කිසි දිනෙක සෙලවිය නොහැකි බලයක් ලෙස පෙනී සිටි මහින්ද කල්ලියේ බලය එහි විරුද්ධවාදීන්වත් එමෙන්ම මේ රටේ ජනතාවවත් මේ අයුරින් පෙරලා දැමිය හැකි යැයි නොසිතූ ආකාරයකින් මහින්දලා අතින් බලය ඉවතට ගෙන දැන් සති 2 ක් ඉක්ම ගොසිනි. බලය පෙරලීමට මුල්වූයේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය මත පාලනය සහ දූෂණය වැනි හේතූන්ය. අලුතින් බලය අතට ගත් අය දැන් ඔවුන්ගේ සුභ සිහින ඉටු කරනු ඇතැයි බලා සිටින පිලිවෙතකට ගිය බවක් මහින්ද බලය පෙරලා දැමීමට පෙල ගැසුණු බලවේගයන් පෙන්නුම් කරයි. ඒවාගේම බලය පෙරලීමට එක්වූ දේශපාලන සහ සමාජ කණ්ඩායම් මෙන්ම පුද්ගලයන්ද තම තමන්ගේ වැඩපිලිවෙල මුදුන් පමුණුවා ගැනීමට එතුල සටන් වැදී සිටින බවක්ද පෙන්නුම් කරයි.

මහින්ද කල්ලිය බලය අපයෝජනය කරමින් රට අගාධයකට ඇද දමා තිබීමේ හේතුවට එරෙහිව එක්වූ බලවේගයන් විවිධ ඒවා බව අප දනිමු. ජාතිකවාදී කොනේ සිට වාම ප්‍රගතිශීලී කණ්ඩායම් දක්වා සමාජ බලවේග එතුල එක්රැස්ව තිබුනි. කම්කරුවන්ගේ සිට ධනපති කොටස් දක්වා විවිධ පන්තීන්ට අයත් සමාජ කොටස් එතුල සිටියහ. මේ සැමගේම පොදු අරමුණ වූයේ රට ගිලී සිටි අගාධයෙන් ගොඩ ගැනීමට මේ දුර්ධාන්ත පාලනය පෙරළා දැමීමයි. නමුත් මේ සෑම බලවේගයකටම තම තමන්ගේ උවමනාවන් පැවතීම ස්වභාවයකි. ඔවුන් සෑම කෙනෙකුම පාහේ මේ ජයග්‍රහණය තුල තමන්ගේ උවමනාව මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ කරන බවද අප වටහා ගත යුතුය.

බලය මාරුවීමේදී දේශපාලන බලය හිමිකර ගන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂවීමද නොවැලැක්විය හැකිය. එයිනුදු බල මාරුවට එක්වන ප්‍රධාන පක්ෂවල කොටස් මෙතෙක් පැවති රජයන්හි දේශපාලන බලය හිමිව සිටි අය වන අතර අඩු වැඩි වශයෙන් අද පවතින වාතාරණයට වගකීම් දරණ අයද වෙති. මේ අතරින් බොහෝ දෙනෙකු බලය අපයෝජනයටද යම් තරමක හෝ දායකත්වයක් දැරූ අය වෙති. දැන් බලය නැවත හිමිවන්නේද මේ කණ්ඩායම් අතට බවද අවිවාදිතය. නමුත් මෙතුලින්ම ජනතාවගේ සුභ සිද්ධිය සදහා වන ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිලිවෙලක් බලගත කර ගැනීම දැන් අප හමුවේ (බලය පෙරලීමට මූලිකත්වය ගත් බලවේගයන්) ඇති අභියෝගය වේ.

නමුත් වසර 10 ක් නොව ඊටත් වැඩි කලක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් ජරාජීර්ණ වීමකට ලක්වුන, වසර 10 ක් තුල සම්පූර්ණයෙන්ම කුණුවී ඕජස් ගලන තත්වයකට පත්කරනු ලැබූ දේශපාලන ක්‍රමයක, රාජ්‍ය ආයතන පද්ධතියක, සමාජ සංස්ථා සහ ඒවායේ බලවේගයන් පද්ධතියකට, පොලීසි හා ආරක්ෂක හමුදා හා අධිකරණ පද්ධතියකට ආදී මෙකී නොකී සියළු රාජ්‍ය හා දේශපාලන ආයතන පද්ධතියකට හිමිකම් කියන සමාජයක බලය පෙරලා දැමූ විට එය යහපත් තත්වයකට වෙනස් කිරීම පහසු කරුණක් නොවන බව අප වටහා ගත යුතුය. කාලාන්තරයක් තිස්සේ සමාජයට ජීර්ණ කර ඇති මෙම කුණු වූ ක්‍රමය තුල සිටින නිලධාරීන් හා දේශපාලඥයන් අතරින් එවැනි දූෂණ තත්වයකට පත්නොවූ අයෙකු සෙවීම ‘කිසිවෙකු නොමල ගෙයකින් අබ සෙවීම වැනි’ බව පැහැදිලිය. ඒ එම දුර්ධාන්ත බලවේගයන් එසේ බලය අපයෝජනයට හසු නොකරන පුද්ගලයින්ට ඒ රාජ්‍ය පද්ධතිය තුල පැවැත්මක් නැති වන තත්වයකට වැඩ සාදා තිබූ බැවිනි. අඩුවැඩි වශයෙන් සෑම අයෙකුම දැන හෝ නොදැන කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එහි කොටස් කරුවන් කරනු ලැබ තිබූ බැවිනි.

තත්වයන් එසේ නම් අපට පැහැදිලිවිය යුතු කරුණ වන්නේ බලය මහින්ද කල්ලිය අතින් මාරු කළ පමණින් යහපාලනයක් හෝ නීතිය මත පාලනය ඇති නොවන බවයි. බලයට පත්කළ අලුත් කණ්ඩායම තමන් දන්නා ක්‍රමවේදයන් නැවත ක්‍රියාත්මක කිරීමට ද පෙළඹෙනු ඇති බවයි. ඒ ඔවුන් දන්නා එකම ක්‍රමවේදය එමෙන්ම ලංකා සමාජය හුරුවී ඇති එකම ක්‍රමවේදය අර ඥාති සංග්‍රහය, බලයෙන් උද්දාමව උන්මත්තකයින් ලෙස හැසිරෙමින් රාජ්‍ය බලය අපයෝජනය කිරීම, නීතිය යනු තමන් ලෙස වටහා ගැනීම ආදී මෙතෙක් පැවති අර කුණු වූ ක්‍රමය තමන් විසින් ක්‍රියාත්මක කරවීමයි. එනිසා බලය මාරුකර අප ඉතින් ඔහේ බලා සිටීනම් විය හැක්කේ පැවති ක්‍රමය නැවත ක්‍රමක්‍රමයෙන්, හෙමින් හෙමින් නැවත වෙනත් නම්වලින් ඉදිරියට විත් ක්‍රියාත්මක වීම ඇරඹීමයි.

එසේ නම් එය එසේ නොවීමට වගබලා ගැනීම දැනුවත් පුරවැසියා සතු කාර්යයි. ප්‍රගතිශීලී දේශපාලන බලවේගයන් හි හා පක්ෂවල කාර්ය සහ යුතුකමයි. ඒ සදහා ක්‍රමවේදයන් සහ ආයතන පද්ධතීන් ගොඩනගා ගැනීම වහ වහා සිදුවිය යුතුයි. දේශපාලන බල ආයතන නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා සහ ඒවා නිවැරදිව ක්‍රියාත්මක වේදැයි නිරීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයන් සකස් කිරීමයි. එසේ නොමැති තැන මේ වැරදි බලවේග බලය අනිසි ලෙස අපයෝජනය කිරීම සහ ඥාති සංග්‍රහය වැනි දේ නැවත ඇතිවීම නොවැලැක්විය හැකිය.

මා මීට ඉහතද ලියූ ලිපි ගණනාවකම ප්‍රජාතන්ත්‍රවාදය සමාජයක් තුල ඇතිකිරීම යනු දීර්ඝ කාලීන සමාජ ක්‍රියාදාමයක සමාජ භාවිතාවක් බව පැවසීමි. ප්‍රජාතන්ත්‍රවාදය ඇති වන්නේ පුරවැසියන්ගේ බලවේගයන් විසින් රාජ්‍ය සහ රාජ්‍ය කරවන්නන් කරන වැරදි ක්‍රියාදාමයන්ට එරෙහිව ගෙනයන උද්ඝෝෂණ සහ අරගලවලින් ඇතිකර ගන්නා සම්මුති තුලින් ස්ථාපිත කරන අයිතීන් දිනා ගැනීමටයි. පුරවැසියන් නිහඬ නම් අයිතීන් කප්පාදු වේ.

අද මේ ජයග්‍රහණයට මුල් වූ බලවේග මෙන්ම, එදා මහින්දල පෙරලා දැමීමට එක් නොවී පැත්තකට වී බලාසිටි සමහර ප්‍රගතිශීලී බලවේග වුවද එකට එක්ව සමාජය තුල, රාජ්‍ය ක්‍රමය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා රජය කරන අය වෙත ඉදිරිපත් කළ යුතුව ඇත. ඒවා කිරීමට බලපෑම් ඇතිකළ යුතුය. ඒ සඳහා මෙම පුරවැසි බලවේගයන් සාකච්ඡා තුලින් ක්‍රමවේදයන් සකස් කර රජයට ඉදිරිපත් කළ යුතුය. ඒවා ස්ථාපිත කිරීමට බලපෑම් කළ යුතු වන අතර එසේ නොකර බලා සිටින්නේ නම් කිසිවක් ළඟාකර ගැනීමට ඉඩ නොලැබෙනු ඇත.

ඒවාගේම මහින්ද කල්ලිය බලය අතහැර ගියා යැයි නොසිතිය යුතුය. ඔවුන් මොහොතකට පියවරක් පසුපසට ගෙන නිහඬව තම බලමුළු තර කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මහින්දගේ ක්‍රියාත්මක වීම, විමල් වීරවංශ වැන්නන්ගේ කියුම් කෙරුම්, ඔවුන් දිගින් දිගටම කරන බොරු ප්‍රචාරයන් එමෙන්ම අගවිනිසුරුගේ ක්‍රියාකළාපය එමෙන්ම එක්ව සිටින බලවේගයන් අතර ප්‍රතිවිරෝධයන් උත්සන්න කිරීම සඳහා එතුලින් මෙම බලවේගයන් අභ්‍යන්තරයෙන් බිඳ දැමීමට කරන උත්සාහයන් ආදිය දෙස විමසිල්ලෙන් බැලූ විට මේ බව පැහැදිලිව දැකගත හැක.

අපට හුරු අද කළ යුතු දෙය හෙට නොව අනිද්දා කිරීමේ ක්‍රමවේදයයි. එය අප ලංකා දේශපාලනය තුල දිගින් දිගටම අත්විඳ ඇත්තෙමු. ඉතා සරලව දේශපාලන විසදුමක් දීමට තිබු ජනවාර්ගික ප්‍රශ්නයට ඒ මොහොතේ විසදුමක් නොදීම තුලින් එය යුද්ධයක් දක්වා දික්ගැසී මුළු රටම විනාශය කරා ගොදුරුවීමටද හේතුවූයේ එබැවිනි. ඊයේ කළයුතුව තිබූ දෙය අද නොව හෙටවත් නොකිරීමේ ක්‍රමවේදය අපව රටක් මෙන්ම සමාජයක් වශයෙන්ද විනාශයට ඇද දමා ඇත. එනිසා අද කළයුතු දෙය අද විසදිය යුතු ප්‍රශ්නය අදම කිරීමට දැන්වත් අදිටන් කර ගනිමින් දේශපාලඥයන් එසේ නොකරන්නේ නම් පුරවැසියන් ලෙස අප ඔවුනට ඒ සඳහා බලකර සිටිය යුතු වෙමු. එය පුරවැසියා සතු අයිතිය පමණක් නොව යුතුකමද වේ.

එසේ නම් ලද ජයග්‍රහණය ස්ථාවර කර ගැනීම පුරවැසි බලවේගයන්හි වගකීම සහ යුතුකමයි. ජනතාව දැනුවත් කිරීම සහ අයිතීන් දිනා ගැනීම සඳහා තව තවත් ජනයා පෙල ගැස්සවීම නොනවත්වා කළ යුතුය.

– පසුගිය කාලයේ වැරදි කල අය නීතිය ඉදිරියට ගෙනඒමට නව බලවතුනට බල කළ යුතුය.
– නීතිය මත පාලනය වහාම ස්ථාපිත කිරීමට බලපෑම් කළ යුතුය.
– මොනයම්ම හෝ ආකාරයක ඥාති සංග්‍රහයට එරෙහිව උද්ඝෝෂණ කළ යුතුය.
– සෑම ආයතනයක් තුලම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ඇති කිරීමට යාන්ත්‍රණයක් ඇති කළ යුතුය.
– දේශපාලන සිරකරුවන් වහාම නීතිය ඉදිරියට පමුණුවන්නටත් චෝදනා නොමැතිව රඳවා සිටින අය නිදහස් කිරීමටත් බලකළ යුතුය.
– ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම සෙවීම වෙනුවෙන් අඩුම තරමින් 13 වන සංශෝධන වහාම බල ගැන්වීමට බලකළ යුතුය.

මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන් ක්‍රියාත්මක කරවීමට සහ ලද ජයග්‍රහණය ආපස්සට ඇදීමට ඉඩ නොදී එය තහවුරු කරවීමටත් එයට එරෙහිව නැගෙන බලවේග පරාද කරවීමටත් රටපුරා පැතුරුණු රැලි මාලාවක් පුරවැසි බලවේගයන් සහ ප්‍රගතිශීලි බලවේගයන් එක්වී ආරම්භ කළ යුතුය. ලද ජයග්‍රහණය පෙරලා දැමීමට ඉඩ නොදෙන බව රටටම පැහැදිලි වන ලෙස මේ උද්ඝෝෂණ දියත් කළ යුතුය. මේ ලබා ඇත්තේ මෛත්‍රීගේ හෝ තවත් අයෙකුගේ ජයක් පමණක් නොවන බව ඔවුනට වැටහෙන්නේ එවිට පමනි. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීම සඳහා දිගින් දිගටම එක්ම සටන් කළ යුතුව ඇත.

ranjith_hennayakeරංජිත් හේනායකආරච්චි | Ranjith Hennayakaarchchi