Image by: Vikalpa File

අපේ‍්‍රල් මාසය හාස්‍යාකාරයෙන් පටන් ගන්නේ මෝඩයන්ගේ යැයි සැළකෙන දිනයකින් වුවද, 2015 අපේ‍්‍රල් මාසය නිදහස් ශ‍්‍රී ලංකාවේ වැදගත්ම මාසයක් වීමට ඉඩ තිබේ. ඊළඟ සතියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි. ජාතික හෙළ උරුමය වැනි වර්තමාන ජාතික ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් විසින් පවා ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනු කොට ඇතත්, මේ වැදගත් පනත තුනෙන් දෙකකට වැඩි ඡන්දයකින් සම්මත වෙතැ යි බොහෝ දේශපාලන නිරීක්ෂකයෝ විශ්වාස කරති.

මාර්තු 15 වැනි දා එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතුවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමත් සමග, රාජපක්ෂ පාලනයේ ඉතුරුබිතුරු වෙතින් එල්ල වන මොන කරදර බාධක මධ්‍යයේ වුවත්, ඉතා පැහැදිළි සහ පොදු අපේක්ෂාවන් ජය ගැනීම සඳහා එම ආණ්ඩුව ඉදිරියට යමින් තිබෙන බව පෙනෙන්ට තිබේ. අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, අළුත් මැතිවරණ ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක්ද මේ මාසයේදී සම්මත කර ගැනීමට නියමිතයි.

ඒ අනුව, බොහෝ විට, වෙසක්වලින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත්, ජුනි 27 වැනි දා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමටත් ඉඩ තිබේ. එම මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය වෙන වෙනම තරග කළද, ඉන් පසු අදට වඩා ස්ථායී පදනමක් යටතේ එම පක්ෂ දෙකේ සහභාගීත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට යෝජිතයි. එවිට අද මෙන්, ඇතැම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේත්, තවත් ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයෙකු විපක්ෂ නායකයා වශයෙනුත්, තවත් ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙනුත් පෙනී සිටීමේ පටලැවිල්ල ලිහෙනු ඇත.

වත්මන් දේශපාලනික මෙහෙයුමේ ප‍්‍රධාන ක‍්‍රියාධරයන් තිදෙනා වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, එම මැතිවරණයෙන් පසු සැබෑ ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමේ කර්තව්‍යයට උර දී සිටිති.

නිහඬ දේදුනු විප්ලවයකට නායකත්වය දෙමින්, පසුගිය ජනවාරි 8 වැනි දා ආශ්චර්යමත් ජයග‍්‍රහණයක් අත්කර ගත් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ (සභාගය), ප‍්‍රධාන පොරොන්දු තුනක් රටට ඉදිරිපත් කෙළේය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හෝ එය සතු බලතල බරපතල ආකාරයෙන් වෙනත් ආයතන හරහා බෙදාහැරීමත්, ඡන්දදායකයාට සුගතියක් වන නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වා දීම සහ රටේ ධන සම්පත් බිලියන ගණනින් කොල්ලකෑ හිටපු රජයේ දේශපාලනික බලපුලූවන්කාරයන්ව සහ එදා ආණ්ඩුවේ උසස් නිලධාරීන්ව නීතිය ඉදිරියට පැමිණවීම ඒ පොරොන්දු තුනයි.

මුලින් කී පොරොන්දු දෙකේ ඇතැම් අඩුපාඩුකම් ගැන යම් පක්ෂ නොමනාපයෙන් සිටියද, දැනට ඒවා සම්බන්ධයෙන් පොදුවේ පියවර ගැනෙමින් තිබීම ගැන බොහෝ දෙනාට සතුටු විය හැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ, පාලකයන්ට හැම දාමත් හැම කෙනෙකුවම රැවටීමට නොහැකි වන්නා සේම, සෑම පාර්ශ්වයක්ම සෑම අවස්ථාවකදීම තුටුපහටු කිරීමටත් පුලූවන් කමක් නැත. කෙසේ වෙතත්, ඉහත කී තුන්වැනි ප‍්‍රතිඥාව සම්බන්ධයෙන් නම් බොහෝ දෙනා තුළ ඇත්තේ අතෘප්තියකි. කෝටි ගණන් වන ඩොලර් ගසාකෑම් ගැන වගකිව යුත්තන් ආරක්ෂා කිරීමට වර්තමාන පාලකයන්ද රහසින් කටයුතු කෙරෙන බවට ඇතැම් පක්ෂ සහ සිවිල් කණ්ඩායම් අතර ඇත්තේ බරපතල සැකයකි.

පසුගිය අඟහරුවාදා රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වූ ආර්ථික කටයුතු සහ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටි පරිදි, රට වෙනුවෙන් සත්භාවයෙන් සේවය කරනවා වෙනුවට රටේ සම්පත් අපයෝජනය නොකරන දේශපාලඥයන් සිටින නව දේශපාලන සංස්කෘතියක් ඇති කෙරෙන, යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණත්වය සඳහා වන මාර්ගයක නව ජාතික ආණ්ඩුව තිරසාරව ගමන් කරන බවට විශ්වාසය පළ කොට සිටියේය. හිටපු දේශපාලන ජගතෙකු වන ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු තවත් මැතිඇමතිවරුන් සහ උසස් නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් බරපතල වංචා සහ දූෂණවලට අදාළව නීතිමය පියවර ගැනෙමින් තිබෙන බව ඔහු කීය. එහෙත් වෙළේ සුදා සහ ඔහුට සම්බන්ධ දේශපාලඥයන් සහ වෙනත් ජාවාරම්කරුවන් අරභයා වන මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ නීතිමය කටයුතු අනවශ්‍ය අන්දමින් පමා වීම ගැන සාමාන්‍ය ජනතාව අප‍්‍රසාදයට පත්ව සිටින බවත් ඔහු පිළිගත්තේය. ඒ පරීක්ෂණ සඳහා මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ගතවී තිබේ. වර්තමාන ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සැලසුම් කිරීමේ සහ ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රධාන භූමිකාවක් ඉටු කරන ආචාර්ය හර්ෂ ද සිල්වා, පසුගිය පෙබරවාරි 27 වැනි දා සිදුවූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව හරහා අනවශ්‍ය ප‍්‍රශ්නයක් උද්ගතව ඇති බව පිළිගනිමින්, ඒ ගැන පූර්ණ පරීක්ෂණයක් කෙරෙන බවට වගබලා ගන්නා බවත්, පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගන්නා බවත්, තවදුරටත් කියා සිටියේය.

එබැවින්, පාරම්පරික එක්සත් භාවයේ සම්ප‍්‍රදායික උත්සව සමයක් වන අපේ‍්‍රල් මාසය, මෙවර, ජනතා ස්වෛරීත්වය පිළිබඳ දේශනාවන්ට සීමා නොවන, තිරසාර සාමයක් සහ සංවර්ධනයක් දිසාවට ගමන් කෙරෙන ශ‍්‍රී ලංකාවේ නව යුගයක් සඳහා වන වැදගත් පියවර ගැනෙන ඓතිහාසික මාසයක් වනු ඇතැ යි අපි උදක්ම අපේක්ෂා කරමු.


*2015 අපේ‍්‍රල් 2 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවු Signs Of A Historic April නැමැති සිරසින් යුතු කතුවැකියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්