Image Credit: dailynews.lk

මිත්‍රයෙකුට වඩා සතුරෙකුට සමාවදීම ඉතා පහසුය – විලියම් බ්ලේක් (1757 – 1827)

ඒ ජාතික හෙළ උරුමය තමන්ගේ පක්ෂ කාර්යාලය නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටුවා තිබූ කාලයයි. ඒ පක්ෂය ක්‍රමයෙන් විහිදා වැඩෙන අවධිය වූ නමුත් ඊට එතරම් ප්‍රසිද්ධියක්ද නොතිබුණු කාලයක් විය. උදය ගම්මන්පිල එම පක්ෂය ගොඩ නැගීම සඳහා චම්පික රණවක සමඟ විශාල දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙකු විය. එකල ඔහු ගෝඨාබය කෙනෙකු ගැන සිහිනයකිඳු දැන සිටියේ නැත. නමුත් ඔහුට අරමුණක් මෙන්ම ඒ සඳහා වූ සැලසුමක් තිබුණි.

චම්පික වූ කලී ඔහුට තමන්ගේ අරමුණ කරා යෑම සඳහා හමු වූ වැදගත් චරිතයක් බව අමුතුවෙන් කිව යුතු නැත. චම්පික නොසිටියේනම් මේවන විට උදය කියා කෙනෙකු ලංකාව දන්නෙවත් නැතිවන්නට ඉඩ තිබුණි. දේශපාලනික වශයෙන් කුමන ගැටලුව සහ විරෝධයන් තිබුණත් මොවුන් දෙදෙනාගේ මිත්‍රත්වය ලංකාවේ දේශපාලනය තුළ කලාතුරකින් පමණක් හමුවන ආකර්ශනීය සිදුවීමකි.

එකල චමිපික මෙන්ම ගම්මන්පිල වූ කලී, මා හට නිතරම පාහේ හමුවීමට හැකි වූ දේශපාලනඥයින් දෙදෙනෙකු වූහ. ඔවුන්ගේ දේශපාලන න්‍යායන් සමඟ කිසිඳු එකඟතාවයක් මා හට නොතිබුණද ඔවුහු හමුවී කතා බහ කිරීම යම් ආකාරයක වැදගත් කාරණයක් විය.

ගම්මන්පිල බොහෝ අවස්ථාවලදී අවංක වීමට උත්සහ කළ පුද්ගලයෙකි. ඔහුට සෑම දේශපාලන පක්ෂයක් ගැනම නිවැරදි අවබෝධයක් තිබුණා පමණක් නොව එම පක්ෂවල ඉහල පෙළේ නියෝජිතයින් ගැන මනා තකසේරුවක් තිබුණි. දේශපාලනික වශයෙන් ඔවුහු කියවීමට මනා ඥානයක් ඔහුට තිබුණි.

දිනකදී ඔහු, මා සමඟ ජනතා විමුක්ති පෙරමුණ සමඟ කතා කරන්නට විය. ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ කළ කතාබහක් ගැන මතක් කළ හෙතම, එහිදී ජනතා විමුක්ති පෙරමුණේ සිටි නායකයින් ගැන සඳහන් කරන්නට වූයේය.

ඒ විමල් වීරවංශ පක්ෂයෙන් පන්නා දැමීමට පෙර අවධියය. එසේම ඔහු එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් ධූරය දැරූ අවධිය වූයේය.

ගම්මන්පිල කිසිඳු පැකිළීමකින් තොරව වීරවංශ ගැන මෙසේ කිව්වේය. “ විමල් වූ කලී අන්ත කුහක කමේ සහ අවස්ථාවාදයේ නිරූපණයකි. මොහු දන්නා සමාජවාදයක් තබා ගෞරවනීය දේශපාලනයක් නැත,” ඒ ගම්මන්පිල එකල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා වශයෙන් සේවය කළ පසුව ඉන් එලවා දැමූ වීරවංශ ගැන කියූ ප්‍රකාශයය.

නමුත්, ගම්මන්පිලට අනුව ටිල්වින් සිලවා යනු මනා අවබෝධයක් ඇති දේශපාලනඥයෙකි. ටිල්වින්ට නිවැරදි අවබෝධයක් මෙන්ම, රටේ පවතින තත්වය තේරුම් ගැනීමෙහිලා ප්‍රඥාවක් තිබේ. නමුත් වීරවංශ වැනි කුහක මිනිසුන් ඉදිරියේ, එම පක්ෂයේ තත්වය හාත්පසින්ම වෙනස්විය හැකිය.

