‘මගේ පුතාව නිදහස් කරන්න‘ උපවාසයේ නිරත රැදවියෙකුගේ මවක්

‘‘අපිට කිව්වෙ තොන්ඩමාන්ගේ මොනවද කතාවකට ගෙනියන්නේ ඔයාගෙ පුතාව කියලා. ඊට පස්සේ මගේ පුතා හැම තැනම හෙව්වා. මගේ ඉඩම, ගේ විකුණලා අපිට ඉන්න තැනක්වත් නෑ දැන්. අපි ජනාධිපතිට කියනනෙ මගේ ළමයාව එළියට දෙන්න කියලා. අපිට වෙන මොනවත් එපා. රනිල් මහත්තයා කිව්වා මං ආවොත් ඔක්කොම නිදහස් කරනවා කියලා. දැන් කතාවක්වත් නෑ නේ…‘‘ යනුවෙන් දැනට දින ගනනක සිට බන්ධනාගාරයේ උපවාසයේ යෙදී සිටින දේශපාලන රැදවියකුගේ මවක් වන මාතලේ, රාජමනී මව පැවසුවාය. ඇය තව දුරටත් ඉල්ලා සිටියේ දැනට උපවාසයේ යෙදී සිටින තම පුතා ට කරදරයක් වෙයි කියා ඇයට බයක් දැනෙන බවත්, පුතා නිදහස් කර දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියා ය. ඇය මෙලෙස ඉල්ලා සිටියේ ඊයේ(14) දෙමළ දේශපාලන රැදවියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ දී පැවති විරෝධතාවයකට එක්වෙමින්ය.

මෙවැනි ඉල්ලීම් විශාල ප්‍ර‍මාණයක් සම්බන්ධයෙන් එම විරෝධතාවය සංවිධානය කරන ලද සංවිධාන විසින් ජනාධිපති ලේකම්කාර්යාලය සමග සාකච්ඡාවකට යාමේදී චම්පික සිරිවර්ධන නැමති පොළිස් නිළධාරීයා විසින් ‘ගහලා පන්නවා‘ යැයි නිළ ඇදුමක් ද සහිතව ‘තග‘ දැම්මේ මෙවැනි මව්වරුන්ගේ කදුලු අතරය.

නමුත් ජනවාරි 8වනදා ඇති වූ වෙනස ඇති කිරීමට විශේෂයෙන් දෙමළ සහ මුස්ලිම් ජනයා විසින් සිය ඡන්දය භාවිතා කලේ මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නොවන බවත්, එසේ වුවත් දැන් වනවිට ‘පැවති‘ තත්ත්වයේ ලක්ෂණම නව පාලනය විසින් ද පෙන්වන්නට ආර්ම්භ කර ඇතැයි ද මෙවැනි වනචාරී නිළධාරීන්ගේ ක්‍රියා දැකීමෙන් අපටද සිතන්නට සිදුවන බව එම විරෝධයට එක්ව සිටි සිවිල් ක්‍රියාකාරිකයෙක් පැවසීය.

‘යහපාලනය‘ තුළද මුග්ධ අනපනත් යටතේ අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාලේඛන සහිතව ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යටතේ රැඳවියන්- “යහපාලනය?” විසින් ද නොසලකා හැරි වගයි‘ යනුවෙන් ‘විකල්ප‘ වෙබ් අඩවිය සටහනක් පළ කළේය.

එහිදී ද මතු කර තිබුණේ කිසිදු චෝදනාවක් ගොනු නොකර, නඩුනැතිව වසර ගණනාවක් සිරමැදිරිතුළ රැදවියන් තබා ඇති බවත්, විශේෂයෙන් ජනවාරි 8න් පසුවද එවැනි ආකාරයේ අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති බවය.

‘අඩුම ගණනේ පුද්ගලයන් 21 දෙනෙකු 2015 වසරේ දී ත්‍රස්තවාදී පනත යටතේ අත් අඩංගුවට ගත් බවට වාර්තා වේ. අන්තර්ජාතික සත්‍යය සහ සාධාරණත්ය ව්‍යාපෘතිය (the International Truth and Justice Project -ITJP)) විසින් නිකුත් කළ වාර්තාවකට අනුව, ජූලි අවසානය වන විට සුදු වෑන් පැහැර ගැනීම්, නීති විරෝධි රඳවා ගැනීම්, වද හිංසා සහ ලිංගික අපයෝජන සිද්ධි 8ක් 2015 වසර තුළ වාර්තා කරයි . අපට දැන ගන්නට ලැබුණු මෙම වසරේ එක් සිද්ධියක දී, උතුරේ පාරක් අයිනේ දී පුද්ගලයකු පැහැර ගෙන ඇති අතර රහසිගත කඳවුරක රඳවා තබා ගෙන, ප්‍රශ්න කර ඇති අතර අමානුෂික ලෙස වද හිංසනයට භාජනය කර ඇත. දවස් කිහිපයකට පසුව, රැඳවියා එතැනින් ගැලවී ඇති අතර, සැගවී සිට පසුව පිටරටකට පලා යාමට සමත්ව ඇත.‘

යනුවෙන් එහි වාර්තා කලේය.

@VIKALPA