sy 800

ඔන්නං මං කියන දේ ඒ හැටියටම ලියා ගන්ඩ.

මම ඔය අරක මේක ලොකු ලොකු දේසපාලන වචන නං දන්නෙ නෑ පුතේ. ඒත් මට ජීවිතේ තේරෙනවා. මනුස්සයො ගැන මට ඉවක් තියෙනවා. මහින්ද මහත්තයා පහුගිය නව අවුරුද්දක්ම අපේ රටේ හිටපු මහා ජනාධිපති රාජයා වෙච්චි. ඔන්න දැන් බලන බලන අතේ, තාප්ප කෑලිවල, බෝක්කු වල, ගස් ගල් උඩ ඇලවිලා එල්ලිලා, ඉන්නවා. අපේ ඇස් වලට බැරි වෙලාවත් වෙන මොනවහරි පෙනෙයි කියලා බයේ වෙන්ඩැ. කොයි අතට ඔලුව හැරෙව්වත් එතුමා කොහේ හරි කොණක අපි දිහාවේ එක එල්ලෙ බලාගෙන පූචානං හිනාවකුත් එක්ක. අවුරුදු නමයක්ම රට කරපු, මහා ආස්චර්ය පෑවැයි කියන ජනාධිපතිතුමාව මේ තරම්ම ඇහැට ඇන ඇන මතක් කරවලා දෙන්න වෙච්චි එකනෙ වැඩේ දෙයියනේ……මට තේරෙනවා එතුමා ඉන්නේ හුගාක් බයෙන්. මොන රජකං කරත් මොන ලොකු කං පෙන්නුවත් එතුමා මේ වෙලාවෙ ඉන්නේ හුගාක් බයෙං……ඒකයි ඔය සොහොන් ලප දැකලා වගේ බය බිරාන්තවෙලා හැසිරෙන්නෙ.

මම ගමේ ගොඩේ නිකං උපාසකම්ම කෙනෙක් . මගෙං දේසපාලනේ ගැන ඇහුවට වැඩක් නෑ. මං ජීවිතේ තේරුං ගන්ඩ හදන්නෙ බුදු බණ මෙනෙහි කරලා. මහින්ද මහත්තයා ගැන හිතනකොට මට හිතෙන්නෙ එතුමා නමින් බෞද්ධයෙක් වුණාට, පන්සල් ගානේ ගිහිං පිරිත් නූල් බැද ගත්තට, බෞද්ධ දහම පොඩ්ඩක්වත් ගැඹුරින් තේරුම්ගත්තු කෙනෙක් නෙවේ කියලයි. දැං ඔය මහා ධනස්කන්ධයක් නිරපරාදෙ වියදං කරගෙන, ‘‘මම‘‘ මම මම…මමම විතරයි, මමම තමයි, මම ඇර වෙන කවුද? කිය කියා පෙන්නගෙන ආයි වතාවක් රටේ ජනාධිපති වෙන්න ඔය තරං වලි කන්නෙ මොටද? රටේ මිනිස්සු වෙනුවෙන්ද? නෑනෙ පුතේ. ඔය සේරම තමුන් වෙනුවෙන්නෙ. කාලයක් රජ පුටුවේ හිටපු ඒ මහත්තයා දන්නවා රජකමේ රහ. මොනතරං වස්තු කන්දරාවක් මේ වෙනකොට කොල්ලකාගෙන තියෙනවද? මං හිතන්නෙ එතුමටයි, එතුමගෙ දරු පවුලටයි, සහෝදරයන්ගෙ පවුල්වල අයටයි තව ආත්ම ගාණක් සැප විදින්න ඕන තරං සල්ලි කුට්ටි ගණනින් හොයා ගෙන ඇති මේ වෙද්දි. බැලූ බැලූ අතේ එතුමාගේ පුතාලට, සහෝදරයින්ට, සහෝදරයින්ගෙ දරුවන්ට, මස්සිනාලට නෑනලට අයිති ඉඩකඩං. දේපල. අරක නාමල් මහත්තයෙගෙයි කියනවා. මේක ගෝටාභය මහත්තයගෙයි කියනව. අර බිල්ඩිම බැසිල්ගෙයි කියනව. මේ වතුයාය යෝෂිත මහත්තයගෙයි කියනව. ඒ හෝටලේ ශිරන්ති නෝනගෙයි කියනවා. මේ ඉස්පිරිතාලෙ නාමල් මහත්තයා අලුතෙන් පවරගත්තයය කියනව. අර ඉඩම චමල් මහත්තය ගත්තය කියනව, එතනින් එහා අක්කර ගාණක් ශිරන්ති නෝනගෙ මල්ලිට අයිතිය කියනව, මෙතනින් එහාට සේරම ගෝටාභය මහත්තයා ගත්තයි කියනවා, අර ටී වී චැනල් එක යෝෂිත මහත්තයගෙ ගෑනු ළමයගෙයි කියනව, මේ රේඩියෝ සේවෙ නාමල් මහත්තයගෙයි කියනව, මේ බිස්නස් එක රෝහිත මහත්තයා තනි අයිතියට අරගත්තය කියනව………. බැලූවහම මුළු රටම එයාලා සල්ලිවලට අරගෙන. ඕවා ඔහොම කරන්නෙ මොකෝ මන්ත්‍රී පඩියෙන්ය? කවුරුවත් හිතන්නෙ නැද්ද මහත්තයෝ මේ පවුලේ උදවිය පහුගිය අවුරුදු ටිකට මේ තරං පෝසත්තු වුණේ කොහොමද කියලා. අපේ ගෙවල්වල දරුවන්ට ඇක්සයිස් පොත, මකනෙ කෑල්ල ගන්ඩ පිච්චිය හොයාගන්නෙ දහ දුක් විදලා…අපි කඩේට ගිහින් සීනි කාල, පොල්තෙල් අරික්කාල, හාල්මැස්සො සීය අරගෙන ඇවිල්ලා එදාවේල පිරිමහගන්නෙ…..එහෙව් දුප්පත්තු තමයි මේ රටේ වැඩිපුර ඉන්නෙ. දිගට හරහට පාරවල් හැදුවැයි, වරායවල් අහස්යාත්‍රා පොළවල් හැදුවයි කියලා අපේ ජීවිත වලට හුස්මක් වැටුනද? ඒවා හදන්නෙත් ඒවායින් එන කොමිස් ගොඩවල් නිසායි කියන්නෙ. ඇත්ත වෙන්ඩැති පුතේ. දැං ඔයා වරාය වල් හැදුවට අහස්යාත්‍රා‍ෙපාළවල් හැදුවට රටේ කොල්ලො කෙල්ලන්ට රස්සා කෑල්ලක්වත් ලැබුණයැ. නිකං පුරසාරං, පූචානං කතා ගොඩාක් විතරයි. රට්ටු මතක් වෙන්නෙ ඡන්දයක් ආවාම විතරයි…දුප්පත් මිනිස්සු ඕන වෙන්නෙ ඡන්දෙට ගහන පොටෝවලට අල්ලන්ඩ විතරයි…..

මේක නං කියන්නඩම ඕනෙ පුතේ…..දැං ඔය මහින්ද මහත්තයයි එතුමගෙ පුත්තුයි, සහෝදරයොයි, තව පවුලෙ නෑ හිතවතුනුයි, මේ වෙනකොට මහා ධනස්කන්ධක් ගොඩ ගහගෙන ඉන්නවා නෙව. පිට රට බැංකුවල එහෙම ඒවා දාගෙන නැතෑ. ඒ රට රාජ්ජවලත් ඉඩ කඩං දේපල අයිති කරගෙන කියනවනෙ. ඉතිං එහෙව් එකේ, රජ පුටුවට තවත් මේ තරං පොරකන්නෙ මොටද දෙයියනේ? ඕක දාලා යන්නෙම නෑයි කියාගෙන රටේ නීති පොතත් වෙනස් කරගත්තනෙ. තන්හාවට සීමාවක් නෑ. කොච්චර ගොඩ ගහගත්තත් තව මදි තව මදි. ඔන්න ඕක තමයි පුතේ බුදු හාමුදුරුවො දේශනා කළේ . මුළු රටම උකස් තියලා, ගහ කොළ, පස්ටික, වතුර ටික පවා විකුණ විකුණ, කුඩු, කැසිනෝ බෝ කරලා රට විනාස කරලා, කෝටි කෙළ කෝටි ගණන් උපයාගත්තත් මහින්ද මහත්තයටයි පවුලටයි තවත් මදි. ඔය තරං ධනය එක් කරගෙන මොනවද පුතේ මනුස්සයෙකුට කරන්ඩ පුළුවන්. අපි ට වගේම මහින්ද මහත්තයට, ගෝටාභය මහත්තයට, නාමල් පුතාට තියෙන්නෙත් මේ මනුස්ස ශරීර කූඩුවමනෙ. දුප්පත් අපි වගේම එතුමන්ලාත් තව දහරි වලපල්ලට යනවා. ඒ යද්දි ඔය සේරම අත් ඇරලා යන්ඩ වෙනවා….

මහින්ද මහත්තයාටයි පවුලේ ඇත්තන්ටයි මේ බුදු බණ ටිකක් අවධාරනෙන් අහන්ඩ සලස්සන්ඩ ඕනෙ. මේ තරං හාමුදුරුවො ඉන්න අපේ රටේ මහින්ද මහත්තයට බුදු බණ මතක් කරලා දෙන්ඩ කෙනෙක් නැති එක එතුමගෙ අවාසනාවක්. කාලයක් රජකං කරලා, ආත්ම දෙක තුනක පරම්පරා ගාණක් නඩත්තු කරන්ඩ තරං හම්බු කරගත්තටත් පස්සෙ දැං ඒ මහත්තයට තියෙන්නෙ ජීවිතේ ගැන ටිකක් සිහි බුද්ධියෙන් කල්පනා කරලා, ඔය බල වස්තු තණ්හාව ටිකක් අත් ඇරලා දාන්ඩ නේද? එතුමට දැන් වයසයි. උන්දැට විතරක් තව මහා කාලයක් මේ ලෝකේ ජීවත් වෙන්න තරං ආශ්චර්යයක්, ප්‍රාතිහාර්යයක් පහළ වෙන්නෙ නෑනෙ. එතුමාත් මේ දුප්පත් අපි වගේම තව කාලෙකින් මිය පරලොව ගිහින්, ඔය සදාකල් වැජඹෙයි කියලා හිතන ජීවිතේ ඉවර වෙනවා. ඒ අවසන් ගමන ඇබිත්තක් හරි හිතේ සාමයෙන් යන්න නං එතුමා දැං කෑදරකම සුළුවෙන් හරි අත් අරින්න සූදානං වෙන්න ඕනෙ. දැනටත් එතුමාගේ මූණ දැක්කම පේනවා, වෛරයෙන්, භීතියෙන්, අසහනයෙන්, පීඩා විදින බව. සාමයක් නැති බව.

අනේ මහින්ද මහත්තයෝ, දැන් ඔය ඇති මහත්තයෝ. දැන් ඕක දාලා යන්න හිතේ සැනසිල්ලෙන්. ශිරන්ති නෝන, නාමල් පුතාලා, ‘‘දැං ඔය හොදටම මදැයි, දැං ඉතිං අපි යමු….‘‘ කියලා එතුමට කියනවනං ඒක මේ වෙලාවේ එතුමා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම සේවෙ. එහෙම නොවුණොත් එතුමාගේ ජීවිතේ මහා අවාසානාවන්ත විදියට අවසන් වේවි කියලා මට දැනෙනවා පුතේ. අර ලිබියාවෙද කොහෙද හිටපු මහින්ද මහත්තයගෙ යාලු ජනාධිපතිතුමා ගඩාපි ට අන්තිමට අත්වෙච්චි ඉරණම අපි දැක්කා…මොන තරං රජකං කරපු ඇත්තෙක්ද ඒ?

අපේ නායක හමුදුරුවනේ මහින්ද මහත්තයට, පවුලෙ අයට බුදු බණ ටිකක් කියා දෙන්න. එතුමන්ලා ඇබින්දක් හරි තන්හාවෙන් අත් මිදුනොත් ඒක උන්නාන්සේලාගෙ ඉදිරි ජීවිතේට සැනසීමක්. අපේ මුළු රටටම මහා වාසනාවක්.

දඹුල්ලේ ලිලී නෝනා

Image Credit: news.lk/via-dbsjeyaraj