එක්සත් ජාතික පක්ෂයේ බොහෝ නායකයන් තර්ක කරන්නේ, යුද්ධය අවසන් වීමෙන් දින 4 කට පසු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් සමග 2009 මැයි 23 වැනි දා අත්සන් කළ ඒකාබද්ධ ප‍්‍රකාශනය, ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මග පාදා දුන් බවයි. එයින් ඔවුන් ගම්‍ය කෙරෙන බව පෙනෙන්නේ, එදා ඔහු එම ප‍්‍රකාශනයට අත්සන් නොකළ යුතුව තිබුණු බවකි. එසේම, එදා බලයේ සිටියේ තමන් නම් එවැන්නකට අත්සන් නොකරන බවකි.

ඇත්තෙන්ම ඔවුන්ගේ අදහස එවැන්නක් නම්, එය වැරදි ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් විනාශ කිරීමට බොහෝ කලකට පෙර සිටම, ශ‍්‍රී ලංකාවේ යුද්ධයට අදාළ මානව හිමිකම් උල්ලංඝණයන් සහ වගවීම පිළිබඳ ගැටළු බටහිර ජාතීන්ගේ සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල අවධානයට ලක්ව තිබුණි. ඒ අනුව, ‘‘2005 අගෝස්තු 1 වැනි දා සිට ශ‍්‍රී ලංකාවේ සිදුවිණැයි කියන බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ සොයා බැලීමේ කොමිසමක්’’ රාජපක්ෂ බලයට පත්වී පළමු වසරේදීම ඔහු පත්කළ බව අමතක නොකළ යුතුය. (උදලාගම කොමිසම).

මුලින් කී ඒකාබද්ධ ප‍්‍රකාශනයට අත්සන් කිරීමටත්, තවත් පියවරයන් කෙරෙහිත් ඔහුව තල්ලූ කරනු ලැබුවේ මෙකී පීඩනයේම තවත් දිගුවක් වශයෙනි. ඊළඟට, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ලංකාවේ තත්වය සම්බන්ධයෙන් තමන්ට උපදෙස් දීම සඳහා දරුස්මාන් කොමිසම පත්කරන විටම, ජනාධිපති රාජපක්ෂත් 2010 දී දඩිබිඩියේ කොමිසමක් පත්කෙළේය. එනම්, ‘උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමයි’. එම කොමිසමට පැවරුණේ විකාර කාර්ය භාරයකි. එනම්, 2002 දී රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර අත්සන් කෙරුණු ‘සටන් විරාම එකඟතාව අසාර්ථක වීමට බලපෑ හේතු සහ පසුබිම’ සොයා බැලීමයි. (සටන් විරාමයට ඉතා තදින් විරුද්ධව සිටි කෙනෙකු එම සටන් විරාමය අසාර්ථක වීමේ හේතු සොයා බැලීම අරුමයකි).

තවද, ‘සටන් බිමේදී එක අහිංසක මිනිස් ජීවිතයක්වත් විනාශ නොවුණේය’ යන ස්ථාවරයක ආණ්ඩුව සිටින අතරේම, යුද්ධයේ අවසාන අදියරේදී අතුරුදහන් වීම් කිසිවක් සිදුවී නැති බවට හමුදා විමර්ශන අධිකරණයක් මගින් තීන්දු කොට තිබියදීම, අතුරුදහන් වීමේ සිදුවීම් ගැන සොයා බැලීමට රාජපක්ෂ තවත් කොමිසමක් පත්කෙළේය. ඒ, මැක්ස්වෙල් පරණගම කොමිසමයි. යුද්ධයේ අවසාන අදියරේ සිවිල් ජීවිත විනාශය ගැන සොයා බැලීමේ කාර්යයත්, පසුව මේ කොමිසමට පවරන ලදි.

මේ සියලූ කරුණු සහ අතීතයේ සිදුවූ තවත් බොහෝ දේවල් අනුව පෙනී යන්නේ, රාජපක්ෂ හිතවාදීන් අද කුමක් කීවත්, ජාත්‍යන්තරයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන්ගේ කැරැට්ටුව අනුව බලන කල වෙනත් රටවල මානව හිමිකම් උල්ලංඝණයන්ට එරෙහිව හඬ නැගීමේ සදාචාරමය අයිතියක් ඔවුන්ට නැති වුවත්, ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සාධකය නොසළකා හැරිය නොහැකි දෙයක් බවට ඒ වන විටමත් පත්ව තිබූ බවයි. අනිත් අතට, රාජපක්ෂ සහ වෙනත් පාලකයන් විසින් විවිධ කොමිෂන් සභා සහ විමර්ශන කමිටු පත්කිරීම පසුපස තිබිණැයි කී අරමුණත් අයෝග්‍ය නොවේ. මන්ද යත්, එම කොමිෂන් සභා මගින් සොයා බැලෙන බිම් මට්ටමේ ප‍්‍රශ්න සැබවින්ම පැවතුණු නිසා, ඒ සම්බන්ධයෙන් ජනතාවට කරුණු දැක්වීමේ වගකීමක් පාලකයන්ට ඇති බැවිනි.

ඒ නිසා, බෑන් කී මූන් සමග ඒකාබද්ධ ප‍්‍රකාශනයට අත්සන් තැබීම ගැන හෝ පසුව ඒ මාසයේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසි වාරයකදී ‘‘ඒකාබද්ධ ප‍්‍රකාශනය… සහ එහි අඩංගු අවබෝධතා අනුමත කරමින්’’ සම්මත කර ගත් යෝජනාව ගැන හෝ දොස් නැගීම සාධාරණ නැත. ඇත්ත වශයෙන්ම දොස් නැගිය යුත්තේ, මේ නායකයන් කී දේවල් නොකිරීම ගැනයි. එවැනි විශ්වාසය කඩවීම් පැහැදිළිව පෙන්නුම් කෙරෙන, අසාර්ථක වූ කොමිෂන් සභා සහ විමර්ශන කමිටු ලැයිස්තුවක්ම බොහෝ දේශීය සහ විදේශීය අංශ මගින් සංගෘහිත කොට තිබේ.

‘‘නීතිය සහ සමාජ භාරකාරත්වය’’ වෙනුවෙන් කිෂාලි පින්තු ජයවර්ධන විසින් ලියන ලද ‘‘මතක තබා ගත යුතු උරුමයක්: 1963 සිට 2002 දක්වා ශ‍්‍රී ලංකාවේ විමර්ශන කොමිෂන් සභා’’ නැමැති කෘතිය එයින් එකකි. ‘සංගම්’ නැමැති අන්තර්ජාල වෙබ් අඩවිය තවත් එවැනි ලැයිස්තුවක් සකසා තිබේ. 2010 දී ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ පත්කෙරුණු අවස්ථාවේ ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය මෙසේ කීවේය:

‘‘බාල මානව හිමිකම් කැරැට්ටුවක් සහ වල්වැදුණු දණ්ඩමුක්ති තත්වයක් පිළිබඳ ගොඩනැගිය හැකි ජාත්‍යන්තර විවේචනය වෙනතක හැරවීම සඳහා හිටිඅඩියේ පත්කරන කොමිෂන් සභා පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ලංකාවට තිබේ… 1948 නිදහසේ සිට එවැනි කොමිෂන් සභා අඩු වශයෙන් 10 ක්වත් පත්කොට තිබේ. එයින් එකකින්වත් වැදගත් ප‍්‍රතිඵල අත්වී නැත.’’ එහිම, තවදුරටත් මෙසේද සඳහන් වෙයි: ‘‘ජාත්‍යන්තර ප‍්‍රජාව ලංකාවේ වගවීම පිළිබඳ ප‍්‍රශ්නය මතුකරන හැම විටම ලංකාවේ ආණ්ඩුව කරන්නේ කොමිසමක් පත්කිරීමයි. බොහෝ කල් ගන්නා එවැනි කොමිෂන් සභාවලින් අත්වූ සෙතක් ඇත්තේම නැත.’’

එම තර්කය රාජපක්ෂ සනාථ කෙළේය. ඒ, උදලාගම වාර්තාව ප‍්‍රසිද්ධ නොකිරීමෙන් සහ එම වාර්තාවේත්, ’උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන්’ වාර්තාවේත් අඩංගු නිර්දේශ ක‍්‍රියාත්මක නොකිරීමෙන් ය. කෙසේ වෙතත්, ඔහු ප‍්‍රසිද්ධියට පත්කළ එකම වාර්තාව වන, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන්’ වාර්තාව, පසුගිය වසර හතරක කාලය තිස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කරගත් සෑම යෝජනාවකටම පදනම සැපයීය.

යුද්ධයට අදාළ සිදුවීම්වලට අමතරව, දේශපාලනික ස්වරූපයක් ගත් අනිත් සෑම සිද්ධියකදීමත් නිසා, දේශීය අධිකරණ ක‍්‍රියාවලිය ගැන පවතින අවිශ්වාසය ඉස්මතු වුණි. ජාත්‍යන්තර හෝ විදේශීය මැදිහත්වීම් හෝ පීඩනයන් එල්ල වුණේ ඒ හේතුවෙනි. එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක, ලලිත් ඇතුලත්මුදලි, ඩෙන්සිල් කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන රවිරාජ් සහ පරරාජසිංහම් ඝාතන සිදුවීම් ඒ සම්බන්ධයෙන් කැපී පෙනෙයි. මේ අතර, ස්වකීය විමර්ශන කොමිෂන් සභා පිළිබඳ විශ්වාසය දැනවීම සඳහා විදේශීය විශේෂඥයන් පත්කිරීමට රාජපක්ෂටමත් සිදුවිය. ඒ අනුව ඔහු, උදලාගම කොමිසමට සහාය වීම පිණිස ‘ස්වාධීන විශාරදයන්ගේ ජාත්‍යන්තර කණ්ඩායමක්’ පත්කෙළේය. විමර්ශනය අතරමැදදී මේ කණ්ඩායම එම ක‍්‍රියාවලියේ විශ්වසනීයත්වයක් නැති බව පෙන්වා දෙමින් සිය කාර්ය භාරයෙන් ඉල්ලා අස්වී යන්ට ගියහ. ඊළඟට මේ විශ්වසනීයත්වය ඇති කර ගැනීම සඳහා නැවතත් ඔහු මැක්ස්වෙල් පරණගම කොමිසමටත් ජාත්‍යන්තර විශේෂඥවරුන්ව පත්කෙළේය.

පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වාර්තාවෙන් යෝජිත විශේෂ ‘දෙමුහුන්’ අධිකරණය එන්නේද, දීර්ඝ කාලයක් තිස්සේ දිග් ගැස්සුණු ඉහත කී විශ්වාසය කඩවීමේ පසුබිය යටතේ ය. ඊට වැරදිකරුවෝ අපිමයි. කෙසේ වෙතත් දැන් අප මත පටවා ඇති යාන්ත‍්‍රණය ‘දෙමුහුන්’ අධිකරණයක් නොවන බව කිව යුතුය. එය, ඊට වඩා ලිහිල් යාන්ත‍්‍රණයකි. පොදුරාජ්‍ය මණ්ඩලීය සහ ‘වෙනත්’ විදේශීය විනිසුරන්ගෙන් යුත්, දේශීය අධිකරණ ක‍්‍රියාවලියකි. ඉතිං, අප ඉදිරියේ දැන් තේරීම් දෙකක් තිබේ. එකක් වන්නේ, මේ යෝජනාව පිළිගෙන, සන්නද්ධ සේවාවන් කෙරෙහි ඉන් ඇති විය හැකි බලපෑම ලිහිල් කිරීමේ ක‍්‍රම සොයා බැලීම සහ ඉතා අත්‍යාවශ්‍ය ජාතික සංහිඳියාව සඳහා එය යොදා ගැනීමයි. නැත්නම්, එම යෝජනාව ප‍්‍රතික්ෂේප කොට පූර්ණ ජාත්‍යන්තර අධිකරණ යාන්ත‍්‍රණයකට මුහුණදීමයි.

රණවිරුවන් පාවා දීම ප‍්‍රතික්ෂේප කිරීමේ නියාවෙන් මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ සාපරාධීත්වය සපුරා ප‍්‍රතික්ෂේප කිරීමම, රැවටිලිකාරී බවක් කියාපායි. මීට පෙරත් අප දැක ඇති පරිදි, ජාත්‍යන්තර ප‍්‍රජාව මේ කාරණය නිකංම අතහැර දැමීමට සූදානම් නැත. අනිත් අතට, ජිනීවා යෝජනාවෙන් ඉල්ලා සිටින්නේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව කරන ලද යුද ක‍්‍රියාකාරකම් නොව, නීතියට පිටින් කරන ලදැයි කියන අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග කරන ලෙසයි. වැරදි කර ඇති ඕනෑම කෙනෙකුට දඬුවම් කළ යුතු බව හිටපු ජනාධිපතිවරයාමත් කියා තිබේ.

මේ සියලූ කාරණා සළකා බැලීමේදී, අපම කී වචනයට අනුගතව අප වැඩ කෙළේ නම්, මේ ජාත්‍යන්තර මැදිහත් වීම් වළක්වා ගැනීමට තිබුණු බව කිව යුතුය.

එම්. එස්. එම්. අයුබ්

*2015 ඔක්තෝබර් 30 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවු We Could Have Averted International Meddling by Keeping Our Words නැමැති ලිපියේ සිංහල පරිවර්තනය‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි