවුන්ගේ ගොදුරක් බවට පත්වීමටයි.

මේ සියල්ල සාධාරණීකරණය කරන මාධ්‍යකරුවන් කියන හොරුන් කණ්ඩායමක්ද ඔවුන් සඳහා ලිවීමට කියවීමට රාජ්‍ය මාධ්‍ය මෙන්ම පුද්ගලික මාධ්‍ය ආයතන වලටද පත්කරනු ලබන්නේ මේ දේශය තුල මාධ්‍ය නිදහස යනු මේ කල්ලියේ නිදහස සඳහා කතා කරන ලියන එක බව පසක් කරන අලුත් තත්වයකි. මෙය අමුතුම මාධ්‍ය සංස්කෘතියකි.

බියෙන් ඇලලී ගිය සමාජයක් පවත්වා ගැනීම සඳහා මේ පාලක කල්ලියට එරෙහිවූවන්ට තර්ජන ගර්ජන කිරීම පමණක් නොව සෑම අයුරකින්ම අඩම්තේට්ටම් කිරීම රටේ පාලන සංස්කෘතිය කරගනු ලැබීය.

රටතුල රජ කෙනෙකු ඇතිබව ගීත ගයමින්, ස්ත්‍රෝත්‍ර ගයමින් කලාකරුවන් යැයි කියන කොටස ප්‍රචාරණය කරන අතර මැති ඇමතිවරු ප්‍රසිද්ධියේ රජුට දණබිම ඇඳ වදිනු ලබයි. නිලමෙලා, විදානෙලා, රටේ රාළලා ඒ ඒ පෙදෙස තුල මෙසේ අධිපතිවාදය පතුරවමින් හැසිරෙන අතර කැලේ ඉන්න සතා සිව්පාවා පවා තම මහන්තත්වය පෑමට උපයෝගී කර ගන්නා විගඩන්කාරී තත්වයක් (ඇත්තෙන්ම මෙය ඛේදවාචකයකි) ඇතිකරනු ලැබීය. කැලේ සිටින අලි ඇතුන් මෙම අධිපතීන්ගේ වතුපිටිවල යදමින් බැඳ වදදෙන අශෝබන ම්ලේච්ඡ සංස්කෘතියක්ද මොවුන් ඇතිකරනු ලැබීය. මින් පෙර ලංකා ඉතිහාසය තුල මෙවැනි මෝඩ පසුගාමී අශීලාචාර සංස්කෘතියක් කිසිදෙනෙක පැවතුනු බවක් අසන්නටවත් නොලැබේ. තමා රජු යැයි සිතා සිටින මහින්දගේ සහචරයන් නිලමෙලා, විදානෙලා ලෙස ගම්දනව්වල හැසිරෙන්නේ තමන්ගේ වැයික්කිය තුල තමනට කැමති ඕනෑම නීතිවිරෝධී හෝ අපරාධයක් ප්‍රසිද්ධියේ කරමිනි. එවිට මේ දෙස වේදනාවෙන් බලාසිටීම හැරුණු විට වෙනත් යමක් ජනයාට කළ නොහැකි තත්වයක් ඇතිකර තිබේ. රාජපක්ෂ කල්ලිය සහ ඔවුන්ගේ සහචරයන් පොලිස් සහ හමුදා ආරක්ෂාව යොදා ගනිමින් ඒවාගේම නිල නොවන සන්නද්ධ කල්ලිවල ආරක්ෂාව යොදා ගනිමින් මේ සියලු නොපනත්කම් ප්‍රසිද්ධියේ කරන සංස්කෘතියක් අදවන විට ලංකා දේශයට උරුමකර ඇත.

නීතිය කියා යමක් තවදුරටත් ඉතිරි නොකළ අතර නීතිය යනු ඔවුන්ගේ වචන සහ ඔවුන්ගේ රිසිබව බවට පත්කර හමාරය. මොවුන් තමන් යනු නීතිය යැයි කොයි තරම් දුරට ස්වයං මෝහනයකට පත්ව තිබේද කිවහොත් වරක් ආරක්ෂක ලේකම් රාජපක්ෂ ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ‘‘ඔහු ඒ විදිහට කිව්වොත් මම ඌව හිරේ දානවා’’ යැයි පවසයි. ආරක්ෂක ලේකම් තම නීතිය යැයි සිතන අයුරු මෙතුලින් කියාපායි. මෙවැනි අවර සංස්කෘතියක් ඔවුන් ලංකා දේශයට උරුම කර ඇත.

විදේශ සේවාවන්වලට මොවුන්ගේ අඳබාල හෙංචයියන් පත්කිරීම හේතුවෙන් ලංකාව තුල ජාත්‍යන්තරය ඉදිරියේ කොන්වන තත්වයකට පත්කර ඇත. රාජපක්ෂ කල්ලිය රටතුල නටන ඕනෑම නාඩගමක් ජාත්‍යන්තරය ඉදිරියේ මොවුන් විසින් සාධාරණීයකරණය කිරීමට යාම තුල ලංකාව ලෝකය ඉදිරියේ අවමානයට පත්කර ඇති අතර මේ වන විට අසාර්ථක රාජ්‍යයක් ලෙසද නම්වෙමින් පවතී. රටේ ජනාධිපති සහ කැබිනට් ඇමතිවරු රස්තියාදු කාරයින් මෙන් සරන් ඔසවාගෙන ලෝකයට බැණ ඇඩගැසීම නිසා ලෝකය ඉදිරියේ රාජ්‍යතාන්ත්‍රිකව ලංකාව එතෙක් ලබාතිබූ ගරුත්වය විනාශ කර එය ගැරහීමට ලක්වන තත්වයකට පත්කරනු ලැබ ඇත.

ලෝකය 21 වන සියවසට යමින් ඉලෙක්ට්‍රොනික් යුගයකට පා තබද්දී මේ සියලු තාක්ෂණයන්ම පාවිච්චි කරන අතරම හණමිටි සංස්කෘතියක් ඔවුන් රටතුල ප්‍රචලිත කළහ. ජනාධිපතිගේ සිට සාමාන්‍ය වැසියා දක්වා හැම කෙනෙක්ම වාගේ සාත්තර කරුවන් පිටුපස යමින් අංජනම් බලමින් පේන අසමින් ඉන්ද්‍රජාලිකයන් ආදී මෙකී නොකී මිත්‍යාදෘෂ්ඨීන් පසුපස දුවන අතර සමහර අවස්ථාවන්හිදී අපරාධ ඇල්ලීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවද මෙම ඉන්ද්‍රජාලිකයන් පසුපස යමින් කණප්පු කරකවන තත්වයකට පත්කර ඇත. රටතුල පමණක් නොව අසල්වැසි රටවල දේවාලවලට පවා යමින් සැම දෙවියෙක් ඉදිරියේම වැඳ වැටෙන රාජ්‍ය නායකයින් මේ සඳහා වැය කරන්නේද ජනතාවගේ සම්පත්ය. මෙවැනි පසුගාමී සංස්කෘතියක් මෙතරම් ජනප්‍රිය වී තිබූ යුගයක් මීට පෙර ලංකාවේ කෝට්ටේ යුගයේ තිබූ බව නම් අසන්නට ලැබේ. මිත්‍යදෘෂ්ඨිය රටේ ජනප්‍රිය ක්‍රියාදාමයන් බවට පත්කරන සංස්කෘතියක් මෙම 21 වන සියවසයේ ඉලෙක්ට්‍රොනික් අතරට ගෙනවිත් ඇත.

මා ඉහතින් සදහන් කළ මෙන්ම නොකළ පසුගාමී සංස්කෘතියක් රාජපක්ෂ කල්ලිය විසින් පෙර නොවූ විරූ ලෙස මේ දේශය තුල අද වන විට සමාජ ගත කර හමාරය. එනිසා රාජපක්ෂ කල්ලිය විසින් සංකේතවත් කරනුයේ, ඔවුන් නියෝජනය කරනුයේ මේ පසුගාමී, අසීලාචාර, ග්‍රාම්‍ය මෙන්ම භීෂණයේ සංස්කෘතියයි. එයට එරෙහි සමාජ බලවේගයන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මිනිස් අයිතීන් අගයන ශීලාචාර සමාජ බලවේගයන්හි එකතුව අනික් කණ්ඩායම වන අතර එය අද පොදු අපේක්ෂක මෛත්‍රී වටා ගොනුවී ඇත. එනිසා මේ දැන් උදාවී ඇත්තේ මහින්ද සහ මෛත්‍රී අතර ඡන්දයක් නොව පසුගාමීත්වය හා ඉදිරිගාමීත්වය අතර ඡන්දයකි. එනිසා අද ලාංකීය ජනයාගේ නිදහස සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් අගයන ජනයාගේ යුගයේ යුතුකම වී ඇත්තේ මේ පසුගාමී රාජපක්ෂ කල්ලිය පරදවා ප්‍රගතිශීලී බලවේග දිනවීම සඳහා මෛත්‍රී වෙත තම කැමැත්ත ප්‍රකාශ කිරීමයි.

ලංකා සමාජය අද පත්වී ඇති මේ කාලකණ්නි තත්වය ගැන සියලුම ශීලාචාර මිනිසුන් කණගාටුවෙති. මෙම අශීලාචාර කල්ලියේ බලය අපයෝජනයට එරෙහි වෙති. අද වන විට මෙම අශීලාචාර බලය අපයෝජනයට එරෙහිව ශීලාචාර මිනිසුන් පක්ෂ සහ සංවිධාන එක්වී එක පෙරමුණක් ගෙන තිබේ. එනිසා අද මේ සටන එසේ නැත්නම් මේ ඡන්දය පැවැත්වෙන්නේ බලයේ සිටිනා අශීලාචාර බවට එරෙහිව ශීලාචාර බව අතරයි.

ranjith_hennayakeරංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarchchi