2009 මැයි සංහාරයෙන් පසුව උතුරේ පැවැත්වුනු නිදහස් සහ සාධාරණ මැතිවරණය පසුගිය 17වනදා අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණය යැයි කිවහොත් එය නිවැරදිය.

එහිදී රාජපක්ෂ ආණ්ඩුව සමයේ පැවති උතුරු පළාත්සභා මැතිවරණයේදී සැලකිය යුතු අන්දමේ ප්‍රචණ්ඩක්‍රියා මෙන්ම නීතිවිරෝධී කටයුතු බොහෝමයක් සිදුවිය. එහිදී විශේෂයෙන් යුද හමුදාවේ මැදිහත්වීම් ද රාජපක්ෂගේ ගෝලයන්ගේ බලය ඉතාමත් නිර්දය ලෙස භාවිතා කිරීම් ද සිදුවිය. නමුත් පසුගිය ජනාධිපතිවරනයේදී එය ක්‍රමයෙන් අඩුවන ලකුණු පෙනෙන්නට තිබුණි. එය තවදුරටත් පළල් වෙමින් මෙවර එවැනි සෘජු හමුදා මැදිහහත්වීමකින් තොරව උතුරේ ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය සාපෙක්ෂ වශයෙන් නිදහස් පරිසරයක් සකස් වී තිබුණි.

උතුරේ බොහෝ දෙනා පවසන්නේ එයට ප්‍රධාන හේතුව නම් හිටපු ජනාධිපති රාජපක්ෂගේ පරාජය බවය.

කෙසේ නමුත් දැන් මැතිවරණයේ ප්‍රථිඵල නිකුත් වී ඇත.

පෙර මැතිවරණවල මෙන් දෙමළ ජාතික සංධානය හෙවත් ඉලංගෙයි තමිල් අරුචුකච්චි පක්ෂය ඡන්ද 515963ක් ලබා ගෙන, යාපනය, වන්නි, මඩකලපුව යන දිස්ත්‍රික්ක 3 දෙමළ ජාතික සන්ධානය ජය ගෙන තිබේ.

මැතිවරණයට පෙර සිටම දෙමළ ජාතික සංධානයේ නායකයින් ප්‍රකාශ කර සිටියේ තමන් ජාතික ගැටලුව සදහා දේශපාලන විසදුමක් අපේක්ෂා කරන බවත් එය දකුණේ ආණ්ඩු විසින් හිතාමතාම ප්‍රමාද කරන බවත්ය.

එය ප්‍රකාශිත ලෙස ඉදිරියෙන් තබා ගෙන නොසිට වුවත් ඔවුන් ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පරාජය කිරීමටත්, මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා දිනවීමටත් කටයුතු කළේය. හැම විටම ලංකාවේ දේශපාලන බලය තීන්දු කරන උතුරු නැගෙණහිර මිනිසුන් ඔවුන්ගේ ඡන්දය මෛත්‍රීපාල සිරිසේනට භාවිතා කිරීම නිසා මෛත්‍රීපාල ජයගත් අතර මහින්ද පරාජය විය. එම ජනයාගේ ඡන්ද භාවිතයට, පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ පිළිතුරක් දුන්නේ තමන්ගේ අධිපති මුග්දභාවයේ සරම තවත් උස්සා ගනිමිනි. තමන් උතුරට ඡන්දය බලය නොදුන්නා නම් එසේ වන්නේ නැති බවත්, එය තමන් කළ වරදක් බවත් ඔහු කීවේය. ඒ තරමටම උතුරේ ඡන්දය දකුණේ දේශපාලනය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ.

අද ද එය එසේමය.

කෙසේ නමුත් දෙමළ ජාතික සංධානය විසින් මැතිවරණයට පෙර සිටම දේශපාලන ගැටලුව සදහා 13ට එහා ගිය බලයක් වෙනුවෙන් සේම ෆෙඩරල් විසදුමක් දක්වාත් සාකච්ඡාවක් මතු කළේය.

එය මතු කරනවාත් සමග චම්පික රණවක ඇතුලු නඩය භූමිතෙල් ගෑවුනු ගැරඩින් මෙන් දගලන්නට විය. එසේ ම එතෙක් ‘එක්සත්‘ රාජ්‍යක් වෙනුවෙන් පෙනී සිටි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ‘ඒකීය‘ තත්ත්වයකට සිය දේශපාලන දිශාව මාරු කළේය. එසේ මාරු කළා පමණක් නොවේ ‘එක්සත්‘ සහ ‘ඒකීය‘ යන දේශපාලන යෙදුම් වල අදහස ත් විකෘති වන සේ අදහස් ප්‍රකාශ කිරීමට තරම් දුගී බාවයට ඇද වැටුනි.(නමුත් දැන් එම විකෘති තත්ත්වයෙන් සිංහල බෞද්ධයා මෝහනයට පත්වී(?) ඉතිහාසයේ වැඩිම මනාප හිමි අපේකෂකයා බවට රනිල් වික්‍රමසිංහ පත් වී තිබේ. මෙම සටහන මේ පිළිබද විග්‍රහයකට නොවන බැවින් එය ඉදිරියේ දී සාකච්ඡා කරමු)

නමුත්, මැතිවරණයෙන් උතුරේ ජනයාගෙන් අතිමහත් බහුතරය ෆෙඩරල් අදහසත්, බලය බෙදාහරින දේශපාලන විසදුමක් වෙනුවෙන් සාකච්ඡාවන් මතුකළ දමෙළ ජාතික සංධානය වටා එකට සිට ගෙන ඔවුන් ගේ අදහස ජයග්‍රහණය කර ඇත.

එය කෙසේ ද යත් යාපනයේ දිස්ත්‍රික්කයෙන් දෙජාස තරග වැදුනු එස්. ශ්‍රීදරන් මනාප 72158ක් ලබා ගන්නා විට, ‘ඒකීය‘ සහ ‘එක්සත්‘ දේශපාලන යෙදුම් විකෘති ත්ත්වයකට පත්කළ, හදිසියේම ‘ඒකීය‘ රාජ්‍යක් වෙනුවෙන් පෙනී සිටි එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුනු විජයකලා මහේෂ්වරන් ලබාගත්තේ මනාප 13071කි. මෙය එක් පසකින් දැන් සෘජුවම ‘ඒකීය රාජ්‍යක්‘ වෙනුවෙන් පෙනි සිටිනා එජාපය ඇතුලු ලිබරල්වාදින් යැයි කියා ගන්නා අයට ද නැවත වරක් සිතන්නට දුන් සහෝදර ටොක්කකි.

එය තවදුරටත් ශක්තිමත් කරමින්, වන්නි දිස්ත්‍රික්කයෙන් දෙජාස චාල්ස් නිමලනාදන් මනාප 34620ක් ලබා ගන්නා විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරඝ කළ රිෂාඩ් බදියුදීන් ලබා ගත්තේ මනාප 26291කි.

එසේම සෘජුවම සිංහල බෞද්ධ රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් තරග කල කාදල් මස්තාන් ලබා ගත්තේ මනාප 7298ක් පමණි. එසේම පසුගිය කාලය පුරා රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටි ඊ.පී.ඞී.පී. පක්ෂයේ ඩග්ලස් දේවානන්දා මනාප 16,399 ලබා ගත්තේය.

මෙයින් පෙනී යන්නේ උතුරේ අතිබහුතර ජනයා තමන්ගේ දේශපාලන ගැටලුව ට විසදුමක් වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කර ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සංධානයත් පැහැදිලිවම උතුරේ ජනයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

දැන් මෙම යාථාර්තය මගහැර යාමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සෑදීමට නියමිත නව ආණ්ඩුවට නොහැකිය. ජනාධිපතිවරණයෙන් පසුව මෙන්, මෛත්‍රි, රනිල් ආණ්ඩුවත්, ජනතා විමුක්ති පෙරමුණත් සේම, සිවිල් සමාජයත් ජාතික ගැටලුව මගහරිමින් විවිද සටකපට, සීනිබෝල කතා කිවහොත් තත්ත්වය තවතවත් ජාත්‍යන්තරකරනය වෙමින් දේශපාලනිකව ආගාධයකට යාමට පුලුවන. එම දේශපාලනික ආගාධයට යෑම වැලැක්වීමට නම් වසර ගණනකාවක් ඔඩුදුව ඇති මෙම ගැටුලුවට ‘සෘජු දේශපාලනික‘ සිටගැනීමකින් සේම දෙමළ ජනයාගේ දේශපාලන අභිලාශයන් පිළිගනිමින් ආමන්ත්‍රණය කළ යුතුය. එසේ නොමැතිව ලංකාව අගලක් හෝ ඉදිරියට ගෙන යා නොහැකිය.