දිවයිනේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශ වලින් ආරම්භවී ඉන්දියන් සාගරය දක්වා ගලා යන ප්‍රධාන ගංගා 103 ක් ඇතුළු විශාල ජල ප්‍රභව සංඛ්‍යාවකින් හෙබි අපේ රටේ ජනතාවට නියං සමයේදී හැරුණුකොට ජලය යනු ඉතා සීමිත සම්පතක් නොවිය හැකිය. නමුත් ජලය යනු ලෝකයේ ඉතා සීග්‍රයෙන් ක්ෂය වන ස්වභාවික සම්පතක් බව අප අවධාරණය කරගත යුතුය. එබැවින් අපේ ජල සම්පත ආරක්ෂා කරගැනීම අප සියළු දෙනාගේ යුතුකම හා වගකීම වන්නේය. නමුත් අප තවමත් ඒ පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වීමක් නොදක්වන බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශ කල යුතුය. ඉකුත් මස අගදී බියගම ප්‍රදේශයේ පිහිටි කොකා කෝලා කර්මාන්ත ශාලාවෙන් කැළණි ගගට යම්කිසි රසායනික ද්‍රව්‍යක් නිකුත්වීම සම්බන්ධ සිදුවීම හා ඉනිබිති ඒ සම්බන්ධයෙන් වගකිව යුතු රාජ්‍ය ආයතන හා සමස්ත මහජනයා ඒ සම්බන්ධයෙන් දැක්වූ අක්‍රීය පිළිවෙත ඊට කදිම නිදසුනකි.

කොකා කෝලා කර්මාන්ත ශාලාවෙන් කැළණි ගගට අදාල රසායනික ද්‍රව්‍ය නිකුත්වීම සිදුවුනේ ඉකුත් අගෝස්තු 17 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී බව කියති. ඉන් නොබෝ දිනකට පසු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ප්‍රධානීන් මාධ්‍ය හමුවේ ප්‍රකාශකර සිටියේ තම අධිකාරියේ කාර්යක්ෂම හා අවංක නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් එම තත්වය වැලක්වීමට කටයුතු කර ඇති බවය. තාවකාලිකව තහනම් කර තිබූ සමාගමේ පරිසර ආරක්ෂණ බලපත්‍රයද පසුව යලිත් ඔවුනට ලබා දීම සිදුවිය. නමුත් සැබෑ ලෙසම බලධාරීන් ප්‍රකාශකරන පරිද්දෙන් අදාල රසායනික ද්‍රව්‍ය කාන්දුව හේතුවෙන් ගංගාවට හා පසට ඇතිවූ බලපෑම සම්පුර්ණයෙන් ඉවත් කිරීමට පරිසර අධිකාරියට හැකිවීද, යලිත් එවැනි විනාශකාරී සිදුවීමකින් ශ්‍රී ලංකාවේ ගංගාවක් දුෂණය වීම වැලැක්වීම සඳහා මෙම සිදුවීම පාඩමක් කරගැනීමට බලධාරීන් කොතෙක් දුරට කටයුතු කලේද, මෙම සමස්ත සිදුවීම සම්බධයෙන් බලධාරීන්ගේ ක්‍රියාකලාපය කොතෙක් දුරට සුපිළිපන්නද යන ප්‍රශ්න තවමත් අප හමුවේ පවතී.

කොකා කෝලා සමගම මගින් කැළණි ගඟට වැරදීමකින් හෝ යම්කිසි රසායනික ද්‍රව්‍යක් මුසුවීම නිසා එම ගඟේ ජලය පිරිපහදු කර ලබා ගන්න ජල සම්පාදන මණ්ඩලයේ අගනුවර ජල පාරිබෝගිකයන් අසාධාරණයට ලක්වීම පිළිබඳව බොහෝ දෙනෙකු කතා කල බව සැබෑය. මෙම රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ජල පවිත්‍රාගාරයට සිදුවූ හානිය ප්‍රතිපුර්ණය කරගෙන කැළණි ගඟ දිගේ දුෂිත ජලය මුහුදට තල්ලු කර බලධාරීන්ට අත පිස ගැනීමට හැකිවුණේ එබැවිනි.