ඒ විමල් , ජනතා විමුක්ති පෙරමුණෙන් එලවා දැමීමට වසර කිහිපයකට පෙර, ගම්මන්පිල, මා සමඟ කියූ දෙයයි. ඔහු නිවැරදිය. විමල් යනු මෙම කුණු වුණු සමාජ ක්‍රමයේ පෞද්ගලික වාසිය වෙනුවෙන් කුමන හෝ දුර්ගන්ද කටයුත්තක වගකීම මනාව බාරගැනීමට හැකි චරිතයකි.

වසර කිහිපයක් ගත විය. ජාතික හෙළ උරුමය දේශපාලනික වශයෙන් ක්‍රමික වර්ධනයක් ලැබුවේය. මහින්ද රාජපක්‍ෂ සමඟ දේශපාලනික ගනුදෙනුවකට වඩා එහා ගිය මට්ටමේ සම්බන්ධයක් ගොඩ නගා ගැනීමට පක්ෂය සමත් විය. එය තමන්ට නැති බලයක් ජනතාව ඉදිරියේ පෙන්වීම සඳහා මහෝපකාරී විය. සුළු පක්‍ෂ අනුගමනය කළ යුතු ක්‍රමෝපායන් වඩාත් හොඳින් අතහදා බැලීමට ඊට අවස්ථාව ලැබුණි.

ජාතික හෙළ උරුමය සතු මූලික ගුණාංගය වන්නේ කාලෙන් කාලෙට ලංකාවේ මතුවන හෝ මාධ්‍ය මඟින් නිර්මාණය කරන “ප්‍රභල” චරිත සමඟ අත්වැල් බැඳගැනීමය. එම චරිතවලට අවශ්‍ය ලෙස හැසිරීමය.

ගෝඨාබය රාජපක්ෂ සමඟ මනා සම්බන්ධයක් ගොඩ නගා ගැනීමටද එම පක්ෂය, ගම්මන්පිල විශේෂයෙන් යොදා ගන්නේ මෙම උපායේ කොටසක් ලෙසය. එහි ප්‍රතිඵලය ලෙස, රටේ ගැලවුම්කාරයා කෙසේ වෙතත් තම පක්ෂයේ ගැලවුම්කාරයා බවට ගෝඨාබය පත්වෙමින් සිටියේය. ගෝඨාබය මින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගත්තේය. පළමුවැන්නනම් තමන් නොසිතු අන්දමේ පිළිගැනීමක් නිර්මාණය කර ගැනීමය. දෙවැන්න නම් රටේ රාජපක්ෂට එරෙහිව මතුවිය හැකි විරෝධතා කාලයට තල්ලු කිරීමට හැකිවීමය. 18වැනි ව්‍යවස්ථාවට තම අනුමැතිය ලබා දීම ගැන පසුව මෙම පක්‍ෂය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නේ මේ නිසාය.

රාජපක්ෂලාගේ, දේශපාලන ගුණ්ඩු වලට හසුවීමෙන් ඕනෑම අයෙකු මංමුලා වීම වැළක්විය නොහැකිය. රාජපක්ෂගේ කළු කෝපී කෝප්පයේ ඇති අභ්‍යන්තර දේශපාලන න්‍යාය පත්‍රය එයයි. මෙම මංමුලා වූ තත්වය හමුවේ, ජාතික හෙළ උරුමයේ ඉහළ පෙළේ අයවලුන්ට තමන්ගේ ස්ථාවරය ගැන ගැටලු මතු විය. මන්ද එම මංමුලාව බරපතළ අභ්‍යන්තර ගැටලුවකට පාර කපන බව ඔවුන්ට අවබෝධ වූ හෙයිණි. ගම්මන්පිල ඉත්තෙකු ලෙස තබාගෙන රාජපක්ෂලා කරමින් සිටියේ එයයි.

මේ වන විට ගම්මන්පිල පක්ෂයෙන් ඉවත් වී ඇත. පක්ෂයේ නිල වෙබ් අඩවිය පවා තවමත් සම්බන්ධ කොට ඇත්තේ ගම්මන්පිලගේ පෞද්ගලික වෙබ්අඩවියටය. එසේම මතුවෙමින් පවතින සියලු කාරණා වලින් පක්ෂය තුළ සැබෑ අභ්‍යන්තර බෙදීමක් ඇති කිරීම සඳහා ගම්මන්පිල බරපතළ උත්සාහයක නිරතවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙය පසුගිය ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ පොදු අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකාට සහය දැක්වීම සම්බන්ධයෙන් ඇති වූ අර්බුදය හා සමාන තත්වයක් ඇති කිරීමට උත්සහ කිරීමකි. මතුපිටින් පැලැස්තර දැමීමට එම ගැටලුව හටගත් අවස්ථාවේදී හැකි වුවද පසුව එම පක්ෂය දෙකට බෙදී ගියේය.

කෙසේ වෙතත් ගම්මන්පිල වූ කලී එතරම් ශක්තියක් ඇති දේශපාලන සාධකයක් නොවන බව පැහැදිලිය. නමුත් ඔහුට අංචි ඇදීමේ කෞශල්‍ය තිබේ. රාජපක්‍ෂලාට එවැනි පුද්ගලයින් ඉතා වැදගත්ය.

සත්‍යට අනුව නම්, හෙළ උරුමය නැති තැන ඔහුගේ දේශපාලනය දිවයන්නේ වෛරය සහ අනෙකාට ගුණ්ඩු ඇටවීමෙන් හෝ තම අභිප්‍රායන් කෙසේ හෝ මුදුන් පමුණුවා ගන්නා රාජපක්ෂලාගේ චින්තනය මතය. ගම්මන්පිලට ඇත්තේ එක්කෝ විමල්ගේ මාවත එනම් ඕනෑම අසූචි කන්දරාවක් අනුභව කරමින් හෝ දේශපාලනය කිරීමය; නැතහොත් පැත්තකට වී තම ආත්මගරුත්වය රැක ගැනීමය. එසේ කළ නොහැකිනම්, කාලාන්තරයක් ගිය පසු, ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය සමඟ එකතු වීමය.

තමන් විසින් අන්ත කුහකයෙකු ලෙස හඳුන්වනු ලැබූ, විමල්ගේ රථයේ නැගී තමන් විසින් ගොඩ නැගූ පක්ෂය හැරදා පැමිණ අමුලික බොරු මාධ්‍ය ඉදිරියේ කියා පෑමට සිදුවීමට තරම් ගම්මන්පිල මෙකල අවාසනාවන්ත විය. මෙය සැබවින්ම දෛවෝපසහගතය. ඛේදනීයය.

ගම්මන්පිල මේ වන විට කියමින් සිටින කතාන්තරය තුළ ඔහු පෙන්වමින් සිටින්නේ, වීරවංශ සමඟ අලුත් දීග කෑමකට ඔහුගේ ඇති ආශාවය. එසේම, ඔහු මෙම අප්‍රසන්න දේශපාලන ක්‍රමවේදයේ මතුපිටට පැමිණි තවත් එක් මූසිලයෙක් පමණි. මෙම මූසිලයා, රාජපක්ෂ විසින් සිදු කළ සහ කරණ ඕනෑම කටයුත්තක් සාදාරනීකරණය කොට රටේ නව දේශ හිතෛෂියෙකු වී සුපර්මෑන්ගේ ඇඳුම ඇඳ මැක්ඩොනල්ඩ් අනුබහව කිරීමට පමණක් නොව අනාගතයේදී විදෙස් රටක සංචාරය කොට නැවතී සිටින හෝටලයේ බැල්කනි පැනීමට ගොස් කකුළ කඩා ගැනීමට පවා බැරි නැත. රාජපක්ෂ විසින් නිර්මාණය කරන දේශහිතෛශීන්ගේ ඇත්ත මෙයයි.

වරක් මැල්කම් එක්ස් කියූ දෙයකින් මෙය අවසන් කළයුතු යැයි සිතේ. “පාවාදීම වූ කලී මරණයට වඩා නරක දෙයකි. මරණය තේරුම් ගැනීම පහසුය. නමුත් පාවාදීම තේරුම් ගැනීමට පුළුවන්කමක් නැත.” ගම්මන්පිල, මෛත්‍රීගැන කියවන මුසාවාද මඟින් වක්‍රාකාරයෙන් හෙළිදරව් කරන්නේ තමන්ගේම නිරුවත සහ අප්‍රසන්න දේශපාලන භාවිතයයි.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa