Image:Vikalpa

‘‘….දෙමළ ජනයාගේ සාමූහික අභිලාශය විසින් ප්‍රකාශයට පත් කරපු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ගැටලුව දකුණේ දේශපාලනය ඇතුලේ සාකච්ඡා කෙරුනේ දෙමළ අරගලය තිබෙන තාක් කල් විතරයි. ඒ ඉල්ලීම වෙනුවෙන් මිනිස්සු ජීවත පරිත්‍යාග කරන තාක් කල් විතරයි, ඒක වැදගත් දේශපාලන සාකච්ඡාවක් විදිහට සැලකුවේ. ඒකේ ප්‍රතිඵලය හොදට පේනවා 2015 ජනධිපතිවරණය වෙනකොට ජනාධිපතිවරණ මැතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රකාශණ වල ජාතික ප්‍රශ්ණය පිළිබදව පළවෙනි වතාවට, අවුරුදු 30කට පස්සේ, කිසිදු වාක්‍යක් නැති, කිසිදු සදහනක් නැති මැතිවරණ ප්‍රකාශණ එළි දැක්කා. ඒකෙන් පෙන්නුම් කරන්නේ, ඒ ප්‍රශ්ණය විසදුනා කියලා නෙවෙයි. ඒ ප්‍රශ්නයට, ඉල්ලීමට දෙමළ ජනයාට කේවල් කිරීමට තිබුණු බලය විනාශ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ සාකච්ඡාව දකුණේ සමාජය තුළ ක්‍රමාණුකූලව යටපත්ව ගියා. ඒකටම සම්බන්ධ දෙයක් තමයි දකුණේ සමාජය ඇතුලේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් මූළධාර්මික ස්ථාවර දැරෑ ගොඩක් අය පවා පහුගිය අවුරැදු 5 ඇතුලත ගත්ත, විශේෂයෙන් අවසාන ලේ වැගීරිමේදී ගත්ත ස්ථාවරයන් සලකා බැලුවොත් ඒකෙන් පෙන්නුම් කරන දේශපාලනික වැදගත් යථාර්තයක් තිබෙනවා. ඒ තමයි, දකුණේ රාජ්‍ය ප්‍රතිසංස්කරණය පිළිබදව තිබුණු සාකච්ඡාවන්ගේ අධෝව්‍යුහය දෙමළ ජාතික අරගලය. ඒක විසින් තමයි ඒ සාකච්ඡාව යථාර්තයක් බවට පත් කරලා තිබුණේ. ‘‘

යැයි රෝහිත භාෂණ අබේවර්ධන ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය හා සංවාදයකට එක්වෙමින් පැවසීය.

රෝහිත භාෂණ අබේවර්ධන
රෝහිත භාෂණ අබේවර්ධන

භාෂණ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාධ්‍යවේදීයෝ සංවිධානයේ(JDS) කැදවුම්කරුය. පසුගිය කාලය තුළ මරණ තර්ජනයන්ට ලක්ව ලංකාවෙන් බැහැරව පිටුවහලේ දිවි ගෙවන්නට බලකෙරුණු මාධ්‍යවේදීන් අතරේ භාෂණ ද වෙයි. විශේෂයෙන් ඔහු සහ ජේඩීස් සංවිධානය, රාජපක්ෂ පාලනයේ විසකුරු ප්‍රහාරයන්ට ගොදුරු විය. ඒ ලෝකය පුරා බරපතල සාකච්ඡාවට ලක් වුනු, ‘ලංකාවේ යුද අපරාධ පිළිබඳ පළමු වීඩියෝ සාක්‍ෂිය චැනල් ‍4 රූපවාහිනිය ඔස්සේ 2009 අගෝස්තු 25 වෙනිදා නිකුත් කරමින් ජාත්‍යන්තර ජනමාධ්‍ය සහ මානව හිමිකම් සංවිධානයන්ගේ අවධානය යුද්ධයේ අවසාන අධියරෙහි සිදුකළ බරපතල අපරාධ සොයා බැලීම කෙරෙහි යොමු කිරීමට අවශ්‍ය පුරෝගාමී වැඩ කොටස ඉටුකරමින්ය.‘

දැන් ‘රාජපක්ෂගේ දුෂ්ඨ පාලනය‘ අවසන් වී ‘නව පාලනය‘ තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාධ්‍යවේදීයෝ සංවිධානයේ, කැදවුම්කරු, රෝහිත භාෂණ සමග ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ සම්පත් සමරකෝන්, සාකච්ඡාවේ යෙදෙන්නේ ලංකාවේ කේන්ද්‍රීය ගැටලුව වන ජාතික ප්‍රශ්ණයේ වත්මන් දිශාණතිය පිළිබදවයි. විශේෂයෙන් ජනාධිපතිවරණයෙන් පසුව ලාංකීය දේශපාලනය තුළ ජාතික ප්‍රශ්ණය සලකුණු වීම සම්බන්ධවයි.(මෙහි සම්පූර්ණ සාකච්ඡාවෙහි වීඩියෝ පටය සදහා මෙම සටහනින් පහතට පිවිසෙන්න.)

එහි දී ඔහු මෙසේ කියයි…

‘‘විපක්ෂයේ සංධානයේ මූළික ගැටලුව විදිහට ඒගොල්ලො පොර බැදුවේ දූෂණ සහ වංචා සම්බන්ධයෙන් අලුත් ආණ්ඩුව යටතේ ක්‍රියාමාර්ග ගන්නවා. අපි දන්නවා ඒ වෙලාවේ මැතිවරණ වේදිකාවේ පාවිච්චි වෙච්ච වචනේ තමයි ‘මෙගා ඩීල්‘. මෙගා ඩීල් කාරයෝ හෙළිදරව් කිරීම සහ ඔවුන්ට දඩුවම් පැමිණ වීම. මෙගා ඩීලා කාරයෝ කොපමණ දුරට හෙළි දරව් වෙලා තියනවාද? ඔවුන්ට කොපමණ දඩුවම් පමුණුවලා තිබෙනවාද යන්න, තේරුම් ගන්න ඔබට පුලුවන්! දෙමළ ජනයා සම්බන්ධයෙන් ඒ වෙලාවේ තිබුණු ආකල්පය තමයි, දකුණේ, දෙමළ ජනයා ඡන්දය දෙනවානම් හැමකෙනාම කැමතියි. මේ වෙනස බලාපොරොත්තු වෙච්ච හැම කෙනෙක්ම යටි සිතෙන් අපේක්ෂා කළා දෙමළ ජනයා මේ වෙනසට පක්ෂව ඡන්දය දෙනවා නම් කැමතියි. හැබැයි ඒක මැතිවරණයට කලින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් විදිහට නොකරනවා නම් කැමතියි. මොකද, එය ප්‍රසිද්ධ ප්‍රකාශයක් විදිහට කිව්වොත් එහෙම ‘අන්න දෙමළ ජනයාගේ ඡන්ද වලින් දිනන්න යනවා‘ කියන සඨන් පාඨය අනෙක් අය විසින් පාවිච්චි කරයි කියලා. මෙතන ප්‍රජාතන්ත්‍රවාදයේ උභතෝකෝඨිකය ඒකයි. මුළික ගැටලුව මේකයි. දෙමළ ජනයා මැතිවරණයට සහභාගි වෙන්නත් ඕන. ඒ අවශ්‍ය වෙනසට දායක වෙන්නත් ඕන. හැබැයි ඒ වෙනසට දායක වෙන්නේ මේ වගේ කොන්දෙසි යටතේ කියලා කියන්නත් බැහැ. ඒක විසින් අගතියක් වෙනවා කියලා. දෙමළ ජනයා කිව්වෙ නෑ, කාගේ වෙනසට ද ඡන්දෙ දෙන්නේ කියලා මුලින්. ඡන්දෙ දෙන මොහොතේදීත් කොන්දේසි මුකුත් පැනවුවේ නෑ. මොකද ඒ ගොල්ලො අවකාශයක් නිර්මාණය කර ගත්තා, තමන්ගේ බරපතලම ගැටලුව සාකච්ඡා කරීමට, ප්‍රසිද්ධියේ ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අවකාශය, ඒ ගොල්ලො නිර්මානය කර ගත්තා, නමුත් දැන් දෙමළ ජනයා එක හඩින් කියා හිටියේ අපට මුකුත් අවශ්‍ය නෑ අපට අවශ්‍ය යුක්තිය. අපේ මළවුන් වෙනුවෙන් නිදහසේ පහනක් පත්තු කරලා ඔවුන් සමරන්න තියන අයිතියට පළවෙනි දේ තමයි, සත්‍ය සහ යුක්තිය ඉටු වෙන්.න ඕන කියලා. දැන් ඒක තමයි මැතිරණයෙන් පස්සේ ගත් වෙච්ච මාසෙදි ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දෙන් පත්වෙච්ච සෑම පක්ෂයක්ම, ආණ්ඩුවත් එක්ක කටයුතු කරපු ඊපීඩීපී සංවිධානය පවා මේ කියන වර්ග සංහාරය පිළිබදව යෝජනාවට පක්ෂව ඡන්දෙ දුන්නා. මේකට උතුරු සහ නැගෙණහිර සිවිල් සමාජ සංසදය ප්‍රසිද්ධියේ සහය පළකලා. ඒ වගේම යාපනයේ විශ්ව විද්‍යාල ආචාර්යවරු මේකට සහය පළ කලා. දෙමළ ජනයගේ පුලුල් හරස්කඩක් විසින් පෙන්නුම්කරලා තියනවා, මේක අපේ සාමූහික අභිලාෂයන්ගේ ප්‍රමුඛතම කාරණාව. දැන් දකුණේ ප්‍රජාතන්ත්‍රීය යැයි සැළකුණ පිරිස් වලට වගකීමක් තියනවා, දෙමළ ජනයා ඔවුන් බලාපොරොතු වෙච්ච වෙනසට දායක වෙලා ඉවරවෙලා ඔවුන්ගේ ප්‍රමුඛතාවය ප්‍රකාශයට පත් කළා. ඒ ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් තමන් මූළධාර්මිකව විශ්වාස කරන දේ කීමේ සාදාචාරාත්මක සහ දේශපාලනික වගකීම දකුණේ මේ ප්‍රජාතාන්ත්‍රික වෙනස සම්බන්ධයෙන් දායක වෙච්ච අයට තියනවා. දැන් තියෙන්නේ ඒ මොහොත.‘‘

රෝහිත භාෂණ සමග සිදුකරන ලද සම්පූර්ණ සාකච්ඡාව සදහා පහත වීඩියෝ පටයට පිවිසෙන්න.

Part 01

Part 02

*Bashana Photo Credit: ©Simone Ahrend, sah-photo/PEN

©VIKALPA