Image: Vikalpa | යාපනයේ අවතැන් කදවුරක් @October2015

ප්‍රසන්න විතානගේ නම් වූ සිනමාවේදියාගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා පටය පසු ගිය දින වල බොහෝ කතා බහට ලක් වූ චිත්‍රපටියකි. මේ ලිපියේ අරමුණ චිත්‍රපටිය ගැන විචාරයක් කිරීම නොවේ. සිනමා පටය සම්බන්ධයෙන් විවිධ අදහස් පල විය. කෙසේ වෙතත් එහි මුඛ්‍යාර්ථය වශයෙන් මතු වී පෙනෙන්නේ තිස් අවුරුදු යුද්ධයට මැදි වූ කණ්ඩායම් අතර පළුදු වූ විශ්වාසය තවමත් යළි ගොඩ නැගී නැති බවයි. එනම් ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා වී වසර 6ක් ගෙවී ඇති නමුත් සිංහල හා දෙමළ ජාතීන් දෙක අතර ඇති සැකය බිය සහ අවිශ්වාසය තුරන් වී නොමැති බවයි.

මෙහි ලියැවෙන්නේ වෙනත් දෙයකි. එනම් ඔබ සමඟ මා එක්ක යන්නයි. අප බැලිය යුත්තේ අද විසදිය යුතු සහ ඉක්මනින් විසඳිය හැකි ප්‍රශ්ණ මොනවා ද යන්නයි.

නිදහස් ලංකාවෙහි ඉතිහාසය පුරා මෙරට දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්ණ විසඳීමට අවස්ථා ගණනාවකදීම ප්‍රයත්න දරන ලද නමුත් විවිධ හේතූන් උඩ ඒවා අසාර්ථක වූ බව අපි දනිමු.

දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගෙන වසර 30කට ආසන්න වුවද තවමත් දෙමළ භාෂා ප්‍රවීනත්වය ඇති රාජ්‍ය සේවකයින් දුලභය.

දශක ගණනාවක් පුරා අවතැන්ව සිටින දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්ණය තවත් දැවෙන ප්‍රශ්ණයකි.

යාපනය ප්‍රදේශයේ අවතැන් කඳවුරු 32ක යුද්ධයෙන් අවතැන් වූ පවුල් 1328කට අයත් පුද්ගලයන් 4737 දෙනෙකු ජීවත් වන බව පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. එම් ස්වාමිනාදන් මහතා ඔක්තෝබර් 07 වන දා පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි. සැප්තැම්බර් 07 වන දා ධීවර සහයෝගීතා ව්‍යාපාරය සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එකතුව සංවිධානය කර තිබූ සමුළුවකදී ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සභාපති හර්මන් කුමාර කියා තිබුණේ ඔවුන් කළ සමීක්ෂණ වලදී 1990 වසරේදී අවතැන් වූ යාපනය දිස්ත්‍රික්කයේ 30000ක් පමණ වැසියන් නැවත පදිංචි කර නොමැති බවට වාර්තා වන බවයි.

උතුරුකරයෙන් මුස්ලිම් ජනතාව පළවා හැරීමේ 25වන සංවත්සරය පසුගිය දිනක පැවැත්වුණි. 1995 සිටම යාපනය ශ්‍රී ලංකා රජයේ හමුදා යටතෙහි තිබි ඇති මුත් මෙම මුස්ලිම් ජනයා යළි පදිංචි කිරීමට ආණ්ඩුව අසමත් වි තිබේ. ඔවුන්ගේ ඉඩ කඩම් පවතින්නේ අධි ආරක්ෂක කලාපයන්හි නොවන බැවින් මෙකී නොසැළකිල්ලට ආරක්ෂක හේතූන් ඉදිරිපත් කළ නොහැකිය.

එමෙන්ම වසර ගණනාවක් පුරා සිරගෙවල්හි රඳවා සිටින 300යකට ආසන්න දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්ණය විසදීමට ද නව ආණ්ඩුව මේතාක් සමත් වී නොමැත. එම ප්‍රශ්ණය දෙස බැලීමට හෝ ඔවුන් උපවාසයක් ආරම්භ කරන තුරු ආණ්ඩුව කල් මැරුවේ ය.

යුද්ධය නිසා වැන්දඹුවන් බවට පත් දහ දහස් ගණන් ස්ත්‍රීන් උතුරු නැගෙනහිර ජීවත් වේ. දකුණෙහි සිටින යුද වැන්දඹුවන්ට සිය යුද හමුදා සැමියන්ගේ වැටුප ලැබෙන නමුත් උතුරු නැගෙනහිර වැන්දඹුවන්ට එවැනි කිසිදු ස්ථිර ආදායම් මාර්ගයක් නැත.

දකුණෙහි දි මෙන් නොව උතුරෙහි ගමන් කරන විට අක්කර සිය ගණන් පුරා පැතිර පවතින යුද හමුදා කඳවුරු දැකිය හැකි ය. මෙම ඉඩම් බෙහොමයක් යුද්ධයෙන් පසු හමුදාව අල්ලා ගත් ඒවා ය.

දේශපාලන විසඳුමක් සැපයීමේ සිට දෙමළ ජනතාවගේ එදිනෙදා ප්‍රශ්ණ විසදීමට නම් ආණ්ඩුවට හදිසි සහ පුළුල් වැඩසටහනක් අවශ්‍ය ය. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය වැන්නක් අද උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් අවශ්‍යය.

එවැනි වැඩ සටහනක මූලික අංග විය හැකි කරුණු ගණනාවක් සිවිල් සමාජ ව්‍යාපාර විසින් දැනටමත් මතු කොට තිබේ. ඒවා මෙසේ ගොනු කළ හැකි ය.

• 13 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම; එනම් ජනවර්ග අතර නිසි ලෙස දේශපාලන බලතල බෙදා හැරීම. මෙම බලතල බෙදා හැරීමේදී ඉඩම් හා පොලිස් බලතල බෙදා හැරීම සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර පවතී. කෙසේ වෙතත් බලය බෙදා හැරීම කළ යුතු වේ. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන තවත් අදහසක් නම් භූමිය මත සිදු කරන බලය බෙදා හැරීම වෙනුවට අභෞමික ෆෙඩරල් ක්‍රමයක් ඇති කළ යුතු බවයි.

• දේශපාලන සිරකරුවන්ට එක්කෝ වහාම නඩු පැවැරිය යුතු ය. නැත්නම් නිදහස් කළ යුතු ය. පවරනු ලබන නඩු ඉක්මණින් අවසන් කොට හැකි සෑම අවස්ථාවකදීම ඔවුන්ට ජිවිකා වෘත්තියක් සපයා ගත හැකි පුනරුත්ථාපන වැඩ සටහන්වලට සම්බන්ධ කොට නිදහස් කළ යුතුය.

• පරිපාලනමය වශයෙන් රජයේ සියළුම කාර්යාල වලට දෙමළ බසින් වැඩ කරන නිලධාරීන් පත් කළ යුතුය.

• පාසල් වල දෙමළ භාෂාවත් දෙමළ පාසල් වල සිංහල භාෂාවත් අනිවාර්ය කළ යුතුය.

• යුද්ධයෙන් අවතැන් වූවන්ට ඉඩම් හා නිවාස ලබා දීම නැවත පදිංචි කරවීම කළ යුතුය.

• යුද්ධ වැන්දඹු කාන්තාවන්ට ජීවන මාර්ග හා නිවාස සකස් කර දී සහ එම පවුල් වල දරුවන්ගේ සෞඛ්‍යය හා අධ්‍යාපන ප්‍රශ්න විසදීම කඩිනම් කළ යුතුය‍.

කතා වෙනුවට වැඩට බහින්න. අණ්ඩුවට අප කියා සිටිය යුත්තේ එයයි.

ඊ.එම්.බී. මැණිකේ | E.M.D.Menike