නමුත් ඉන් එහා ගොස් මෙම සිදුවීම ඔස්සේ අපට අවධානය යොමු කරන්නට විවිධ පැතිකඩයන් රැසක් ඇති බව අප අවධාරණය කරගත යුතුය. උක්ත සිදුවීම හදිසි අනතුරක් බව මේ වන විට ප්‍රකාශ කෙරුනද එවැනි හදිසි අනතුරකින් සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා අදාල සමාගමට සැලසුම්ගත ක්‍රමවේදයක් තිබුනේද යන්න විමසා බැලිය යුතුය. එසේ නොතිබුණි නම් දැන් හෝ එම කර්මාන්ත ශාලාව ඇතුළු දිවයින පුරා ක්‍රියාත්මක වන සියළුම කර්මාන්තශාලා වලට එවැනි සැලසුම් සකස් කරගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය මගින් නෛතික බලපෑමක් එල්ල කල හැකි ක්‍රමයක් ඇති කල යුතුව ඇත. එසේම එම සිදුවීම හදිසි අනතුරක් ලෙස ලඝු කර එමගින් පරිසරයට, ජනතාවට හා රජයේ දේපල වලට සිදුවූ හානිය ප්‍රතිපුර්ණය කිරීම සදහා සාධාරණ මුදලක් දඩමුදලක් හෝ වන්දියක් (compensation) ලෙස අයකර ගැනීමට හැකියාව තිබියදී එසේ සිදු නොකර අඹතලේ ජල පවිත්‍රාගාරයේ යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියා කිරීමට අවශ්‍ය මුදල පමණක් අදාල සමාගමෙන් අය කර ගැනීමට පරිසර අධිකාරිය කටයුතු කලේ කාගේ අවශ්‍යතාවයටද යන්න විමසිය යුතුය. මෙම රසායනික ද්‍රව්‍ය ගංගාවට මුසුවීම නිසා සිදුවූ ජල දුෂණයේ ප්‍රතිපල අත්විඳින්නට සිදුවන ජනතාවටම එම හානිය ප්‍රතිපුර්ණය කිරීමට රජයට වැය වන මුදල ගෙවීමටද සිදුවීම ඛේදවාචකයකි.

ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන් තෙල් නැව් මුහුදේ දී අනතුරට ලක්වීම නිසා සිදුවන සමුද්‍ර දුෂණ සිදුවීම් වලදී එම සමුද්‍ර පරිසර පද්ධති යලි ප්‍රතිෂ්ඨාපනය වෙනුවෙන් වැය වන මුදල් අදාල නැව් සමාගම් වලින් අය කරගන්න අවස්ථා ඕනෑතරම් තිබේ. නමුත් එසේ තිබියදී මෙරට පරිසර බලධාරීන් එසේ නොකර සමාගම් කරුවන්ට සෙනෙහස දැක්වීම ජුගුප්සාජනකය.

එසේම ශ්‍රී ලංකාවේ ගංගා සහ වෙනත් ජල මුලාශ්‍ර දුෂණය වීම අවම කරගැනීම සඳහා පරිසර අධිකාරියේ ඇති කැපවීම කොකා කෝලා සමාගම සම්බන්ධ සිදුවීමේ දී මෙන්ම ඇල්මැරුණු හා නිද්‍රාශීලී එකක් බව ද අප අවධාරණය කල යුතුය. ශ්‍රී ලංකාවේ ජල සම්පත ආරක්ෂා කරගැනීම සඳහා අපේ රටේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට අනූවක් සම්බන්ධයෙන් සෘජුවම සැලකිල්ල යොමු කල යුතු බව අප අවධාරණය කරමු. ඒ මන්ද යත් අපේ රටේ මුළු බිම් ප්‍රමාණයෙන් 90% ක් ජල පෝෂක ප්‍රදේශ ලෙස කටයුතු කරන බැවිනි. එම සමස්ත භූමියේම සිදුකෙරෙන අහිතකර මානව ක්‍රියාකාරකම් ජලය දුෂණය වීමට බලපායි.

එසේම කාර්මික අප සන්දන මෙරට ස්වභාවික ජල මුලාශ්‍ර වලට මුදා හැරීම හා ජලය දුෂණය පාලන සම්බන්ධයෙන් මෙරට පවත්නා නීති රීතිද කාලීන අවශ්‍යතා හා නවීන දනුවම් සමග යාවත්කාලීන කල යුතුව ඇත. ජාතික පාරිසරික පනත අනුව සකස් කරන ලද ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කර ඇත්තේ යම් කිසි කර්මාන්තශාලාවකින් නිකුත්කරන අප ජලයේ තිබිය යුතු ප්‍රමිතීන් පමණි. නමුත් එම ප්‍රමාණයන් කොතෙක් දුරට ජලය මුදාහරිනු ලබන ජලාශවල දරාගැනීමේ (Carring Capacity) හැකියාව සමග සම්බන්ධ වේද යන්න අප අවධානයට ලක් නොකිරීම බරපතල තත්වයකි. උදාහරණයක් ලෙස කර්මාන්තශාලාවකින් ස්වභාවික ජලාශයකට නිකුත් කරන කිසියම් බැර ලෝහයක් සාන්ධාරණය පරිසර අධිකාරියේ රෙගුලාසිවලට අදාලව පැවතුනද එවැනි කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් එකම ජලාශයට එවැනි අප ජලය නිකුත් කිරීම් සිදු කල හොත් ජලාශයේ ඇති ජලයේ අදාළ බැර ලෝහ සාන්ද්‍රණය විශාල වශයෙන් ඉහල යාම සිදුවේ.

තනුකකරණය, දුෂණයට විසඳුමක් නොවන බව ලෝකයම පිළිගෙන තිබියදී අප තවමත් අපගේ දූෂ්‍යකාරක යහමින් ඇති ජලයේ දියකර අත පිස ගැනීමේ න්‍යාය අනුගමනය කරමින් සිටිමු. නමුත් එයද නිසි ආකාරයෙන් සිදු නොවන්නේ බොහෝ කර්මාන්තශාලා මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත්කරන වාර්ෂික පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට පමණක් අප ජලය පිරිපහදු කිරීමේ පද්ධතියක් තම ආයතන වල පවත්වාගෙන යන බව පිටතට පෙන්වීම හේතුවෙනි. අප ජල පිරිපහදුව සඳහා වැය වන පිරිවැය දැරීම මගින් ලාභය අඩු වීම හේතුවෙන් ඔවුන් සිදු කරන්නේ තම ආයතන වල ජනනය වන අප ජලය භූගත ටැංකි වල ගබඩා කර තබා වර්ෂා සමයන් වලදී රහසේ ගංගා වලට මුදා හැරීමය. අගනුවර තදාසන්න කැළණි ගඟට අමතරව අත්තනගළු ඔයේ හා මා ඔයේ ද මෙම තත්වය සුලභව දැකිය හැකිය. නිලධාරීන් මෙම තත්වය දැන සිටියද තමන්ට හිමිවන සන්තෝසම් හේතුවෙන් ඊට විරුද්ධව ක්‍රියා නොකරනවා විය යුතුය.

මෙවැනි තත්වයක් තුල බලධාරීන් හා නිලධරීන් කුමක් කීවද ශ්‍රී ලංකාවේ ජල දුෂණය පාලනය කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග නොපිරිහෙලා ක්‍රියාවට නැගීමට අප අපොහොසත් වුව හොත් පිපාසයට කොකා කෝලා හෝ බෝතල් කල පානීය ජලය බීමට ලක්වැසි සැමට සිදුවන දිනය වැඩි ඇතක නොවන බව අවධාරණය කල යුතුය.

සුපුන් ළහිරු ප්‍රකාශ්