Image Credit:apisrilankan

අන්තර්ජාලය, හමුවීම සහ සාමුහිකත්වය සඳහා විශාල අවස්ථාවන් ලබාදී ඇත. මෙය ඇත්තටම හොඳ දෙයකි. දෙවියන් වහන්සේගෙන් ලද දායාදයකි
– පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ( ජනවාරි 2014)

ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය වඩාත් වැදගත් බව සියලුම දෙනාම දනිති. එසේම මෙම සංචාරය සතු දේශපාලන බලපෑම අතිමහත් බව පෙනී යන්නේය. උන් වහන්සේ මෙරටට පැමිණිය යුතුද? නැද්ද? යන ගැටලුව මාස ගණනාවක් තිස්සේ දේශීය සහ කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් කතා බහට ලක් වූ සහ ලක්වෙමින් ඇති මාතෘකාවකි.

නමුත්, උන් වහන්සේගේ මෙරට සංචාරයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනික වශයෙන් වැඩි වාසියක් අත්වේය, යන කාරණය මත ඊට විරුද්ධ වන පිරිසක් වෙති. එසේම රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ අනුගාමිකයින් උන් වහන්සේ පැමිණීමෙන් තමන්ට දේශපාලනික වාසියක් අත්වේය, යන විශ්වාසයෙන් කටයුතු කරති. මෙම දෙපාර්ශවයම වඩාත් සූක්‍ෂම ලෙස කියවීමට කාදිනල් මැල්කම් රන්ජිත් හිමි සමත් වී සිටිති. කදිනල්වරයාට මෙය තමන්ගේ ධූරය පිළිබඳව වූ අභියෝගයක් මෙන්ම ඔහු දේශීය වශයෙන් තනාගෙන සිටින දේශපාලන බලාධිකාරිය හමුවේ පවතින ගැටලුවක් බවට පත්වී තිබේ.

මේ නිසා මෙම සංචාරය පාප්වහන්සේට වඩා අභියෝගාත්මක වී ඇත්තේ, ඉහත සඳහන් කළ කඳවුරු තුනට එනම්, රාජපක්‍ෂට එරෙහි පිල, රාජපක්ෂ පිල, රාජපක්ෂ පිලට වඩාත් හිතකර තීන්දු ගැනීමට කාලාන්තරයක් තිස්සේ කටයුතු කළ කාදිනල්වරයාගේ පිල, ආදියට වඩාත් අභියෝගාත්මක වී ඇති සැටියෙකි.

සැබවින්ම මෙය හාස්‍ය ජනක නාටකයක් බඳුය.

මෙහි ඇති අනුවේදනීය තත්වය වූ කලී මෙම කිසිම පිලකට, පාප්වහන්සේගේ සංචාරයේ ඇති වැදගත්කම සහ එහි සැබෑ දායාදය මෙන්ම අභියෝගය තේරුම් ගැනීමට අසමත් වීමය. විශේෂයෙන්ම මේ වන විට රටේ පැන නැගී ඇති දේශපාලනික වාතාවරණය අනුව උන් වහන්සේගේ පැමිණීම වඩාත් වාසී සහගත වන්නේ විපක්‍ෂයට මෙන්ම පාප්වහන්සේ පැමිණීමට අකමැත්තක් දක්වන පිරිසටය. ඒ මන්ද? එය තේරුම් ගැනීම සඳහා රාජපක්ෂගේ දේශපාලනය සිහි බුද්ධියෙන් කියවිය යුත්තේය.

ආගම සහ දේශපාලනය අතර ඇති සමබන්ධය අතිශය තීරණාත්මකය. එසේම රාජපක්ෂ පවුලට මෙන්ම ඒ වටා එක් රොක් වී සිටින අයවලුන්ට කතෝලික සභාව යනු තමන්ගේ ගැලවුම් මාර්ගයද වන්නේය. ඔවුහු මෙහි ඇති දේශපාලනික වටිනාකම තේරුම්ගත් පිරිසක් වේ. එසේම මෙම බලවේගයේ, තමන් සතුව තබාගත යුත්තේ කුමන කොටසද යන්න වඩාත් මැනවින් තේරුම් ගත් පිරිසකි. රාජපක්ෂ මෙන්ම ඔහුගේ පවුලේ අයවලුන් කතෝලික පල්ලිය සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙල වඩාත් මැනවින් මෙහෙයවනු ලැබුවේය. මීට කාදිනල්තුමා ඉතා වැදගත් විෂයක් ලෙස භාවිතා කළේ,ය යැයි කීම අසත්‍යක් නොවේ.

මේ නිසා කිසිඳු බියක් නොමැතිව රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ මුල් අවධිය තුළ පාප් වහන්සේගේ රුවද ප්‍රදර්ශනය කිරීමට පසුබට නොවීය. නමුත් පසුව එල්ල වූ පුළුල් නමුත් “අර්ථ ශූන්‍ය” විරෝධය හමුවේ උන්වහන්සේ සමඟ සිටි සේයාරුව ප්‍රදර්ශනයට සීමා පැනවීය. එය අර්ථ ශූන්‍ය වූයේ ඒවන විටත් රාජපක්ෂ තම අරමුණු ඉටුකගෙන තිබු හෙයිනි.

මේ අතර වාරයේදී රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රමානුකූලව වෙනස් හැඩතල වලට මාරු කළේය. කතෝලික ඡන්ද පදනම බෙදීමට තම දේශපාලන වේදිකාව අපොහොසත් වීම නිසා එය තම මුල්‍යමය බලය මත පදනම් වූ මෙහෙයුමකට නතු කළේය. එය තවමත් ක්‍රියාත්මකය.

නමුත් සත්‍ය නම්, රාජපක්ෂ ජනාධිපතිවරයා කතෝලික ඡන්ද වල බහුතර වාසිය කිසිම ආකාරයකින් ලබා ගැනීමට හැකි චරිතයක් නොවේ. එය පාප්වහන්සේගේ සංචාරය මත බලපැවැත්වෙන කැමැත්තක් නොවේ. මේ නිසා ඇතැම් පිරිස් සිතන පරිදි කතෝලික ඡන්ද පදනම පාප්වහන්සේගේ සංචාරය හේතුවෙන් ජනාධිපතිවරයාට වාසී ගෙනදීමට සමත් වේය යන්න, මුලාවක් පමණි.

වාසනාවකට මෙන් මෙම සත්‍ය තේරුම් ගැනීමට රාජපක්ෂ මෙන්ම ඔහුගේ මැතිවරණ කණ්ඩායමද අපොහොසත් වී ඇත. මෙහි ඇති අවාසනාව වන්නේ පාප්වහන්සේගේ සංචාරයෙන් තමන්ට අත්වන වාසිය තේරුම් ගැනීමට විපක්ෂය සහ රාජපක්ෂට එරෙහි කඳවුර අපොහොසත් වීමය. එය තේරුම් ගැනීම සහ උන්වහන්සේගේ සංචාරයෙන් තමන්ට සිදුවන ප්‍රයෝජනය තේරුම් ගැනීම මෙහිදී අතිශය වැදගත් වේ.

දැනට සැලසුම්කර ඇති වැඩපිළිවෙලට අනුව මැතිවරණය ජනවාරී 08 වන දින පැවැත් වේ. මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය 09 වන දින රාත්‍රී හෝ 10 වන දින පස්වරුව වන් විට නිකුත් වනු ඇත. එම ප්‍රතිඵලය මෙරට දේශපාලන ඉතිහාසයේ වඩාත් තීරණාත්මක ප්‍රකාශනයක් වනු ඇත. එනම් එම ප්‍රතිඵලය කියවෙන්නේ පාප්වහන්සේගේ සංචාරයට පැය 72කට පෙරය. මෙම තත්වය හමුවේ, ජනරාල් ෆොන්සේකා සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණය නිමා වූ වහාම දැමූ උගුල මෙවර පඩු අපේක්ෂකයාට දැමීමට රාජපක්ෂට හෝ ඔහුගේ මිලිටරියට නොහැකිවනු ඇත.

අවසන් ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසු ඡන්දය දෙවැනිවර ගණන් කිරීමක් වෙත තල්ලු වුවහොත් එමඟින් ඇතිවන දේශපාලන කලබගෑනිය සුළුපටු නොවේ. එසේම ඡන්ද විමසීම පැවැත්වෙන දිනයන් වලදී මෙන්ම ගෙවී යන දින කිහිපය තුළ රටේ තත්වය සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් හෙවත් හැකි උපරිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගෙන්වා ගැනීමට හැකි තත්වයක් නිර්මාණය කිරීම විපක්ෂයේ මුලීක වගකීම වේ. විශේෂයෙන්, උතුර, නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම මෙන්ම දකුණ යන පළාත් වල වෙසෙන ඡන්දදායකයින්ගේ දායකත්වය මෙහිදී තීරණාත්මක බව සියලු දෙනාම දනිති.

ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් මේ වන විටත් වාර්තා වුවද තවමත් ජීවිත හානී සිදු නොවීම අපි ජාතියක් ලෙස සැලකිය යුතු වැදගත් කාරනයකි. එය සතුටුදායක තත්වයකි. මෙම තත්වය මෙලෙසම පවත්වාගැනීමට මෙරට සියලු ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යය.

මැතිවරණය පැවැත්වෙන දිනය, ප්‍රතිඵල නිකුත්වන දිනයන් මෙන්ම මැතිවරණයෙන් පසු උදාවන දින කිහිපය අතිශය තීරණාත්මකය. මෙම දින කිහිපය හැකි පමණ රටේ සිදුවන සියලුම දෑ වල සත්‍ය තොරතුරු ජාත්‍යන්තර මාධ්‍යට මුදාහැරීම මෙන්ම ඒ සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් තිබීම අත්‍යවශ්‍ය වේ. හදිසියේ සිදුවන විදුලිය කැපීම, අන්තර්ජාල පහසුකම් කප්පාදුවට ලක් කිරීම්, දුරකථන විසන්දි කිරීම්, මෙන්ම සිතාගැනීමටවත් නොහැකි දෑ සිදු වීමේ අවධානමක් තිබේ. මේ සියල්ලට රටේ වගකිවයුතු පිරිස් සූදානම් විය යුතුව ඇත. සියලුම ක්‍රමවේදයන් රටේ නිතීයට අනුකූලව මෙන්ම අහිංසාව මත සැලසුම් කළ යුතු වැඩපිළිවෙලක් විය යුත්තේය.

රාජපක්ෂට කළ හැකි සියලුම නාඩගම් නැටිය හැක්කේ අතිශය සීමිත කාලයක් තුළදී පමණි. ඉන් පසු මුළු ලෝකයම ලංකාව කෙරෙහි ඇති අවධානය පාප්වහන්සේගේ සංචාරය හේතුවෙන් තවත් ඉහළ යනු ඇත. මෙය විපක්ෂයට අතිශය වැදගත් අවස්ථාවකි. එබැවින් පාප්වහන්සේගේ පැමිණීමෙන් මැනිය නොහැකි වාසියක් අත්වන්නේ විපක්ෂයටය.

රට තුළ සිදුවන දේශපාලන කලබගෑනි යටපත් කිරීම සඳහා තම බලය මෙන්ම තමන්ගේ මිලිටරිය සීමා රහිතව යොදාගත හැකිය. නමුත් එම අභ්‍යන්තර අවුලට ජාත්‍යන්තර සිදුවීමක් එකතුවීම මඟින් මර්ධකයාට යා හැකි දුර සීමිතය. එබැවින් හුදෙකලා නොවී රටේ තත්වය සමඟ ජාත්‍යන්තර අවධානය දිනාගන්නා සිදුවීම් ඒකරාශී කරගැනීමේ වැදගත්කම මැනවින් තේරුම් ගැනීම විපක්‍ෂයේ කුසලතාවය මත තීරණය වන කාරණයකි.

මේ වන විට රටේ සිදුවන දේශපාලන පෙරළිය ගැන සියල්ලෝම දනිති. එසේම පවතින තත්වය වෙනස් කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂ අති විශාල කැපකිරීමක් නීත්‍යානූකූල නොවන මට්ටමින් කරන්නේය. ලංකා ඉතිහාසයේ එක් මැතිවරණයක් වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කරනු ලැබූ දේශපාලනඥයා ලෙස රාජපක්ෂ වාර්තා තබා අවසන්ය. මෙවැනි අප්‍රසන්න දේශපාලන අවභාවිතයන් රටේ අතීතයට පමණක් නොව අනාගතයටද අයත් නැති කරුණක් සහ පුරුද්දක් කර ගත යුතුව ඇත. එය එපමණකට අපිරිසිදුය.

එබැවින් පාප් වහන්සේගේ මෙරට සංචාරය කෙසේ හෝ සිදුකිරීමට හැකි වාතාවරණයක් සකස් කිරීම පොදු අපේක්ෂකයා, හිටපු ජනාධිපතිනිය මෙන්ම අනෙක් දේශපාලනඥයන් සහ රටේ සැබෑ බුද්ධිමතුන් වෙත පැවරෙන වගකීමක් මෙන්ම සියලු දෙනාගේම යුතුකමක් බවට පත් වී ඇත.

පාප්වහන්සේ නොපැමිණියහොත් රාජපක්ෂ වැනි මර්ධකයෙකුට රටේ තත්වය වඩාත් ක්‍රමෝපායිකව ව්‍යාකූල කළ හැකිය. මේ නිසා රාජපක්ෂ වෙනයම් මාර්ගයකින් පාප්වහන්සේගේ සංචාරය අවලංගු වන අන්දමින් කටයුතු කළහොත් පුදුම නොවේ.

අමතක නොකළ යුත්තේ රාජපක්ෂලා තමන්ගේ කෙටිකාලීන වාසිය සඳහා බොහෝ කැපකිරීම් කරමින් සිදු කරන දෑ සියල්ලගෙන්ම දීර්ඝ කාලීන අවාසියක් රාජපක්ෂලාට හිමිවීමට තරම් ඔවුහු දෛවෝපගතය. එය රටේ වාසනාවකි. පාප්වහන්සේගේ සංචාරයේ අවසන් විග්‍රහය කියවෙන්නේද මීට යටත්වය.

ආජන්ටිනාවේ ජනාධිපති ලෙස 2003 සිට 2007 දක්වා කටයුතු කළ නෙස්ටෝර් කාලෝස් කෙර්ච්නර් සම්බන්ධයෙන් එවකට ජෝර්ජ් මාරියෝ නමින් කාදිනල්වහන්සේ කෙනෙකු වූ පසුව 266 වන පාප් වහන්සේ ලෙස කතෝලික සභාව තෝරාගත් පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙසේ සඳහන් කළහ. “මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ ත්‍රස්තවාදයෙන්, මර්ධනයෙන් හෝ ඝාතනයන් මඟින් පමණක් නොවේ. පුළුල් විෂමතාවයක් ඇතිකරන අසාදාරණ ආර්ථික ක්‍රමයන් වලින්ද එය සිදුවේ.”

එබැවින් ලංකාවේ පවතින සැබෑ තත්වය තේරුම් ගැනීම සහ රටට අවශ්‍ය වැඩපිළිවෙල ගැන තමන්ගේ සීමාව තුළ සිට කළ හැකි දේ ප්‍රකාශ කිරීමට පාප්වහන්සේ කටයුතු කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය මාවත සකස් කිරීම සහ එහි ඇති දේශපාලනික සහ සමාජීය වටිනාකම තේරුම් ගැනීම වගකීමකි.


නිලන්ත ඉලංගමුව
| Nilantha Ilangamuwa