1989 ශ‍්‍රී ලංකීය රැඩිකල් තරුණ්‍යයට නරක කලදසාවක් විය. විශ්ව විද්‍යාල වසා දමන ලදි. තරුණ තරුණියන් සැගව සිටීමට හෝ අතුරුදහන් වීමට ලක්විය. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලේ බිහිසුණුකම සහ ආණ්ඩුවේ ගැටුම් උත්සන්න වී නරක අතට හැරිණි. ලියුම්කරු රිචඞ් ද සොයිසා විසින් සොයා දුන් ඒෂියා වීක් (Asiaweek) හි රැකියාව අරඹන්නේ අර්ජුන රණවන සහ සිවරාම් ධර්මරත්නම් යන මාධ්‍ය ලොව පතාක යෝධයින් ඇසුරේ ය. එවකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වූ ලියුම්කරුට ලැබුණු එම අවස්ථාව අමිල ය.

රිචඞ් අති දක්ෂ සහ තීක්ෂණ ජනමාධ්‍යවේදියෙකු විය. යුද්ධයේ ම්ලේච්ඡත්වය ඔහුගේ මාධ්‍ය භාවිතාවෙන් එළිදරව් වෙමින් තිබිණ. සම්භාව්‍ය ශේක්ෂ්පියර් නාට්‍ය වලට සහ ග‍්‍රීක ශෝකාන්ත නාට්‍ය වලට රගපෑමෙන් සිය දායකත්වය දුන් රිචඞ් ගේ ප‍්‍රබල හා පෞරුෂවත් හඩ නාට්‍යාගාර වල ගිගුම් දෙමින් තිබිණ. නාට්‍ය රචනයෙන් ද සිය රැඩිකල් තරුණ අදහස් ජනගත කරමින් සිටි ඔහුගේ නිර්මාණශීලීත්වය ප‍්‍රකට කරන කවි සහ චිත‍්‍රපටි අත්පිටපත් තවදුරටත් නිරුපද්‍රිත ය. බලහත්කාරී ලෙස පැහැරගෙන ගොස් මරා දමනු ලැබූ රිචඞ් දැන් අප අතර නැත.

1990 පෙබරවාරි 17 වන දා සවස (පොලිස් නිලධාරීන් ලෙස ඔහුගේ මව විසින් පසුව හඳුනාගත්) මිනිස්සුන් කිහිපදෙනෙක් මගින් වැලිකඩවත්ත දී පැහැර ගැනුණු රිචඞ්, හිසට වැදුන වෙඩි උණ්ඩ කුහර සහිත මළ සිරුරක් ලෙස මොරටුව කොරලවැල්ලේ තිබියදී 19 වැනිදා පාන්දර වන විට හමුවිය.

2015 පෙබරවාරි මාසයේ 18 වන දා රිචඞ් ගේ 25 වන අනුස්මරණ සංවත්සරය පැවැති අතර ඔහුගේ සොයුරිය සහ හිතවතුන් ඔහු විසින් ලියූ කවි ගායනා කරමින් දැල් වූ ඉටිපන්දම් සහ මල් අතැතිව ඔහුව ස්මරණය කරමින් සිටියහ. ඒ ඔහු වෙඩි තැබුවායැයි කියන කොළඹ කොටුවේ ලන්දේසි ඉස්පිරිතාලයේ (ඩච් හොස්පිටල්) නවීකරණය කරන ලද වැරැන්ඩාවක ය. රහස් පරීක්ෂකයින් සහ ඔත්තු සේවකයින් බාධා කිරීමකින් තොරව ඔබ මොබ සරණු දක්නට ලැබිණි. කොතරම් විසල් උත්ප‍්‍රාසයක් ද? රිචඞ් මරා දැමුවායැයි කියන ස්ථානය දැන් සුපිරි අවන්හල් සහ වෙළදසැල් සංකීර්ණයකි.

16391461929_74ebdb47f1_k (ඡායාරෑපය, රිචඩ් ද සොයිසා සැමරුමේ අවස්ථාවක්, 2015 පෙබරවාරි 18, at the Dutch Hospital premises in Colombo.)

ලියුම්කරුවාට සිහිපත් වූයේ ‘යුගාන්තය‘ චිත‍්‍රපටයෙහි රිචඞ් රගපෑ චරිතය යි. රිචඞ් රගපෑවේ පොහොසත් ධනවාදී පවුලක පුතෙකු හැටියට එංගලන්තයේ අධ්‍යාපනය ලබා නැවත ලංකාවට පැමිණ සමානාත්මතාවය සහ යුක්තිය වැනි බටහිර අදහස් හිසින් ගෙන එහෙත් ධනේශ්වර සූරාකෑමට එරෙහිව කම්කරුවන් මෙහෙයවන්නෙකු ලෙසය. චිත‍්‍රපටය යුගාන්තය යි. ඔහු නිරූපනය කළේ මාලින් කබලාන චරිතයයි. රිචඞ්ගේ මව් පාර්ශවය සරවනමුත්තු නමැති දෙමළ ප‍්‍රභූ ප‍්‍රමුඛ පවුල කි. රිචඞ් ද සිය භාවිතය තුළ ඔහුගේම පන්තියට පිටුපාමින් සමාජ සාධාරණත්වයේ ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීම වෙනුවෙන් වූ විප්ලවීය උවමනාවන් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි. මානව හිමිකම් පිළිබඳ ආරක්ෂකයකු සහ දේශපාලන ක‍්‍රියාධරයෙක් ලෙස විකාශනය වූ වරප‍්‍රසාදිත පසුබිමකින් පැවත එන කුසලතාපූර්ණ හා ආරක්ෂණවාදී තරුණයාගේ නැගී සිටීම මර්දනයේ යන්ත‍්‍රණය විසින් තලා දමනු ලැබිණ.

තම විශ්වාසනීය දේශපාලනය හෝ සමාජ ක‍්‍රියාකාරිත්වය අරබයා ඝාතනයට ලක්වූ උතුරේ හා දකුණේ තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව දහස් සංඛ්‍යාත විය හැක. ඔවුන් ඝාතනය වූයේ අයුක්තියට එරෙහිව තුවක්කු ගැනීමට බල කෙරුණු වටාපිටාවක් තුළ ය. ඔවුන් ඝාතනය වූයේ වැරදි අවස්ථාවක වැරදි ආස්ථානයක සිටි නිසා විය හැක.

ලන්දේසි රෝහලේ දී රිචඞ්ට වෙඩි තැබූ වධහිංසා දුන් ඝාතකයින් යුක්තියේ නීතියේ රැහැණින් පලාගොස් තිබීමත් පිරියම් කර අලුතින් විවෘත කර තිබෙන ලන්දේසි ඉස්පිරිතාල සංකීර්ණය සාප්පු සංකීර්ණයක් බවට පත් ව තිබීමත් පුදුමාකාර උත්ප‍්‍රාසයකි. මෙම සාප්පු සංකීර්ණයේ එක් ආහාර දීසියක් සඳහා වියදම සාධාරණත්වය උදෙසා රිචඞ්ලා පෙනී සිටි කම්කරු පන්තියේ කම්කරුවෙකුගේ මාසික වැටුපකට වඩා වැඩිය.

රිචඞ් ගේ කතාව සමග ගැටගැසී, ශ‍්‍ රීලංකාව සහ ආර්ජන්ටිනාව අතර ඇති සමාන්තරබව දකින විට මම තැති ගනිමි. 80 දශකයේ මුල් හරියේ දී ලංකාවට සමාන්තරව ආර්ජන්ටිනාව ද කැරලි කෝලහල හරහා ගමන් ගත්තේ් 30,000 පමණ කොමියුනිස්ට් තරුණයින් වධකාගාර වලදී වධ ද මරා දමමිනි. සමහර මිනිසුන් 5000 ක් පමණ මිය ගිය විශාලතම වධකාගාර වූ EMSA නාවික හමුදා පාසල 2010 දී අනුස්මරණ අඩවියක් ලෙස නම් කරන ලදි. එසේ කළේ එවැනි ඝාතනයන්ට ලක්වූවන් සිහිකිරීම පිණිසය. බුවනෝස් අයිරස් නගර මධ්‍යයේ හි ඇති ආකර්ශනීය යටත් විජිත ගොඩනැගිල්ලක් වන EMSA නාවික පාසල ද කොළඹ පිහිටි ලන්දේසි රෝහල වැනිය.

‘ප්ලාසා ඩි මායෝ‘ නැමති මව්වරුන්ගේ සංවිධානය මගින් මෙම නාවික පාසල මෙහෙයවන අයුරින්ම රිචඞ්ගේ මව ආචාර්ය මනෝරාණි සරවනමුත්තු විසින් ලංකාවේ මව්වරුන්ගේ පෙරමුණ නම් සංවිධානයට වසර ගණනාවක් ම ක‍්‍රියාකාරීව සහය දැක්වුවාය.

ආර්ජන්ටිනාවේ දිවි ගළවාගත් ස්වල්ප දෙනා අතරින් කෙනෙකු වන දැන් 53 වියේ පසුවන මීරියම් ලෙවින් පවසන්නේ අනාගත පරපුර විසන් මෙවැනි අපරාධ නැවත සිදු නොකරන පිණිස මෙම EMSA වධකාගාරය ජීවමාන කෞතුකාගාරයක් විය යුතු බවකි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව තුළ අපේ මිතුරන්, සහෝදර සහෝදරියන් පිළිබඳ මතකයන් සහ අතීතය පිළිබඳ කම්පනයන් මහජන දෘෂ්ඨි පතයෙන් නොපෙනී යන ලෙස අකා මකා දමා ඇත්තේ ලාංකීය තරුණයින් මරා දැමු වධකාගාර අලංකාර අවන්හල් බවට පත් කිරීමෙනි. අපි පසුගිය අතීතය අමතක කර දමා ඇති අතර එසේ කිරීමේ දී සිහිවටන පවා මුලුමනින් ම වෙනස් කෙරේ. ‘අහිංසකයින්ගේ ආරාමයට‘ කළ දෙය බලන්න.

ජපානයේ සිට ලෙබනනය ජර්මනිය කාම්බෝජය මතු නොව ලොව පුරා ම අතීත ඛේදවාචක සහ සමාජ වැරදි සිහිකිරීම, ඒවා නැවත ඇති නොවන පිණිස සවිඥානිකව සහ ස්මරණීයව සිදු කරති. සත්‍යවාදී ව උපේක්ෂාවෙන් පසුගිය අතීතය දෙස බැලීමට හැකි වීම එක් අතකින් භීෂණ සහ අපරාධ වැළැක්වීමට තුඩු දෙයි. අනෙක් අතට ඉතිහාසය වෙනස් කිරීම වළක්වයි. අනාගතයට පාඩම් උගන්වයි.

ඇතැම් විට ඔහුගේ සියලූ ඝාතකයන් තවමත් නිදැල්ලේ පසුවෙද්දී ඔහු වෙනුවෙන් පවත්වන අනුස්මරණයක් සත්‍යයෙන් සහ සාධාරණත්වයෙන් තොර සීතල සුවපහසු කටයුත්තක් යැයි කියමින් රිචඞ් අප දෙස බලමින් සිනාසෙන්නට පුළුවනි. එහෙත් අප රිචඞ් සැමරිය යුත්තේ හුදෙක් රිචඞ් අරබයා ම නොවේ. රිචඞ් ට අත් වු ඉරණම ම අත් පත් වූ සියලු දෙනාත්, අනාගතයේ කිසිම තරුණයෙකුට රිචඞ් ට අත් වූ ඉරණම අත් වීම වැළැක්වීම ද පිණිස ය.

යුක්තිය පිණිස හඩ අවදි කළ හැකි මිනිසුන්ගෙන් සහ පාලකයින්ගෙන් විනිර්මුක්ත දේශයක ලන්දේසි ඉස්පිරිතාලේ අලුතින් හුණු පිරියම් කර තිබෙන බිත්ති වලට සත්‍ය කතා කරන්නට නොහැක !

ඩිලන් පෙරේරා | Dilan Perera