Image Credit: FB/Ranil Wickramasinghe

මහමැතිවරණයට තවත් ඇත්තේ දින හයක් පමණි. එජාපයට අනුව ඔවුහු මේ වන විටත් ජයග්‍රහණය කොට ඇත. එසේම සන්ධානයට සහ මහින්ද රාජපක්ෂ මහතාට අනුව ඔවුහු මේ වන විටත් පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගෙන ඇත. මහින්ද අගමැති කිරීම “ඒ වෙලාවට” බලා ගන්නා කාරණයක් හෙවත් “චන්ඩියාගේ පාට්” එකකි. අනෙක් පසින් ජවිපෙද තමන්ගේ බලාපොරොත්තු වලින් සුන්දර සිහිනලෝක තනාගෙන ඇත. මෙම මැතිවරණයේදී වඩාත් ඇත්ත ඇති සැටියෙන් දැක ඒ අනුව කටයුතු කරනු ලබන්නේ දෙමළ ජාතික සන්ධානය පමණි. දෙමළ සමාජයේ ප්‍රභූ පන්තියට කුළුඳුල් අහිංසාවාදී දේශපාලන හස්තයකින් ටොක්කක් ඇන ඇත. එමඟින්, සම්බන්ධන්ගේ සිට දෙමළ සමාජයේ දේශපාලනය ග්‍රහණය කොටගෙන සිටි ප්‍රභූ පැලැන්තිය උභතෝකෝටිකයක් වෙතට තල්ලු කොට ඇත. මෙම කාරණය වෙනම විමසා බැලිය යුතු සංකීරණ සමාජ ප්‍රවණතාවයකි.

එසේම, ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් තම ආස්ථානය තෝරාගෙන ඇත. පැරණි උපායන් සහ පැරණි මාක්ස්වාදී දේශපාලාන මුලිකාංගයන්ගෙන් අපගමනය වී භූමියේ හැඩ තල අනුව හැසිරීමට ඉගෙන ගෙන ඇති ආකාරය දක්නට ලැබේ. පිරිත් නූල්, ඔරසන්, වේද සහ වේදාන්ත මෙන්ම නමාස් අතරට නූතන මාක්ස්ගේ සෙවණැල්ල රැගෙන එමින් සිටියි. එය සිංහල ජනතාව අතර ක්‍රමිකව පැතිරෙමින් පවතින දේශපාලන සිහිනයක් නිර්මාණය කරමින් තිබේ. මෙය නැවැත්විය හැක්කේ, එම පාක්ෂය තුළ ඇතිවිය හැකි අභ්‍යන්තර ආරවුලකින් හෝ ඉතිහාසයේ සිදු වූ ආකාරයේ උපරිම බලය යොදා මර්ධනය කිරීමකින් පමණි. නමුත් පැළපදියම් වී ඇති කුහකකම අභියෝග ජයගැනීමේ බාධකය නිර්මාණය කිරීමේ සම්භාවිතාවක් තිබේ. නමුත් මූලික අභියෝග දෙක ජයගත හැකිනම්, ජවිපෙ තම ඉතිහාසය අලුත් කරනු ඇත.

ඊට අවශ්‍ය වන්නේ තවත් අවුරුදු 10ක පමණ කාලච්ඡේදයක් ඉලක්ක කරගෙන නිර්මාණය කරනු ලබන සමාජ, දේශපාලන සහ ආර්ථික සැලැස්මකි. ඔවුහුට, ආසියාවෙන් ඔබ්බට ගොස්, සැබෑ දේශපාලන පුනරුදයන් වූ සමාජ සංස්ථා සමඟ ද්විපාර්ශවීය සහ බහුපාර්ශවීය සම්බන්ධතා නිර්මාණය කරගත හැකි නිශ්චිත වැඩපිළිවෙලක් තිබේනම් සහ භූමියේ ඇති සැබෑ ගැටලු එනම් අහාර, සෞඛ්‍ය, ප්‍රවාහන සහ අධ්‍යාපනික ක්ෂේත්‍රවල දැකගත හැකි දිරා ගිය, සංස්කෘතිකගත දූෂණය පිටුදැකීමට වැඩපිළිවෙලක් තිබේනම්, වඩාත් ඵලදායි ආස්තානයකට ලංවනු ඇත. මෙහිදී සැබැවින්ම නිරීකෂණය කළ හැකි කාරණයක් වන්නේ නුදුරු අනාගතයේදී ජවිපෙ සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් දේශපාලන ප්‍රවාහය අතර මුලික එකඟතාවයක් ඇතිවීමේ අවකාශයයි.

මෙවර මැතිවරණයේ මුලික අවධානය දිනාගෙන ඇති එජාපය සහ එහි බලාපාරොත්තු මෙන්ම රටේ බලාපොරොත්තු වලට එහි ඇති වැදගත්කම තේරුම් ගැනීමට උත්සහ ගැනීම මෙම ලිපියේ මුලික අරමුණ වේ.

එජාපයේ හැසිරීම අනුව නිරීක්ෂණය කළ හැකි මුලික කාරණයක් තිබේ. එනම් ජයග්‍රහණයට පෙර තම ජයග්‍රහණය භුක්ති විඳීම අවාසනාවන්ත මෙන්ම අවඥාසහගත කාරණය එජාපයේ දේශපාලනයෙන් දැකගත හැකිය. මැතිවරණයෙන් එජාපය දිනන බවට මූලික වශයෙන් පිළිගැනීමක් බොහෝ දෙනෙකු අතර තිබුනද ගෙවෙමින් පවතින සෑම හෝරාවක් අරඹයාම, එජාපයේ අහංකාර සිහිනය චලනය වෙමින් තිබේ. ඔවුහු අතින් මුලික යථාර්ථයක් වන, ජයග්‍රහණය දෑස් මානයේ පෙනුණද එය බලෙන් ලබා ගත නොහැකිය, යන මුලික කාරණය මඟ හැරෙමින් තිබේ. එය ලබා ගැනීම සඳහා ක්‍රමෝපායිකව තම දේශපාලාන විඥානය භාවිතා නොකළ හොත් එළඹෙන මැතිවරණයේ ප්‍රතිඵලය ඉතාම අස්ථාවර එකක් වනු ඇත. එමඟින්, නොසිතන දෑ සිදුවිය හැකිය. එවිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බැන වැදීමෙන් පලක් නැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඔහු වටා සිටින බොහෝ දෙනෙකුගේ නොඉවසිලිවන්ත සහ ප්‍රකෝපකාරී මෙන්ම ඝෝෂාකාරී හැසිරීම මෙන්ම අතේ පැලවෙන බොරුකීම මඟින් එජාපය යම්කිසි ඉඩක් වෙන්කරගෙන තිබේ. නමුත් එජාපය, කුරුණෑගල දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් අනුගමනය කරන දුර්වල සහ අහංකාර දේශපාලන ප්‍රචාරණ උපායන් සේම උතුරු සහ නැගෙනහිර පළාත් වල සිදුවන සැබෑ දේශපාලන සන්දර්භය නිවැරදිව අවබෝධ කර නොගැනීම මඟින් අනපේක්ෂිත ඉරණමක් අත්විය හැකිය.

මෙහි කදිම නිදසුන නැගෙනහිර පළාතේ එජාපයේ මැතිවරණ ව්‍යාපාරය මුළුමනින්ම පාහේ බිඳ වැටීම මෙන්ම උතුරු පළාතේ , විජයකලා වැනි සංචල, මන්දපෝෂිත දේශපාලන විඥානයකට ප්‍රමුඛතාවය දීම මඟින් පහසුවෙන් ලබාගත හැකි දෑ අතිශය සංකීර්ණ සහ දුෂ්කර මෙහෙයුම් බවට පත් වී තිබීමය. තම මැතිවරණ ව්‍යාපාරය පුරාම, විජයකලා මහේෂ්වරී වෙනම ලෝකයක නිමග්න වෙමින්, එජාපයේ අපේක්ෂාවන් වෙනුවට තම පෞද්ගලික අභිලාෂයන් වලින් සමන්විත මනෝලෝක නිර්මාණය කරමින් සිටින්නීය. ඇය බලයට පත් වූ විගස පළාතේ සියලුම පොලිස් ස්ථාන ඉවතකරන්නේය වැනි, බරපතල ප්‍රකාශ බලය ලබා ගැනීම උදෙසාවන හාස්‍යජනක කෛරාටක උපායන් ලෙස මතුපිටින් පෙනුණද, එවැනි දෑ වලට පළාතේ සැබෑ සංහිදියාවක් ඇති කළ නොහැකිය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල දේශපාලන සහ සමාජීය රික්තයක් ඇති බව විවෘත කාරණයකි. එය දේශපාලන අවස්ථාවාදීන් සහ වර්ගවාදීන් ඩැහැ ගැනීමට පෙර ක්‍රමෝපායික වැඩපිළිවෙලක් දියත් කළ යුතුව තිබුණි. දෙමළ ජනතාව නියෝජනය කිරීමට දෙමළ බස හොඳින් කතා කළ හැකි එම පළාත්වල සැබෑ ගැටලු හඳුනන සහ එම පළාත්වල භූමියේ හැඩය දන්නා සිංහලයින් සිටිති. මීට පෙර කේ. බී. රත්නායක වැනි සැබෑ දේශපාලනඥයින් මෙම දේශපාලන උපායන් සාර්ථකව අත්හදා බැලුවේය. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය මෙවැනි මුලික දේශපාලන උපායන් මග හරිමින් තිබීම සැබැවින්ම කණගාටුවට කාරණයකි.

දෙමළ ජනතාවගේ ගැටලු හඳුනා ගත හැක්කේ දෙමළ ජාතිකයෙකුට පමණය යන, මංමුළා වූ සිහිනයක පැටලෙමින්, දශක ගනනාවක් තිස්සේ නිර්මාණය කරනු ලැබූ අවුල, තවත් තවත් අවුල් කිරීම හැරෙන්නට ක්‍රමවත් වැඩපිළිවෙලක් ප්‍රධාන පක්ෂවලට හෝ ඒවාට උපදෙස් ලබාදෙන අයවලුන්ට නොතිබීම අවාසනාවකි. එසේම සිංහල ජනතාව නියෝජනය කිරීමට දෙමළ ජාතිකයින් ඉදිරිපත් කිරීමද දේශපාලනික වශයෙන් වැදගත් වේ. එවැනි දෑ මඟින් රටට පමණක් නොව මුළු ලෝකයටම නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙනු ලබයි. සැබෑ සංහිදියාව මෙන්ම යහපාලනයේ සැබෑ අරමුණු මුදුන් පමුණුවා ගත හැකි වන්නේ එවැනි දෑ මඟිනි. නමුත් මෙවර මැතිවරණය තුළ එවැනි දෑ දැක ගත නොහැකිය. ඒ වෙනුවට හඳුනා ගතහැක්කේ දේශපාලනික වශයෙන් සිදුවී ඇති අභ්‍යන්තර බෙදීමකි.

උතුරු නැගෙනහිර මෙන්ම වතුකරයේ දේශපාලනයද, එජාපය නිවැරදිව කියවා ඇතිබවක් දක්නට නොලැබීම එම පක්ෂය මුහුණ දිය හැකි අවාසනාවන්ත ඉරණමකි. මීට මුලික හේතුවක් තිබේ, එනම්, මෙවර මහා මැතිවරණය කේන්ද්‍රගත වී ඇති මුලික හැඩතලයන් පෙර මැතිවරණ වලට වඩා වෙනස් වීමය. එනම්, එය තවත් එක් ජනාධිපතිවරණයක් හා සමාන හැඩතලයක් ගැනීමය.

රාජපක්ෂ මහතා බලයට ගෙන එන්නේද? ඔහු පරාජය කරන්නේද යන්න මුලික කේන්ද්‍රීය කාරණය බවට පත් වී ඇති අතර, ඒ වටා බොහෝ දෙනෙකුගේ දේශපාලන උපායන් හැඩ ගන්වා ඇත. එහි වරදක් දැකිය නොහැකිය. මන්ද මහින්ද රාජපක්ෂ මහතා, තමන්ගේ විධායක අගමැති සිහිනය මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් හැකි උපරිම උත්සාහයෙන් සටන් වදින බැවිනි.

නමුත්, ඉදිරි වසර හතර තුළ ආණ්ඩුකරණය සාර්ථක කරගත හැක්කේ රාජපක්ෂට පහරදීමෙන් පමණක් නොවේ. එය එසේ වුවහොත් රාජපක්ෂ යුධ ජයග්‍රහණය දේශපාලනිකරණය කොට තමන්ගේම පරාජය තමන් විසින්ම තනා ගත්තේ යම්සේද, එජාපයද පැරණි උගුලේ පැටලෙනු ඇත. එමඟින් රටේ තත්වය තවත් අස්ථාවර වීම පමණක් සිදු විය හැකිය.

පසුගිය ජනවාරි 08 වැනිදා මැතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමන් පසු, රටේ තනතුරුවලට කුළල්කා ගත් ආකාරය ඒ ගැන දන්නා බොහෝ දෙනෙකුගේ මතකයේ තිබේ. බොහෝ දෙනෙකු උත්සහ කරනු ලැබුවේ, ජයග්‍රහණයේ අයිතිකරුවන් වීමට මිස ජයග්‍රහණය හමුවේ තම කරමතට ආ වගකීම තේරුම් ගැනීමට නොවේ.

එසේම දේශපාලනීකරණය වූ දූෂිත රාජ්‍ය ආයතන ව්‍යුහය තුළ සිටි වෘකයන් බොහෝ දෙනෙකු බැටළු හම පොරවා ගෙන, යහපාලනයේ පිරිසිදු ළදරුවන් වී යහපාලන සූප්පුවෙන් කිරිබීමට පටන් ගත්තෝය. තවත් සමහරුන් තම ප්‍රසිද්ධිය සොයා රටේ මාධ්‍ය අරක් ගත්තෝය. සැබෑ දේශපාලන ප්‍රතිසංස්කරණ මෙවැනි දෑ මඟින් සිදු නොවේ. සැබෑ දේශපාලන ප්‍රතිසංස්කරණ වලට සිහිනුවණින් යුතු දේශපාලන කියවීමක් අත්‍යවශ්‍ය වේ. පුරවැසි බලය නමැති එකතුව මෙන්ම වීදියේ විරෝධය, එය යම්තාක් දුරට අත්හදා බැලීමට උත්සහ කළද එය, එය විසින්ම තනාගත් කූඩුවක ලැගුම්ගත් ආකාරයක් දක්නට ලැබේ. මෙවැනි පුළුල් සහ ආකර්ශනීය ව්‍යාපාර ඇමීබාකරණයකට ලක්වේදෝයි මා හට භීතියක් තිබේ.

නැසීගිය ගාමිණී හත්තොටුව මහතාගේ සැබෑ දේශපාලන කියවීම සහ ඔහු ගැටලු හඳුනාගෙන වීදියට ගිය ආකාරය මෙන්ම වර්තමානයේදී දැකගත හැකි විවෘත දේශපාලන ආශාවන් ඔස්සේ ගොස් “පොරක්” වීම සඳහා වීදියේ සිදුවීම් නිර්මාණය කිරීම අතර විශාල පරතරයක් තිබේ. මෙය වහාම තේරුම් ගත් යුතු කාරණයකි.

එසේම, වසීම් තජුජීන් අරඹයා මතුවී ඇති කාරණය ද මීට සම්බන්ධව තේරුම් ගත හැකිය. ලංකාවේ දැනට ඩි. එන්. ඒ. පරීක්‍ෂණ සඳහා ඇත්තේ එක් ආයතනයක් පමණි. එයද පෞද්ගලික ආයතනයකි. රටේ සිදුවන අපරාධවලට ඩි. එන්. ඒ. පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍යය වූ විට, ගිය හැකි එකම ආයතනය එය වේ. රාජ්‍යය අපරාධ පරීක්ෂණ මෙවලම් අතින් බංකොලොත් වී ඇත.

ඒ අනුව පරීක්ෂණ කෙතරම් ප්‍රමාද වන්නේද, පරීක්ෂණ වලින් ලබාගත හැකි තොරතුරුවල සත්‍යය බව තීරණය කිරීමට කෙතරම් කාලයක් ගතවන්නේද වැනි මුලික කාරණා තුළ මෙරට අපරාධ පරීක්ෂණ සිර වී තිබේ. තජුඩීන් මහතාගේ කාරණය තවත් සුරියකන්දක් බවට පෙරළා නොගැනීමේ මුලික වගකීම පැවරෙන්නේ යහපාලනයට සහ සැබෑ යහපාලනයක් වෙනුවෙන් කටයුතු කරන සැබෑ පුද්ගලයින්ටය. මාතලේ සමූහ මිනීවලට මුහුණ දීමට සිදු වූ දේශපාලන ඉරණම මෙන්ම වැලිවේරියේ බීමට ජලපොඳක් ඉල්ලා සිටි නිරායුධ අසරණයින්ට මුහුණ දීමට සිදුවූ දේශපාලන ඉරණම ගැන අපි දනිමු. එසේම මෙරට සිදුවී ඇති අපරාධ වලට අනුව ඕනෑම අයෙකුගේ කඳුළු දේශපාලනීකරණය කිරීම ඉතා පහසුය. නමුත් වැදගත් වන්නේ උනන කඳුළු වලට සාධාරණයක් ඉටු කිරීමය. ඒ සඳහා අවංක කැපවීමක් එජාපයට තිබේද?

රටේ සැබෑ සිහිනය ලියවී ඇත්තේ එම සිදුවීම වල වේදනාවට යටත්වය. එක්සත් ජාතික පක්ෂය මේවන විට ඉදිරියට දමන දේශපාලන කාරණා අනුව රටේ සිහිනය සමඟ අතිපිහිත වීමට හැකිද යන්න තීන්දු කිරීමට ඉදිරි දින කිහිපය ප්‍රමාණවත් වේ.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa