බොරුකියන මාධ්‍යවේදීන්ටයි, රාජපක්ෂලාට යි පණිවිඩයක්

”මම ඉල්ලන්නේ අතුරුදහන්කළ මිනිහෙක් පිළිබදවයි. පුද්ගලයෙක් අතුරුදහන් කරන්න හරි, පැහැරගෙන යන්න හරි කිසිම ආයතනයකට බලයක් නෑ. ඒ නිසා මම කියන්නේ ඔය කියන ප්‍රචාර කිසිදු වැඩක් නැහැ. මම ඉල්ලන්නේ සත්‍යය, ඒ සත්‍ය හෙළිදරව් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම. පොලිස්පතිතුමාගෙන් මම ඉල්ලන්නේ දැනට තියෙන සත්‍ය නීත්‍යානුකූලව හෙළිදරව් කරන්න. මොකද, එය තමා මේ රටේ බොරු කියන මාධ්‍යවේදීන්ට සහ රාජපක්ෂලාට දෙන්න පුලුවන් හොදම පණිවිඩය‘‘

පිටුපස රාජපක්ෂවරැ

‘‘මේක මෙහෙයවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් බව පැහැදිලියි. දැනට හෙළි වෙලා තියනවා මේකට අණ දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා‘‘

‘‘හමුදාව දැක්වූ ප්‍රතිචාරය ගැන මම පොඩ්ඩක්වත් සෑහීමකට පත් වෙන්නේ නෑ‘‘

‘‘අවසාන වශයෙන් අත්අඩංගුවට ගත් හමුදා නිළධාරින් හතරදෙනා සැළසුම් සහගතව යම් යම් පරස්පරවිරෝධී ප්‍රකාශ කරන බවටත් දැනට මට දැනගන්නට ලැබිලා තියනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මම සෑහීමකට පත් වෙනවා. නමුත් පරීක්ෂණය සම්බන්ධයෙන් පොළිස්පතිතුමා සහ හමුදාවේ අය දැක්වූ ප්‍රතිචාරය ගැන මම පොඩ්ඩක්වත් සෑහීමකට පත් වෙන්නේ නෑ..‘‘

[සංධ්‍යා එක්ණැලිගොඩ]

අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ සම්බන්ධයෙන් මේ වන විට ඉතා වැදගත් යැයි සැළකිය හැකි තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇති අතර ඒ මත හමුදා නිලධාරීන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නමුත් මේ වන විට එම අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා ට, පනවා ඇති රැදවුම් නියෝග දීර්ග කිරීම සදහා වන අදාළ ලියවිල්ලට ආරක්ෂක ලේඛම්වරයා විසින් යම් බලපෑමක් මත අත්සන් නොතබනු ඇති බවට සූදානමක් පවතින බව මේ සටහන ලියන මොහොත වන විට වාර්තාවෙයි. ඒසේ වුවහොත් ඉදිරි පරීක්ෂණවලට එය බාධාවක් වී එම පරීක්ෂණ අඩපණ විය හැකි බවට සැක පහල වනු ඇත.

ඒ සම්බන්ධයෙන් සහ මේ වන විට ප්‍රගිත් එක්නැළිගොඩ පිළිබද ඇතැම් මාධ්‍ය ගෙන යනු ලබන ප්‍රචාරයන් පිළිබදවත් අදහස් දැක්වීමට ප්‍රගීත් ගේ බිරිද සංධ්‍යා එක්ණැලිගොඩවිකල්ප‘ සමග විශේෂ සාකච්ඡාවකට එක්විය.

පහත පළවන්නේ එම සාකච්ඡාවයි.

##

කෙසේ නමුත් වසර ගණනවක් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වූ ආරක්ෂක අංශ වර්තමානය වන විට ප්‍රගීත් සම්බන්දයෙන් වැදගත් තොරතුරු රාශියක් නිරාවරණය කර ගැනීමට හැකි වූයේ ජනවාරි 8 වෙනිදා පත් වූ නව පාලනය නිසා බව, අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුලු සංවිධාන කිහිපයක් පවසා සිටියේ ය. එසේම ප්‍රගීත් අතුරුදහන් කිරීමට සම්බන්ධ පුද්ගලයන් වහාම සොයා ගතයුතුව ඇති බවත් එසේ සොයා ගැනීම, පසුගිය කාලයේ අතුරුදහන් කළ ලලිත්, කූගන්,… ඝාතනය කළ ධර්මරත්නම් සිවරාම්, ලසන්ත වික්‍රමතුංග, නිමළරාජන් සහ එවැනි අනිකුත් අයගේ ඝාතනයන්ටද, අතුරුදහන් කිරීම්වලට ද වගකිව යුතු පිරිස් සොයා ගැනීමට ද එම ඝාතකයින් කවුද යන්න සොයා ගැනීම ඉවහල් වනු ඇතැයි එම සාකච්ඡාවට එක්ව සිටි ලංකා ගුරු සංගමයේ, ජෝසප් ස්ටාලින් පැවසීය.