ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් අඩකට වැඩි ප්‍රමාණයකින් බැටකන වයඹ වනජීවී කලාපයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගෙන් ප්‍රදේශයේ වන අලින්ගේ වාසභූමි අක්කර 500ට වැඩි පමාණයක සුදු හඳුන් හා අඹ වගාවන් සඳහා එලි පෙහෙලි කිරීමට පුද්ගලික සමාගම් දෙකක් විසින් කටයුතු කිරීම නිසා එම ප්‍රදේශයේ සැබෑ භූමි පුත්‍රයින් වන අහිංසක දුප්පත් ගොවි ජනතාව හා අලි ඇතුන් පමුඛ වනසතුන් දැඩි අසාධාරණයකට ලක්ව සිටිති.

විහාර හා දේවාල ගම් ආඥා පනත අනුව නාකොළගෙන් රජමහා විහාරයට අයත් මෙම වනාන්තර ඉඩම් දිගු කලක සිට අලි ඇතුන්ගේ හා සෙසු වන සතුන් විශේෂ රැසකගේ නිජබිමක් වශෙයන් විශාල පාරිසරික වැදගත්කමක් හිමිකරෙගන ඇති ප්‍රදේශයකි. ඊට අමතරව ගොවි පවුල් දහස් ගණනකගේ කෙත්බිම් වලට දියවර සපයන පාළුකඩවල ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය වශයෙන් ද වර්ෂා සමයේදී තාවකාලික හේන් ගොවිතැනේ නිරත හේන් ගොවීන් රැසකගේ ජීවිකාව සරිකර දෙන භූමියක් වශෙයන් ද මෙම වනාන්තර ප්‍රදේශයෙන් ඉටුවන මෙහෙය අති විශාල වෙයි. නමුත් එම වටිනාකම් සියල්ලටම පයින් ගසමින් ඉතා අවාසනාවන්ත ලෙස මෙම වනාන්තර ඉඩම් වසර තිහක කාලයක් සඳහා බදු පදනම යටතේ කොම්පැණිකරුවන්ගේ පටු වාසි ප්‍රයෝජන සඳහා වනසා දැමීමට ඉඩ ලබා දීමට අදාල නින්දගම් ඉඩම් හිමි විහාරාධිකාරී හිමියන් විසින් කටයුතු කරමින් සිටින අතර මෙම විනාශය පිළිබඳව වගකිවයුතු බලධාරීන් හා නිලධාරීන්ද මුනිවත රකිමින් සිටිති.

මෙම මහා පරිමාණ වනාන්තර විනාශය සිදුවන්නට ඉඩ හැර බලධාරීන් මුනිවත රැක්ක හොත් ඉදිරියේදී මෙම වනාන්තරය ජල පෝෂක ප්‍රදේශය කොටගෙන ප්‍රදේශයේ ගොවි පවුල් දහස්ගනනකට තම කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සපයන පාළුකඩවල ජලාශය විනාශයට පත්වන බව අවධාරණය කල යුතුය. මී ඔය මගින් දියවර සපයාගන්නා ගල්ගමුව පාළුකඩවල ජලාශය 1960 වසෙර්දී ප්‍රතිසංස්කරණයකර ප්‍රදේශයේ කෘෂිකාර්මික නවෝදයක් ඇති කිරීමට එවකට රජය කටයුතු කල අතර අක්කර අඩි 7687.5 ක ජල ධාරිතාවයකින් යුක්ත මෙම ජලාශයෙන් කුඹුරු අක්කර 2400කට දියවර සපයයි. එමගින් තම ජීවනෝපාය සරිකරගන්නා ගොවි පවුල් ගණන 1050කට වැඩිය. නමුත් මෙම වනාන්තර විනාශය මගින් මෙම ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය වැනසී යාමෙන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සපයාගැනීමේ ගැටළු ඇති වේ. එසේම මෙම වනාන්තර වැස්ම ඉවත්කිරීම නිසා නිරාවරණය වන භූමියේ පස සෝදා යාමෙන් ජලාශයේ ජල ධාරිතාව අඩු වීම සිදුවේ. තවද මෙම වගාවන් සඳහා මහා පරිමාණයෙන් රසායනික දව්‍ය (උදා: කෘමිනාශක, වල්නාශක, දිලීරනාශක) හා කෘතීම පොහොර යෙදීම සිදුවේ. ඒවා පාළුකඩවල ජලාශයට ගලා යාමෙන් එහි ජලය දුෂනයවීමෙන් නිදන්ගත වකුගඩු රෝගය, පිළිකා වැනි මාරාන්තික රෝග වලට මෙම ප්‍රදේශයේ ජනතාව ගොදුරුවීමේ වැඩි ඉඩක් පවතී.

මෙසේ වනසා දැමෙන වනාන්තර වයඹ පළාතේ දිවිගෙවන අලි ඇතුන් රංචුවල ප්‍රධාන වාස භූමියක් බව ද අප ඉතා දැඩිව අවධාරණය කරගත යුතුය. 2011 වසරේදී සිදුකරන ලද දීපව්‍යාප්ත ජාතික වන අලි සමීක්ෂණයට අනුව වයඹ වනජීවී කලාපයේ දිවිගෙවන අලි ඇතුන් පමාණය 1189ක් බව වාර්තාකර ඇත. එම අලි ඇතුන්ගෙන් සියයට අසූවකට (80%) වඩා දිවිගෙවන්නේ වනජීවී රක්ෂිත වලින් පිටත වීමද විශේෂ කරුණකි. එසේ වනජීවී රක්ෂිත වලින් බැහැරව දිවිගෙවන අලි ඇතුන් රංචුවලින් සැලකියයුතු ප්‍රමාණයක් දිවිගෙවන්නේ මෙසේ වනසා දැමෙන පාළුකඩවල ජලාශ රක්ෂිතයේ බව කීම අතිශයෝක්තියක් නොවේ. එම පමාණය 300 කට වැඩිය. මෙම වනාන්තර විනාශය නිසා එම වන අලින්ගේ වාසභූමි අහිමි වීමෙන් ඉදිරියේදී වයඹ පළාතේ අලි මිනිස් ගැටුම් තවත් ඉහල ගොස් අලි ඇතුන් මෙන්ම අසරණ ගොවි ජනතාවද ජීවිත අවධානමට ලක්වීම නොවැලැක්විය හැකි වනු ඇත. මෙම ඉඩම් ලබා ගන්නා කොම්පැනිකරුවන් විසින් අති විශාල මුදලක් වැය කර තම වගාවන් වටා සුපිරි ගණෙය් විදුලි වැට ඉදි කර කාණු කාපා තුවක්කු සහිත මුරකරුවන් මගින් තම වගා නිරන්තරයෙන් ආරක්‍ෂා කරන අතර, අවට ගම්මාන වල ජනයා තම මුදල් හා ශ්‍රමය වැය කර ඉදි කරගන්නා ලද විදුලි වැටවල් ප්‍රයෝජනයක් නැති තත්ත්වයට පත් වී තම වගා හා ගේ දොර වන අලින්ට බිලි දී බලා සිටින්නට අසරණ ගම්වැසියන්ට සිදුවනු ඇත. එසේ ම ගම්මානය වටා විදුලි වැටකින් ආරක්‍ෂාව සපයා නොගෙන දැනට අවම වන අලි තර්ජන ඇතිව ජනතාව ජීවත්වන ගම්මාන වටා ද අති විශාල මුදලක් වැය කර වන අලින් ගෙන් තම දේපල හා වතුපිට ආරක්‍ෂාකර ගැනිම සඳහා පියවර ගැනීමට එම ගම්මුන්ට සිදුවේ.

එසේම අලි ඇතුන්ට අමතරව තිත් මුවා, ගෝනා, වල්ඌරා, ඉත්තෑවා, අළු වඳුරා හා රිලවා වැනි මිනිසුන් සමග අරගල ඇතිකරගන්නා වන සතුන් විශේෂ රැසක්ද මෙම වනාන්තරය වසාභූමි කොටගෙන ජීවත්වන අතර උක්ත වනාන්තර විනාශය නිසා එම වන සතුන්ට උන්හිටිතැන් අහිමිවීමෙන් එම සතුන්ගෙන් මිනිසුන්ට එල්ලවන බලපෑමද වඩාත් තීව්‍ර වීම අනිවාර්යය.

මෙසේ අත්තනෝමතික හා අසාධාරණ ආකාරෙයන් කොම්පැනිකරුවන්ට බිලිදෙන්නට උත්සාහ දැරෙන වනය කලින් කලට සාම්පදායික හේන් ගොවිතැනේ නියැළුණු දුප්පත් ගම්වැසියන්ගේ ජීවිතද සැපවත් කිරීමට ඉවහල්වූබව ඉහත ද සඳහන් කෙලමි. වසරේ එක් සීමිත කාලසීමාවකට පමණක් සීමාවූ එම හේන් ගොවිතැනෙන් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකයට අස්වැසිල්ලක් සැලසුනි. එසේම හේන් වගා කොට අත්හරිනලද ඉඩම් අලි ඇතුන්ගේ ගොදුරුබිම් ලෙස ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන ලදී. නමුත් මේ අයුරින් එක් තනි සමාගමකට දීර්ඝකාලීනව එම ඉඩම් බදු දීමෙන් යථෝක්ත ප්‍රතිලාභ ජනනයවීම සිදු නොවේ. තවද මෙම වනාන්තර ප්‍රදේශය නින්දගම් කොටගෙන පැවත එන නාකොළගනේ රජමහා විහාරයට අයත් ඓතිහාසික නටබුන් ආදීයද මෙම ව්‍යාපෘති කරුවන් අතින් විනාශ වීමේ දැඩි අවධානමක් පවතී.

පාළුකඩවල ජලාශය ආශ්‍රිතව මෙසේ විනාශකෙරෙන වනාන්තරය ඇතුළු අක්කර 1500 ක භූමි ප්‍රදේශයක් යොදාගනිමින් අලි නැරඹුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමට සුදුසු බැවින් ඒ පිළිබඳව අධ්‍යයන වාර්තාවක් සකස්කරන ලෙස 2014 ජුනි 10 දින රැස්වූ උද්භිඳ උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ ගරු සභාපති ජයරත්න හේරත් මහතා විසින් දන්වා ඇත. ඒ අනුවද පෙනී යන්නේ මෙම වනාන්තර ප්‍රදේශය වනජීවී වාසස්ථානයක් ලෙසම සංරක්ෂණය කරගෙන යාමෙන් වනජීවීන්ට පමණක් නොව ආශ්‍රිත ප්‍රජාවටද තිරසාර ආර්ථික පතිලාභ ජනනය කරගත හැකි බවයි. නමුත් ඒ ගැඹුරු යථාර්තයට පිටුපා යමින් කිහිප දෙනෙකුගේ පටු අවස්ථාවාදී ලාභ ප්‍රයෝජන වෙනුවෙන් මෙසේ ජාතියට හිමි අමිල සම්පත් විනාශවීමට ඉඩ දීම ජාතියේ අවාසනාවකි. මින් පෙර ද ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටම අයත් අඟු‍රුවැල්ල ප්‍රදේශයේද, උඩකොටුව, මඩදෙනිගම ප්‍රදේශයේද වනාන්තර විනාශකරමින් සුළු පරිමාණයෙන් මෙවැනි සුදු හඳුන් වගාවන් සිදුකිරීමට කටයුතු කල අතර ඒ පිළිබඳව බලධාරීන් ඇස් ඇර නොබැලීමේ ප්‍රතිපලයක් ලෙස එම ප්‍රදේශවලද මේ වන විට පෙර නොවූ විරූ ලෙස අලි මිනිස් ගැටුම් ඔඩු දිවීම නිරීක්ෂණය කල හැකිය. මඩදෙනිගම සුදු හඳුන් වගාවක් තුලදී වැවිලිකරුවන්ගේ වෙඩි පහරට ලක්වී වන අලියෙකුද ඝාතනයට ලක්වී ඇති අතර ඊට අදාල නඩුවක් මේ වන විටත් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙමින් පවතී. එසේම මෙම වගා කටයුතු වලට සම්බන්ධ පුද්ගලයන් විසින් ප්‍රදේශයේ අලි පැටවුන් ජාවාරමේ නිරතවන බවටද ජනතාව අතර මතයක් පවතී. තවද එම වගා ව්‍යාපෘති සඳහා නල ළිං මගින් විශාල වශයෙන් භූගත ජලය පොම්පකර ගැනීම නිසා එම ප්‍රදේශයේ ජනතාවට වියළි කාලයේදී දැඩි ජල හිඟයකටද මුහුණ දීමට සිදුවී ඇත.

ප්‍රදේශයේ ජන ජීවිතය කබෙලන් ලිපට විසිකරමින්, දැයට හිමි අගනා වනාන්තර සම්පතක් වනසා දමමින් සීමිත ධනපතීන් කිහිපදෙනෙකුට මනු සතුන්ගේත් අලි ඇතුන්ගේත් මරණ මංචකය මතින් හෝ තම මඩිය තරකරගන්නට ඉඩදීමට මෙම නින්දගම් ඉඩම්වල භාරකාරීත්වය දරණ විහාරාධිකාරී හිමියන් කටයුතු කිරීම විමතියට කරුණකි. තමන්ගේ දන් පත සරිකර දෙන අසරණ දුප්පත් ගොවි ජනතාවගේ වර්තමාන හා අනාගත උරුමය කොම්පැණියකට උගසට දී තම බඩ වඩා ගැනීමට උත්සාහ දැරීම කිසිවෙකුටත් යුක්ති යුක්ත නොවේ. එසේම මෙම වනාන්තර විනාශය සිදුකොට සියල්ල කාබාසිනියාකර දමා අදාල කොම්පැණිකරුවන් නික්ම ගිය පසු සිදුවූ වරද නිවැරදි කිරීමද කෙසේත්ම සිදුකල නොහැකිය.

එසේම මෙම සියළු වනාන්තර විනාශයන් සිදුකෙරෙන්නේ රටේ පවත්නා නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරමින් බවද අවධාරණය කරමු. 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දිනැති අංක 772/22 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව හෙක්ටයාර් එකකට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් කියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය. නමුත් මෙම වනාන්තර විනාශයන් සිදුවන්නේ එවැනි කිසිඳු ඇගයීමක් සිදු නොකොටය. එසේම කිසිඳු වගකිවයුතු ආයතනයක අවසරයකින්ද තොරවය.

එබැවින් අප බලධාරීන්ගෙන් ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම අති අමානුෂික පාරිසරික ඛේදවාචකය මගින් වයඹ පළාතේ අසරණ ජනතාවත් අලි ඇතුනුත් බිලිගන්නට ප්‍රථම ඉතා කඩිනමින් කියාත්මකවී සිදුවන්නට යන විනාශය වැලක්වීමට කටයුතු කරන ලෙසය.

සුපුන් ළහිරු ප්‍රකාශ්
ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

23.1
1 (3)

2 (3)

පහත ඡායාරෑප දෙකෙන් දැක්වෙන්නේ වන අලින්ට GPS කරපටි පැළදවීම මගින් ලබාගත් දත්ත අනුසාරයෙන් සකස් කළ මෙම සමස්ථ ප්‍රෙද්ශයේම අලිඇතුන්ගේ ගැවසීම දැක්වෙන සටහනක්.(සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ අනුග්‍රහයෙනි)
3

4