තවත් සුළු මොහොතකින් ඇතැම් විට මෙය ප්‍රසිද්ධ වන හෝරාව එළඹීමටත් පෙර ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජාතික (මහ) මැතිවරණයක් ප්‍රකාශ කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව ප්‍රකාශයකට පත් වනු ඇත. මෙය අතිශය තීරණාත්මක තීන්දුවක් බව අමුතුවෙන් කිව යුතු නැත. නොයෙකුත් අවලාද සහ නින්දා මධ්‍යයේ තම පක්ෂය අවස්ථාවාදී ගෝත්‍රික දේශපාලනයෙන් ගොඩ ගැනීම සඳහා තමන්ට ගතහැකි උපරිම තීන්දුව ලෙස අදාළ තීන්දුව ගැනීමට ජනාධිපති මෛත්‍රී මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තීරණය කළ ඇති සැටියෙකි. මෙය යහපත් තීන්දුවකි.

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, තමන්ට සහ තම පවුලේ අභිනවය වෙනුවෙන් ප්‍රසිද්ධ වේදිකාවේ ගතහැකි වඩාත් ප්‍රඥාගෝචර තීන්දුව වන පසු බැසීම හෙවත් සිල් සමාදාම් වීම මේ අනුව සිදුවනු ඇත. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බව කියනු ඇත. එසේම තම පුත්‍රයාට එම පක්ෂයෙන් නාම යෝජනා ලැබෙනු ඇත.

කෙසේ වෙතත්, නැති භූක්තියක් කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන්ට ඇති අයිතිය ගැන ඔහු ඉදිරියේදී වඩාත් ශෝකානුකූල ගීත ගයනු ඇත. එසේ ගයමින්, තමන් වටේ සිටින දේශපාලන අනාථයින් ආරක්ෂා කිරීම සඳහා “මහින්ද අගමැති කිරීමේ විජග්‍රහණයේ” රැළි සඳහා වැසිකිළි දොරින් එම රැළි වලට එකතු වනු ඇත. කවදා හෝ තම බලාපොරොත්තු ඉටුවන තෙක් මහින්ද මෙම ද්විත්ව චරිතය රඟපානු ඇත.

මහින්ද මුහුණ දෙන අර්බුදය තේරුම් ගැනීම පහසුය. එනම්, ඔහුට තම ධූරයෙන් නික්ම යෑමට සිදු වූ අවලාද සහ ලජ්ජා සහගත ආකාරය ගැන විශාල පසු තැවීමක් තිබේ. එය ස්ව-අභිමානය පිළිබඳව වූ කාරණයකි. මවනු ලැබූ ලෝකයක වීරයෙක් සැබෑ ලෝකයේ වීරයෙක් නොවන්නේ මන්ද යන ගැටලුව තුළ ඔහු සිරවී සිටින සැටියෙකි.

තවත් එක් හොරෙකු ලෙස දේශපාලනයෙන් මෙන්ම අරලියගහ මන්දීරයෙන් නික්ම යෑමට පාදක වූ පසුබිම ගැන විශාල පසු තැවීමක් මෙන්ම වෛරයක් හිටපු ජනාධිපතිවරයාට තිබේ. එය දිට්ටධම්ම වේදනීය කර්මය එනම් තම පක්ෂයේ නායිකාවට සැලකු නින්දා සහගත වැඩපිළිවෙල නිසා යැයි තේරුම් ගැනීමට තරම් මටසිලිටුකමක් සහ අව්‍යාජත්වයක්, ඔහුට නැත. මේ නිසා තම අතවැසියන් යොදා හැකි පමණ, හිටපු ජනාධිපතිවරියට නින්දා කිරීම, තමන් වටා ලැගුම්ගෙන සිටින ‘හිවලුන්’ යොදා හූ කීම ආදී ගෝත්‍රිකවාදී දේශපාලන උපයාන් වෙත ඔහු තල්ලු වීම ස්වභාවිකය.

හිටපු ජනාධිපතිවරායාගේ වත්මන් භූමිකාව දෙස බැලීමේදී පෙනී යන්නේ එම කෛරාටක සහ මෝඩ දේශපාලන භාවිතයයි.

“නූතන දුටුගැමුණු” නාමයෙන් පුම්බනු ලැබූ බැලුනයේ හුලං සියල්ලම ගොස් ඇත. එම බැලුනයේ හුලං වලට සැඟවී තම අවනීත බලය සහ මඩිය තරකරගත් සියලුම අයවලුන්ගේ නිරුවත හෙළිදරව් වෙමින් තිබේ. එය කෙතරම් දුරට ශෝකජනකද කිවහොත්, යුක්තිය දැක මොවුන් සියලුම දෙනා ලෙඩ වෙති. හොර ලෙඩ පෙන්වමින්, හොර සහ ආත්ම ගරුත්වයක් නොමැති නමුත් මුදල් හමුවේ සියලුම දෑ පාවාදිය හැකි හොර වෙදුන් හමුවේ සහතික ලබා ගනිමින් තම ලැජ්ජාව උසාවි ඉදිරියේ වසා ගැනීමට යන්ත දරති. රාජපක්ෂවරුන් මෙන්ම ඒ වටා ඒකාරාශී වී සිටින ආවතේවකරුවන් මුහුණ දී සිටින සැබෑ යතාර්ථය එයයි. මෙම දේශප්‍රේමීන්ට සරත් ෆොන්සේකා පමණක් නොව එස්. බී. දිසානායක වීමටවත් නොහැකිය. ඔවුහුට ජම්පරය ඇඳීමට කොන්දක් තිබුණි.

මෙම කෛරාටක ගෝත්‍රික දේශපාලන කල්ලිවාදයට එරෙහිව කළ හැකි එකම විසඳුම, මහ මැතිවරණයකට යෑම බව අවසානයේදී බලය ඇත්තා තීන්දු කිරීම වැදගත් කාරණයකි. මෙහිදී උභතෝකෝටිකයකට මුහුණ දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය නොව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහු වටා සිටින උන්මන්තක දේශප්‍රේමින්ය. මොවුහු ඉදිරි දින කිහිපය තුළ, හැකි උපරිමයෙන් උගුල් අටවනු ඇත. එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ කිසිඳු දිනක මුහුණ නොදුන් මට්ටමේ දේශපාලන ගුණ්ඩු වලට ඇද දැමීමට උත්සහ කරනු ඇත. මන්ද ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ එතැනය.

මේ නිසා, මහින්ද රාජපක්ෂ මහතා පෝෂණය කළ ගෝත්‍රික දේශපාලනයට එරෙහිව කටයුතු කළ සියලුම අයවලුන් තාවකාලික ආශාවන් පසෙකලා පෘතුල අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමට කාලය එළඹ තිබේ.

මහ මැතිවරණයකින් ජයග්‍රහණය කිරීම වූ කලී හැකි පමණ තම මඩිය තරකර ගැනීම සහ අනෙකාව තලා පෙලා දැමීමේ අවස්ථාව උදා වීම යැයි සිතූ අවධියක් තිබුණි. ඒ කාලය අවසන් වෙමින් තිබේ.

රටේ ජනතාව තම යහපාලනය උදෙසා වැදගත් පුද්ගලයෙකු රටේ ජනාධිපති ලෙස පත් කොට තිබේ. එසේම ඔහු, තම දේශපාලනය කෞශල්‍ය නීච නොකොට පවත්වා ගෙන යෑමට තීරණය කොට තිබේ. මෙම භූමිකාව හමුවේ, මහ මැතිවරණයෙන් බලයට පත්වන පක්ෂයට වඩා වැදගත්වන්නේ එම පක්ෂයට ඇති ජාතික වැඩපිළිවෙල සහ එම ජාතික වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා රටේ නායකත්වය දක්වන නැමියාවයි.

සැබවින්ම මෙම අවස්ථාව වූ කලී, රාජපක්‍ෂලා පෝෂණය කොට ලෝකය හමුවේ හුදෙකලා ජාතියක් කරනු ලැබූ ගෝත්‍රිකවාදී දේශපාලනය අවසන් කිරීම සඳහා වූ අවසාන මෙහෙයුම සඳහා උදා වී ඇති හෝරාවයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රසන්න බව සහ වැදගත්කම නම් මෙයමැයි.

එය නිවැරදිව භාවිතා කිරීමේ කෞශල්‍ය අපේ මාතෘ භූමියේ, වෙසෙන උදාර මිනිසුන්ට තිබේ යැයි, අපි සුභ සිහින දකිමු. මන්ද, මෙය අවලස්සන සහ අප්‍රසන්න ගෝත්‍රික කල්ලිවාදී දේශපාලනය අවසන් කිරීම සඳහා වූ මෙහෙයුමේ අවසන් අදියර බැවිනි.

Image: Facebook.com

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa