Image Credit: scmp.com

ඔබ අන්ධ භක්තියෙන් අදහන, රටේ බහුතරය විසින් මේ වන විටත් ඉතිහාසයේ කුණු බක්කියට විසිකර දමනු ලැබ ඇති, අධික බලකාමය නිසා දැඩි ලෙස මානසික ආතතයකින් පෙළෙන ඔබේ ‘අප්පච්චි’ නොහොත් මහින්ද රාජපක්ෂ පසුගිය කාලය පුරාවට නිර්දය අන්දමින් ඔබව ගොනාට ඇන්දවූ බව සහ තවමත් එසේ කිරීමට උත්සාහ ගනිමින් සිටින බව පිළිගන්නවාද?

ඔහු ඔබව කඩේ යැවීම සඳහා යොදා ගත් සුලභ උපක්‍රමය වූයේ තමා මේ රටටත්, ජාතියටත්, ආගමටත් දිවි හිමියෙන් ආදරය කරන බව ඔබට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම තුළින් ඔබටද ඔහුට වැළඳී ඇති රෝගයම බෝ කිරීම හරහා ඔබව බිල්ලට තබා බලය අත්පත්කර ගැනීම බව ඔබට දැන්වත් නොවැටහෙන්නේ ඇයි?

මහින්ද යනු ලංකා දේශපාලනයේ අන්තිම සාධකය නම්, ඉන් අදහස් වන්නේ ඔහු මියගිය දිනෙක ලංකාවේ දේශපාලනයේ අවසානය සිදු වන බව සිතන්නට තරම් ඔබ මුලාවට පත්ව සිටින්නේද?

ඉතිහාසය ඉදිරියට ගලා යන හෙයින් ඕනෑම වකවානුවක යුගයේ අවශ්‍යතාවට සාපේක්ෂව නායකයින් බිහි වීම ස්වභාවික දෙයක් බව සිතන්නට ඔබට නොහැක්කේ ඔබ ‘මහින්දෝන්මාදය’ නමැති දරුණු මානසික ව්‍යාධියෙන් පෙළෙන නිසාද?

නූතන මිනිස් වර්ගයා විසින් පොදුවේ පිළිගනු ලැබ තිබෙන සදාචාරය, සංස්කෘතිය, ශිෂ්ටාචාරවත්භාවය වැනි මානව ගතිලක්ෂණ කෙරෙන් ආලෝක වර්ෂ ගණනාවක්ම ඈත සිටින්නෙකු වන ඔබේ සංකල්පීය අප්පොච්චා ස්වකීය මජර ගති සියල්ලම ඔබටද ආරෝපණය කරමින්, ඔබ තුළ සිටින හොඳ මිනිසා මරා දමා ඔබවද තුට්ටු දෙකේ රස්තියාදුකාරයෙක් ගානට ඇද දමමින්,තම පවුල් වර්ගයා පෝෂණය කරන්නට තැත් දැරුවද, ඔහුට රැවටී ඔහු වෙනුවෙන් මුහුණුපොත හා වෙනත් මාධ්‍ය යොදා ගනිමින් ‘ඩයස්පෝරාව’ වැනි ඔබ අතරින්ද බොහෝ දෙනාට හරි අවබෝධයක් නැති වචන ගිරවුන් මෙන් කියමින් ‘පොන්නයා, හම්බයා, දෙමළා, බල්ලා’ ආදී වචන ඔබේ දෛනික භාෂා විලාසය බව ප්‍රකට කරන්නට තැත් දැරීමෙන් අදහස්මය වශයෙන් දූෂණය වන්නේ ඔබේම දරු පරපුර මිස මහින්දගේ අය නොවන බව ඔබට නොපෙනෙන්නේ මන්ද? මෙය ඉදිරි ළමා පරපුරේ පූර්වාදර්ශය බවට පත් වුවහොත් ඔවුන්ද හැසිරෙනු ඇත්තේ අන් මත ඉවසිය නොහැකි රස්තියාදුකරයින් ලෙස හෙයින්, සංස්කෘතිය හා සිංහලකම යොදාගෙන කොස් ඇට බාන ඔබේ අප්පොච්චා කෙළින්නේද ඒවාටම බව තේරුම් ගැනීමට අවශ්‍ය චින්තන ශක්තිය ඔබට නොමැතිකම අනේ ඛේදවාචකයක් නොවේද?

ඔබ නිතරම අවධාරණය කරන්නට උත්සාහ ගන්නා තර්කයක් වන්නේ අප්පොච්චා යුද්ධය නිම කළ නිසා ලංකාව ඔහුට පාවා දිය යුතු බව වුවද, ඕනෑම රටක යුද්ධයක් හෝ වෙනත් අර්බුධයක් පවතින විට එය සමනය කිරීමට ඇප කැප වීම එරට පාලකයාගේ ‘වගකීම හා බැඳීම’ මිස එය ඔහුව දේවත්වයෙන් වන්දනා කිරීමට හේතුවක් නොවන්නේය යන සරල දේශපාලනික ධර්මතාව ඔබට වැටහෙන්නේ නැත්තේ ඔබ මෝඩයන් නිසා නොව ජාතිවාදය නමැති මහා කොඩිවිණය ඔබේ ඇස් අන්ධ කර ඇති නිසා බව ඔබ කිසිදා පිළිගන්නේ නෑ නේද? අප මහින්දව බලෙන් උස්සාගෙන ගොස් ජනාධිපති කළා නොව ඔහු ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී දේශපාලනයට පැමිණ ජනපති වූ බව ඔබට අමතකද? එහෙව් අයෙකු රටක පාලකයා වන අවස්ථාවේදීම එරටේ තිබෙන අර්බුදවලට විසඳුම් සේවීමට එකඟ වන හෙයින් එය ඔහුගේ හුදු වගකීමක් පමණක් බව පිළිගැනීමට ඔබ අකැමති වීම කණගාටුවට කරුණක් බව ඔබට නොසිතෙන්නේ මන්ද?

2015 වසර පටන් ගත් දා සිටම ඔබේ අප්පොච්චා අනුන්ගේ අල්ලේ නටන රූකඩයක් මෙන් එක එකාගේ පදවලට නටන්නට ගොස් හත්පොළේ ගා ගත් බව ඔබ මේ මොහොතේ පිළිනොගත්තද, නුදුරු අනාගතයේදීම මහින්ද අන්තෙටම කුජීත වී ගිය පසු ඔබට එය ඒත්තු යනු ඇති බව ඔබ දන්නවාද? අඩුම තරමින් ‘හැබැයි අරූ තමයි මහින්ද මහත්තයට මෙහෙම කරේ’ යන්නවත් ඔබේ මුවගට නොනැගෙනු ඇත්ද?

මේ දිනවල ඔබේ මහින්ද උතුමාණන්ව ගොනාට අන්දවා ඔහුව බලයට ගෙන ඒමේ මුවාවෙන් තමාගේ කිච, කුජීත ස්වභාවය වසා ගැනීමට උත්සාහ දරමින් සිටින්නේ හරිහමන් නමක් කියා දෙයක් නැති, පුරවැසියෙකු වශයෙන් අත්‍යවශ්‍යම දෙයක් වන හරිහමන් ජාතික හැඳුනුම්පතක් නැති, වාචාලකම මිස අධ්‍යාපනයක් නැති, අප රටේ ජීවනාලිය බඳු වැඩකරන පන්තිය පවා තුච්ඡ අන්දමින් පාවා දී ධනපතියන්ට කඩේ යන අතර හීනෙන් අධෝ වාතයක් පිට වුණත් බටහිරට බයේ ඇඳ යටට රිංගන විමලසේන සහ තවත් එවැනිම අන්ත පීචං දේසපාලුවෙක් වන ගෙම්බන්පිලාභිධානී උදය ගම්මන්පිල (මැතකදී ගොං කතාවක් කරන්නට ගොස් එක්නැලිගොඩගේ පුත්‍රයාගෙන් රෙදි ගැලවෙන්නට අසාගත්තේය) වැන්නවුන් බව සිහි කරන විට ඔබ තුළ ලැජ්ජාවක් හා කේන්තියක් නූපදින්නේ මන්ද? ඔබේ සදාදරණීය අප්පොච්චා රවටා සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් අප්පොච්චාව බූරුවෙක්ගේ සහ මැර කසිප්පුකාරයෙක්ගේ තත්වයට ඇද දැමූ උන් ගැන කේන්තියක් නොඑන්නේ නම් ඉන් අදහස් වන්නේ ඔබද ඇත්තටම අප්පොච්චාට ආදරේ නැති බව නොවේද?

ඔබ ඉස්සර නම් ජාතිවාදය, වර්ගවාදය, මිථ්‍යාව අවුළුවන්නට මාධ්‍ය භාවිත කරන විට ඒවාට ඇහුම්කන් දෙන පිරිසක් සිටියත් දැන් විශේෂයෙන්ම මුහුණුපොත වැනි සමාජ මාධ්‍ය ආශ්‍රිතව දේශපාලනික අදහස් හුවමාරු කරගන්නා නූතන තරුණ පරපුර ඔබට වඩා සෑහෙන් දුරින්, බුද්ධිමත්ව සිටින බව නොවැටහෙන ඔබ, අතින් පයින් දමා මවන ලද, පට්ටපල් බොරු ඇත්තේ සේ ගෙන ප්‍රචාරය කරන විට, ඉන් එලියට පනින්නේ ඔබේ හෙළුවැල්ල බව ඔබට නොහැඟෙන්නේ ඇයි?

මෙය, අඩුම තරමින් ඔබේ දරුවන්ගේ හා ඉදිරි පරම්පරාවේ යහපත ගැනවත් සිතා මේ දේශපාලනික ප්‍රවේණිදාසකමින් මිදීමට කදිම අවස්ථාවක් බව ඔබ දන්නවාද?

‍අශාන් වීරසිංහ | Ashan Weerasinghe