[නිමිත්ත: අතුරුදහන්කල සිය සැමියා සොයා දෙනලෙස ඉල්ලා බිරිඳක් අනුරපුර උසාවිය ඉදිරිපිට සත්‍යග්‍රහයේ]

අතුරුදන්කල මිනිහ – සොයා දෙන්නැයි කියා
දරු දෙන්නෙකුත් එක්ක – බෝඩ් කෑලිත් අරන්
යුක්තියේ කන්‍යාවිළග – ගිනි තපින මෝඩියේ
මිනිහා නැතිවුනාම – තේරෙන්නෙ නැද්ද උඹට​
පුරුෂාධිපත්‍යයෙන් – නිදහස්වුනා කියල

ඕකද ප්‍රශ්ණේ….- මේකනෙ ප්‍රශ්ණේ…
හනිකට කොළඹ වරෙන් – මුලු කොළඹ ගිනිඅරන්

උණහපුලුවො දෙන්න – කොහේහරි තියාපන්
දොර රෙද්ද දැම්ම වගෙ – රැළිසාය හරි නෑ
ඩෙනිමක්,කුර්ත එකක් – බැරිමනම් සාරියක්
සන්ග්ලාස් කුට්ටමක් – කොළඹ හරි ලාභයි
උඹට මොකටද කුඩ – අව්කාශ්ඨෙ හුරුයිනෙ
ලිෆ්ටික්,කියුටෙක්ස්,මාළ​,කරාබු – උඹට තේරෙනවනෙ
චාම්බව හරි හොඳයි – මීඩියාත් එනවනෙ

මේකනේ..ප්‍රශ්ණේ…- ඕකද ප්‍රශ්ණේ….
හනිකට කොළඹ වරෙන් – මුලු කොළඹ ගිනි අරන්

චන්දයේ ප්‍රතිපලය – කියපු දවසේ ඉඳන්
M.C. ගියේ නෑ..,- ඔඩෙල් එක දැක්කෙ නෑ…
ඇල්ශේෂන් කුක්ක – චීස්වත් කන්නෙ නෑ..
විමලයගෙ අප්පච්චි – මළ දවසෙ වගේමයි
වැල්ලෙ ගීතා චී.. චී.. – කොළඹ හතෙ අපෙ රෝසි
රෝසි නැති දියවන්න – සැරසියව් කෙළවන්න​
අන්තිම..සටනට​…සැරසියව් – පුරු..ෂාධි..පත්‍යය සුන්කරව්

අතුරුදන්කල මිනිහ – සොයා දෙන්නැයි කියා
දරු දෙන්නෙකුත් එක්ක – බෝඩ් කෑලිත් අරන්
යුක්තියේ කන්‍යාවිළග – ගිනි තපින මෝඩියේ
ඕකද​.. ප්‍රශ්ණේ…- මේකන ප්‍රශ්ණේ…
හනිකට කොළඹ වරෙන් – මුලු කොළඹ ගිනි අරන්

ඥානසිරි කොත්තිගොඩ