Image Credit: https://www.facebook.com/PresidentRajapaksa/photos/pcb.10152651931846467/10152651914271467/?type=1&theater

පාඨකයිනි, මහින්ද රාජපක්ෂගේ මේ පින්තූරය ‘කියැවීමෙන්’ ඔබේ සිත ඇවිස්සෙනු නොඅනුමානයි. අවුරුදු දහයක් තිස්සේ ඒකාධිපතියෙකු සේ ශ‍්‍රී ලංකාව පාලනය කළ සහ තවත් කාලයක් එරට පාලනය කිරීමට දැන් ඉල්ලා සිටින මේ මිනිසාගේ චරිතය සහ මනෝ භාවයේ දිග පළල මැණ බැලීමට ඒ මගින් උත්හාස කරන්න.

මහින්ද රාජපක්ෂගේ චරිතය ගැන, මෙල්බර්න් නුවර වෙසෙන මනෝ චිකිත්සක වෛද්‍ය ප‍්‍රසාද් මොහොට්ටි ලියා, මීට කලකට පෙර ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ ඉතා අගනා ලි්පිය ඔබ කියැවූයේද? එය කියවා නැත්නම්, කරුණාකර එම වෙබ් අඩවියේ පැරණි ලිපි ගොනුව අවුස්සා එය කියවා බලන්න. වෛද්‍ය ප‍්‍රසාද්ගේ අදහස්වලින් සමහරක් මේ ලිපිය ලිවීමට මම ණයට ගමි.

මහින්ද රාජපක්ෂ, ‘නාසිස්මික’ හෙවත්, ස්වරූපරාගී පෞරුෂ ආබාධයකින් පෙළෙන බව, වෛද්‍ය ප‍්‍රසාද් ප‍්‍රකාශ කරයි. ස්වරූපරාගය යනු, කෙනෙකු තමා ගැනම ඇති කරගන්නා අධික නුරාවයි. මේ වචනය එන්නේ, ග‍්‍රීක මිථ්‍යා පුරාණයේ සඳහන් නාසිසස් නැමැති පුද්ගලයාගේ නාමයෙනි. නාසිසස්, පොකුණක පිළිඹිබු වන තමාගේම රූපය ගැන වශී වී, ඊට අධික ලෙස ආලය කිරීම හේතුවෙන් පොකුණට වැටී මියගියේය. තමා වෙනුවෙන් පබැඳුණු, ‘‘මහ රජාණෙනි’’ නැමැති ගීය තමා ඉදිරියේ ගයනු ඇසීමෙන් මහින්ද රාජපක්ෂ කෙතරම් අහ්ලාදයට පත්වීද යත්, එම ගීතයේ රචකයාටත්, ගායිකාවටත් තමා තුළ ඇති ණයගැති භාවය ප‍්‍රදර්ශනය කරනු වස් ඇගේ නමින් පාරක්ද නම් කෙළේය. මේ ආකාරයෙන්ම, ජැක්සන් ඇන්තනි තමා කළා යැයි කියන ඉතිහාස අධ්‍යයනයකට අනුව, මහින්ද රාජපක්ෂ බුදුන් වහන්සේගේ පරම්පරාවෙන් පැවත එන බව ප‍්‍රකාශ කළ අවස්ථාවේද, මේ මහින්ද රාජපක්ෂ මහත් සේ ප‍්‍රහර්ෂයට පත්විය. ඒ සඳහා ජැක්සන් ඇන්තනිටද අතමිට දිග හැර ‘සැලකූ’ බව කියැවේ.

ස්වරූපරාගී ව්‍යාධිය’ ගැන වෛද්‍ය ප‍්‍රසාද් මෙසේ කියයි: ‘‘ස්වරූපරාගියෙකු පිටතට විභූතිමත් මුහුණුවරක් පෙන්වන්නේ ඇයි? එය මනෝවිද්‍යාවේදී විග‍්‍රහ කෙරෙන්නේ, කෙනෙකුගේ දුර්වල සහ බෙලහීන අහම (මමංකාරය) වසා ගැනීම සඳහා පාවිච්චි කෙරෙන අවිඥානික යාන්ත‍්‍රණයක් වශයෙනි. බෙලහීන අහමක් සහිත පුද්ගලයාට තමාගේ වැරදි දැකීමට ඇති හැකියාව සීමිත ය. ස්වයං-විවේචනාත්මකව බලමින් තම වැරදිවලින් පාඩම් උගෙනීම, මෙවැන්නන්ගේ දුර්වල අහමට දරාගත නොහැකි දෙයකි. එබැවින්, විභූතිමත් ආත්ම-ප‍්‍රතිබිම්භයක් තමන් වෙත ආරූඪ කර ගැනීම මගින් ඔවුන්ට තමන්ගේ වැරදි දැකීමෙන් වැළැකී සිටිය හැක.’’

මනුෂ්‍යයන් වශයෙන් තමන් තුළ ඇති අඩුපාඩු සහ සීමාවන් ගැන දන්නා සහ තම සාර්ථකත්වයන් සෙස්සන් සමග බෙදාහදා ගැනීමට සූදානම් නිහතමානී කෙනෙකු නම්, ඉහත කී සිරිත පිළිකුලෙන් බැහැර කරනු ඇත. එවැනි යෝජනාවක් (බුදුන් වහන්සේගේ නෑයෙකු බව) යමෙකු තමන්ට ආරෝපණය කළොත්, පොළොව පලාගෙන යාමේ ලජ්ජාවකට පත්වෙනු ඇත. එහෙත් අපේ වීරයාට එවැනි ලැජ්ජාවක් නැත. තමන්ගේ තනි හයියෙන් යුද්ධය දිනූ බව රටට ඒත්තු ගැන්වීමට මේ වීරයා කටයුතු කළ බව වෛද්‍ය ප‍්‍රසාද් පෙන්වා දෙයි. ඒ අනුව, හමුදාපතිවරයෙකු නැතිව දිනාගත් යුද්ධයක් වශයෙන් මාධ්‍ය හරහා එය රටට ප‍්‍රක්ෂේපණය කෙරුණි. ඒ රැුල්ලට රටම ගසාගෙන ගිය තරම කෙතෙක්ද යත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාව ඇදගෙන ගොස් හිරේ දමන විට, ජීවිත පරදුවට තබා ඔහු උපයාගත් පදක්කම් ඔහුගෙන් උදුරාගන්නා විට, ඊට එරෙහිව සමාජයක් වශයෙන් විරෝධයක් පෑවේ නැති තරම් ය. ඊට විරෝධය පෑ අතලොස්සකටත් සිදුවුණේ, යකඩ පොලූ සහ මුගුරු ප‍්‍රහාරයන්ට ලක්වීමටයි.

ඇමරිකානු මනෝ චිකිත්සක සංගමයේ රෝග නිර්ණ සංග‍්‍රහය උපුටා දක්වන වෛද්‍ය ප‍්‍රසාද්, ස්වරූපරාගී ආබාධය හඳුනා ගැනීමේ උපමාන පහක් පෙන්වා දෙයි. ශ්‍රේෂ්ඨත්වය (පුරාජේරුව?) පිළිබඳ මනහ්කල්පිතය ඉන් එකකි. මේ සමග ඇති පින්තූරයේ සිටින, රත්රන් මුදු පිරිවරා ගත් ඇඟිලි සහිත අතක් වනන පුද්ගලයාගේ මුහුණේ ඇති පුරාජේරුව නොපෙනේද? ඒ රත්රන්වලින් විහිදෙන දිස්නය, සමෘද්ධිය සහ විභූතිය දනවයි.

අධිකතර වර්ණනාව අපේක්ෂා කිරීම, එවැනි රෝගයක තවත් ලක්ෂණයකි. මහින්ද රාජපක්ෂ එම රත්රන් මුදු අපට දැක බලා ගැනීමට සලස්වන්නේ එයින් අපව විස්මයට පත්කැරැුවීමට මෙනි. එයින් නික්මෙන බලපරාක‍්‍රමය හරහා අප වෙතින් තමා වෙත උත්තමාචාරයක් ලබා ගැනීමට මෙනි.

ස්වයං-අයිතියක් පිළිබඳ හැඟීමක් දැරීම එවැනි රෝගියෙකුගේ තවත් ලක්ෂණයකි. මහින්ද රාජපක්ෂ ඔහුගේ රත්තරන් ප‍්‍රදර්ශනය කරන්නේ, එම රත්තරන්වල ස්වකීය හිමිකාරීත්වය හරහා එකී හිමිකාරීත්වය සෙස්සන් ලවා භාරගැන්වීමට මෙනි. ඔහු තමාව නැවත බලයට පත්කළ යුතු බවට ඉල්ලා මහජන රැළි පවත්වන්නේ සහ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ළඟට ගොස් තමාට අගමැති අපේක්ෂකත්වය ඉල්ලා සිටින්නේද, එකී හිමිකාරීත්වය පිළිබඳ හැඟීමෙනි. එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට තරම් මෛත‍්‍රී නැණවත් විය. මන්ද යත්, ස්වරූපරාගී මහින්ද රාජපක්ෂ කෙනෙකු අගමැති වුවහොත්, නිහතමානී මෛත‍්‍රීපාල සිරිසේනව ඉතා පහසුවෙන් දමනය කොට යටපත් කර ගැනීමට එවැන්නෙකුට හැකි වන බැවිනි. අසාධ්‍ය ස්වරූපරාගී රෝගියෙකු, කණ්ඩායම් සගයෙකු වශයෙන් ඉතා භයානක විය හැකිය.

මහින්ද රාජපක්ෂගේ මේ පින්තූරය දෙස සැළකිලිමත්ව බලන්න. මට ඔහුව පෙනෙන්නේ, මානසික විකෘතියකින් ආවිෂ්ට ආතුරයෙකු මෙනි. වෛද්‍ය ප‍්‍රසාද් සඳහන් නොකරන තවත් ලක්ෂණයක්ද මෙයින් පෙන්නුම් කෙරේ. එනම්, ගුප්ත අනවිණ පිළිබඳ විශ්වාසයක් හෝ, ඕනෑම කෙනෙකු සිය දැහැනට වසඟ කරගත හැකි පාර-භෞමි බලයක් තමන්ට ඇතැයි යන විශ්වාසයක් හෝ විසින් ඔහුගේ මනෝධාතුව අරක්ගෙන ඇති බවකි. එය, හදි හූනියම් සහ කොඩිවින ආදී කළු-අභිචාර කෙරෙහි ඔහු තුළ ඇති දැඩි විශ්වාසයකි. ඒ අනුව, මහින්ද රාජපක්ෂ පෙළෙන ආබාධය වූ කලී, හදිහූනියම් ගෑවුණු ස්වරූපරාගයකි. ඔහුගේ දබරගිල්ල සහ මැදගිල්ල අතර ඇති අභූත හැඩයක් ගන්නා, අමුතු තාලයේ මුද්ද දෙස බලන්න. හින්දු ආගමික කොඩිවිනකාරයෙකු ලවා මේ වශී මුද්ද තනවා ගැනීමට කෝටි ගණනක මුදලක් ඔහු වැය කළ බව කියැවේ. එම මුදල ආණ්ඩුවේ වියදමින්ද, නැත්නම් ‘දිවි නැගුම’ අරමුදල්වලින්ද?

ඔහුගේ කමිස අතේ අග වාටියට යටින් ඇති තැඹිලි පාට ඝන පිරිත් නූල් ඔබේ ඇස ගැසුණේද? සකලවිධ මිථ්‍යා ආරක්ෂණයන් තමන්ට අවශ්‍ය කරතැයි මහින්ද රාජපක්ෂ විශ්වාස කරයි. මේ පින්තූරයෙන් නිරූපිත සුවිශේෂී චරිත ස්වභාව විසින් මහින්ද රාජපක්ෂගේ ලෝක දැක්මත් අපට හෙළිදරව් කෙරේ. සැප සම්පත් පිළිබඳ ආශාවෙන් ඔදවැඩුණු මහ පොළොවේ පයගැසූ මිනිසෙකු වුවද, මහින්ද රාජපක්ෂ ජීවත් වූ විශ්වය, අඳුරු බලවේග මගින් පාලනය කෙරෙන, ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ ජීවිත ග‍්‍රහ පලාඵල මගින් තීන්දු කෙරෙන ලෝකයකි.

ස්වභාවික හේතුඵල ධර්මතාවෙන් මුළුමණින් පාලනය වන ලෝකයක් පිළිබඳ විශ්වාසයක් ඔහුට නැත. ඔහු නක්ෂස්ත‍්‍රකරුවාගේ බහට ජනාධිපතිවරණයක් කල් තියා තීන්දු කෙළේ එබැවිනි. ප‍්‍රශ්නය වන්නේ, මෙවැනි අපබ‍්‍රංස විශ්වාසයන් කෙනෙකුගේ සිත අරක්ගත් පසු, එම විශ්වාසයන් ඇස්පනාපිට දත්ත මගින් මොන තරම් බොරු කළත්, එවැන්නෙකුගේ හිතෙන් ඉවත් වන්නේ නැත. එය, දෙවියන් වහන්සේ සහ දිව්‍යමය මෝක්ෂය පිළිබඳ ආගමික විශ්වාසයන්ට ඉතා සමාන ය. යමක් බොරු කෙරෙන අවස්ථාවක් වෙතොත්, එය ‘ව්‍යතිරේකයක්’ වශයෙන් පැහැදිළි කර දීමට මේ අය කුමන හෝ ක‍්‍රමයක් සොයා ගනිති. මේ නිසා, සිය නක්ෂස්ත‍්‍රකරුවාගේ සාස්තරය වැරදී ඇති බව මොන තරම් ඇස්පනාපිට දැකගත්තත්, මහින්ද රාජපක්ෂ එම විශ්වාස කවදාවත් අත්නොහරිනු ඇත. ඔහුගේ දේශපාලනය යනු, යක්ෂයා සමග කරන චෙස් තරගයකි.

ෂ්‍යාමන් ජයසිංහ

*2015 මැයි 12 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ This Picture of Mahinda Says Thousand Words නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’’ අනුග‍්‍රහයෙනි