Image: SLFP Protest @Colombo

මහින්ද රාජපක්ෂගේ උපායන් හමුවේ දෙකොනක සිර වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි ඇති වී ඇති අර්බුධය ගැන බොහෝ විචාරකයින් බොහෝ අදහස් මේ වන විටත් පලකොට ඇත. ඒ සියල්ලකම පාහේ අදාළ පක්ෂයේ ශක්තිමත් භාවය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා අත්‍යවශය බව පෙන්වා දී ඇත. ඇතැමෙක් රාජපක්ෂ, මෛත්‍රීට අගමැතිකම නොදී කරගත් දේ හා සමාන භයානක තත්වයක් රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස පත් නොකිරීමෙන් සිදුවිය හැකි වැනි, නූගත් නමුත් කෛරාටක අදහස් ඉදිරිපත් කොට ඇත. එසේම, දීර්ඝකාලීන සටනකින් පසු තම හෘදය සාක්ෂ්‍යයට එකඟව හෝ මියැදීමට හැකිවේය යන සිහිනය ඉටුකරගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියද තම පක්ෂයේ ඇති වී ඇති අර්බුධය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට පටන්ගෙන ඇත. මෙම තත්වය වැදගත් අවස්ථාවක් ලෙස ගැනිය හැක්කේ ඒ නිසාය. වහන්න දෙයක් නැත. ඇත්ත එලියට පැන, ජනතාවට විනිශ්චයක් ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

අභ්‍යන්තර අර්බුධ ප්‍රසිද්ධ වේදිකාවට ගෙන ඒමෙන් ඊට වෙළඳපොළක් නිර්මාණය වේ. එම වෙළඳපොල තුළ විකුණුම්කරුවන්ට වඩා ගැනුම්කරුවන් බහුල වේ. මේ නිසා විකුණුම්කරුට ඉහළ වටිනාකමක් ලැබේ. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ අභ්‍යන්තර ගැටුම් ඇති වී ඒවා ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි බොහෝ අවස්ථා වල සිදු වූයේ එයයි. එනම් කොල්වින්, එන්. ඇම්. වැනි ව්‍යත් කෘතහස්ත දේශපාලනඥයින් නියෝජනය කළ ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය, ශන්මුගනාදන් – විජේවීර නයෝජනය කළ “විප්ලවීය”රැඩිකල් දේශපාලනය, ප්‍රභාකරන් නියෝජනය කළ දෙමළ විමුක්ති දේශපාලනය, ජාතික හෙළ උරුමය නියෝජනය කිරීමට යන්ත දැරූ සිංහල-බෞද්ධ මැදපන්ති පවුල් දේශපාලනය, මෙන්ම රනිල් වික්‍රමසිංහ නියෝජනය කළ සහ කරන “ධනපති” දේශපාලනය ආදී කොටස් වල හටගත් අභ්‍යන්තර අර්බුධ ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි පසු සිදු වූ ක්‍රියා පටිපාටිය ඉතා පැහැදිලි විය. මෙහිදී ප්‍රධාන ඉලක්ක ගත විෂය, උදාහරණයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ, අදාළ අර්බුධය විසඳන ආකාරය අනුව ඊට ඇති වටිනාකම තීරණය වේ. “කුමන්ත්‍රණකරුවාට” හෙවත් ප්‍රතිවාදියාට අවශ්‍ය දේ ඉටුවීමෙන් නායකත්වයේ ඇති දුර්වලතාවය හඳුනා ගත හැකිය.

එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ආ බරපතල අභ්‍යන්තර අර්බුධය ක්‍රමෝපායිකව යටපත් කොට පක්ෂය පෙර නොසිතූ තැනකට තල්ලු කිරීමට වික්‍රමසිංහ මහතාට හැකි විය. ඒ සඳහා ඔහු පක්ෂය තුළම පැවති සාධක භාවිතා කළ අතර, එමඟින් තම නායකත්වයේ ඇති සක්‍රීය භාවය ඔප්පු කරනු ලැබීය. මංගල සමරවීර මහතා භාවිතා කිරීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනු ලැබූ මූලික අභියෝගය එයයි. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් මැතිවරණයකදී එය කුමන ආකාරයෙන් කියවන්නේද යන්න පැහැදිලි නැතත්, මෙහිදී රනිල්ගේ දේශපාලන විඥාණය අවබෝධ කරගැනීමට උත්සහ කිරීමෙන් ලංකාවේ දේශපාලනය සිරවී ඇති සැබෑ කෝණයන් දල වශයෙන් හෝ අවබෝධ කර ගත හැකි යැයි සිතේ. එනම්, එන්. ඇම්, කොල්වින්, ශන්මුගනාදන්, විජේවීර, ප්‍රභාකරන් ඇතුළු නායකයින් අසමත් වූ තැන රනිල් සමත් වීමට හේතුව අවබෝධ කරගැනීම වැදගත් වේ.

එය ඉතාම වැදගත් වන්නේ, චන්ද්‍රිකාට සහ මෛත්‍රීටය. මන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතු වී ඇති අර්බුධය විසඳීමේ භාරදූර වගකීම පැවරී ඇත්තේ එම දෙපලට බැවිනි. මේ වන විට පන්සල් වැඳීමෙන්, සජිත් ප්‍රේමදාසගේ පැරණි දේශපාලන උපාය අනුගමනය කරන රාජපක්ෂ අර අදින්නේ මීළඟ ආණ්ඩුවේ බලපෑම් කණඩායම වීමයට. එමඟින් ඔහු නොමැති තැන දේශපාලනයක් නැති පිරිසගේ පැවැත්ම තහවුරු වේ. මහින්ද රාජපක්ෂ මහතා විසින් නිර්මාණය කරනු ලැබූ අභ්‍යන්තර ආරවුලේ සැබෑ වුවමනාව එයයි.

මෙම උගුලේ සිරවෙමින්, රටේ සිදු වී ඇති දේශපාලන පිබිදීම කණපිට පෙරලුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවට එය නවාකාරයක දේශපාලන හැකිලීමකට මුහුණ දෙනු ඇත. මේ නිසා පක්ෂ නායකත්වයට, පක්ෂයේ විනය කඩකරන කුමන හෝ බලවේගයක් මතු වී එන්නේනම් එය ප්‍රජාතන්ත්‍රවාදීව සහ පක්ෂ ව්‍යවස්ථාව යටතේ විසඳීමට බලය තිබේ. අවශ්‍ය තැනදී අවශ්‍ය බලය විනයානූකූලව භාවිතාකිරීමේ කෞශල්‍ය එයයි.

පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක මහතා 1948 දී සිංහල මහ සභාවේ සැසිය අමතමින් කියූ මූලික කාරණයක් මෙහිදී යළි සිහිපත් කිරීම අතිශය වැදගත් වේ. එනම්, “ප්‍රජාතන්ත්‍රවාදය සත්‍ය වශයෙන්ම ආරක්ෂා කළ හැක්කේත්, පෝෂණය කළ හැක්කේත්, ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයන්ගෙන් පමණක් බව අපි මතක තබාගත යුත්තෙමු,” යැයි ඔහු එදා සඳහන් කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වීමටත් ප්‍රථමය.

වත්මන් නායකත්වය අවදි විය යුත්තේ එම මූලධර්මයට යටත්වය.

තම පරිපාලන කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් පමණක් නොව පක්ෂ මූලිකාංගයන් ලඝු කරමින්, තම පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට ගොස් එය ස්වභාවික නීතියට යටත් වූ පසු අපේක්‍ෂාභංගත්වයට පත් වූ රාජපක්ෂගේ දේශපාලනය මඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වේ යැයි සිතීම මුලාවකි. මීළඟ මැතිවරණයේදී රාජපක්ෂ සාධකය යම් පමණකට වැදගත් තැනක් හිමි කරගත හැකි වුවද එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තියට හේතු වේ යැයි සිතීම උගහටය. මන්ද, රාජපක්ෂගේ දේශපාලනය වූ කලී ඒක පුද්ගලික කේන්ද්‍රගත වූ කල්ලියකින් සමන්විත උප කුලකයකි. මෙම උපකුලකය, පක්ෂයේ වත්මන් දේශපාලන පෙළගැස්ම ප්‍රතික්ෂේප කරන්නකි.

දැනගන්නට ඇති කරනු අනුව මංගල සමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි පැමිණීම සඳහා තවත් බොහෝ කාලයක් ගත වනු ඇත. එය නුදුරු මැතිවරණයකදී සිදු නොවනු ඇත. ( එසේ සිදුවුවහොත් ඇතිවන්නේ වෙනස්ම දේශපාලන තත්වයකි.) මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගමන් කිරීමට ඇත්තේ තරමක් දුෂ්කර මාර්ගයක බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම එළඹෙන මැතිවරණයේදී පක්ෂය ජනප්‍රසාදය අතින් දුර්වල විය හැකිය. නමුත් එය ආශීර්වාදයක් ලෙස ගැනීම, සහ පක්ෂයේ සැබෑ සංකටය විසඳා ගැනීමට හැකි පමණ කල් ගැනීම අතිශය වැදගත් වේ.

මීළඟ මැතිවරණය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්නේ නම් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන වාසනාවකි. මන්ද ගෙවෙමින් පවතින කාලය වූ කලී සංක්‍රාන්තික සමයක් වන හෙයිනි. ඒ වෙනුවට කෙටි කාලීන ආශාව වෙනුවෙන් රාජපක්ෂගේ දේශපාලනය නමැති කොටි වලිගයෙහි එල්ලුනහොත්, මුහුණ දීමට සිදුවන විපාකය අතිමහත් වනු නියතය. එය දේශපාලන උභතොකොටිකයක් නිර්මාණය කරනු ඇත. රනිල්ගේ දේශපාලනය කියවීම වැදගත්වන්නේ මෙහිදීය.

මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ඇති දේශපාලන යථාර්ථය නම්, පරාජය වූ කලී ජයග්‍රහණය ලෙස ගැනීමයි. එළඹෙන 26 වැනි දිනට තම 70 වන උපන්දිනය සමරන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, හමුවේ ඇති ප්‍රභල අභියෝගය ලියවෙන්නේද මෙම ක්‍රමෝපායට යටත්වය.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa