අද(10) ජනාධිපති කාර්යාලය වෙත සංදේශයක් බාර දීම සදහා දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයන් එම කාර්යාලයට ගියේ ය. ඒ පසුගිය ඔක්තෝබර් මස දී දේශපාලන සිරකරුවන් විසින් ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා ආරම්භ කරන ලද උපාවාසයට ප්‍ර‍තිචාර දක්වමින් ‘යහපාලන‘ ආණ්ඩුව දුන් පොරොන්දුවක් වූ එළබෙන දීපවාලී දිනයට(අද) පෙර සිරකරුවන් පිරිසක් සහ නොවැම්බර් 20වන දිනට පෙර තවත් දේශපාලන රැදවියන් පිරිසක් නිදහස් කරන බවත් සහ ඇතැම් අයට ඇප ලබා දීමට කටයුතු කරන බවත් වන ප්‍ර‍කාශය පිළිබදවත්, පොරොන්දු වූ කිසිවක් සිදු නොවූ හෙයින් ජනාධිපතිවරයා වෙත නැවතත් ඒ පිළිබද දැනුම් දීමටත්, ආණ්ඩුව පොරොන්දු ඉටු නොකල බැවින් නැවත වරක් එම දේශපාලන රැදවියන් උපවාසය ආරම්භ කර ඇති බවටත් දැනුම් දීමටය. එසේම ආණ්ඩුව පවසන සංහිදියාව ඇති කළ හැක්කේ දේශපාලන රැදවියන්ට යුක්තිය ඉෂ්ඨ කිරීමෙන් පමණක් බවත් එම සංදේශයෙන් වැඩිදුරටත් පවසා තිබේ.

එම සංදේශය බාර දීමට යාමේදී ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක අංශ පවසා සිටියේ අද දින ලිපි බාර ගැනීමට කෙනෙක් නැති බවත් නමුත් ලිපි බාර ගන්නා ස්ථානයට ගොස් එම ලිපි බාරදීමට අවස්ථාව දිය හැකි බවත්ය. ඒ අනුව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයන් දෙදෙනෙක් එම සංදේශය ‘ලිපි බාරගන්නා ස්ථානය‘ වෙත ගෙස් එය භාර දී පැමිණියේ ජනාධිපති කාර්යාලයෙන් කිසිදු ප්‍ර‍තිචාරයක් නොමැතිවය. දේශපාලන රැදවියන්ට ආණ්ඩුව දුන් පොරොන්දුව පිළිබද ව අද දින ජනාධිපති කාර්යාලයේ ප්‍ර‍තිචාරය ‘හිස්‘ එකක් වූයේ එළෙසිනි.

‘ඊනියා බුද්ධි අංශ‘ නමින් ඔත්තුකරුවන්

2
(රතු රවුමෙන් පෙන්වා ඇත්තේ එසේ පැමිණි ඔත්තු කරුවෙකි)

ඉන්පසු එම ස්ථානයට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට ඒ පිළිබද විස්තර කිරීමේදී සිවිල් ඇදුමින් සැරසුනු පුද්ගලයන් දෙදෙනෙක් එම ස්ථානයට පැමිණ එහි සාකච්ඡා වන්නේ කුමක්දැයි හොරගල් අහුලමින් සිටියේ ජනාධිපති ආරක්ෂක අංශයත්, නිළඇදුමින් පැමිණ සිටි පොලිස් නිළධාරීන් ද බලා සිටියදීය.

එම අවස්ථාවේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයන් එවලේම ජනාධිපති ආරක්ෂක අංශයට පවසා සිටියේ කිසිදු අන්දමක සාමය කඩ නොවන සේ යහපාලනයේ සියලු එකගතාවයන් ආරක්ෂා කරමින් ජනාධිපති කාර්යාලට පැමිණි සිවිල් ව්‍යාපාරයක සාමාජිකයන් කිහිප දෙනෙක් පිළිබද මෙසේ ඔත්තු බැලීම යහපාලනය දැයි විමසා සිටියේ ය.

නෑ නෑ මෙහෙමයි, ඒක ජාතික ආරක්ෂාවට‘ යැයි ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරියෙක් ගත් කටටම කීවේ පැමිණ සිටියේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍යක් සිදු කිරීමට යැයි සිතා ගෙන මෙන්ය. මෙවැනි නීතියානූකූල නොවන ලෙස සිවිල් ක්‍රියාකාරකම් වලට එබිකම් කිරීමත්, අනවශ්‍ය ලෙස මැදිහත් වීමත් යහපාලනය තුළින් අපේක්ෂා නොකල දෙයක් බවත්, මේ නිසා පසුගිය වකවානුවේ මර්දනයට ලක් වූයේ මේ රටේ යුක්තිය ඉල්ලා සිටින මිනිසුන් බවත් නැවත වරක් මේවා සිදුවීම, විශේෂයෙන් සාමකාමී ලෙස ජනාධිපති කාර්යාලයට පැමිණි මිනිසුන් ගේ වැඩවලට ඔත්තු සේවා යෙදවීම මගික් සිදු කරන්නේ සිවිල් ක්‍රියාකාරීත්වයන් නැවත වරක් බියට පත් කරමින් ඒවා මර්දනය කිරීමේ රාජපක්ෂ ක්‍ර‍වේදයම නොවේදැයි ප්‍ර‍ශ්ණ කල විට නැවත නැවතත් ඔවුන් කීවේ ‘ඒක ජාතික ආරක්ෂාවට‘ බවයි.

මෛත්‍රීපාල ජනාධිපතිවරයාත්, වික්‍ර‍සිංහ අගමැතිවරයාත් කෙසේ කීවත් ජනාධිපති කාර්යාලයේ පවා ක්‍රියාත්මක වන්නේ, රාජපක්ෂ පාලනය විසින් සිවිල් ක්‍රියාකාරීත්වයන් මර්දනය සදහා යොදා ගත් මර්දන ක්‍ර‍වේදයම නොවේදැයි ප්‍ර‍ශ්ණ කළ යුතුය. එසේම මෙවැනි සාමකාමී ක්‍රියාකාරීත්වයන් තුළට මෙසේ එබිකම් කර බැලීම රාජපක්ෂලාගේ කෝකටත් තෛලය වූ ‘ජාතික ආරක්ෂාව‘ යැයි වත්මන් ජනාධිපතිවරයාගේ නිළ කාර්යාලයේ ආරක්ෂකයින් පැවසීම තුළින් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ රෙජීමය විසින් හදාවඩා ගත් මර්දන යන්ත්‍ර‍ය සිරිසේන ජනාධිපතිවරයා විසින් ද හදාවඩා ගැනීමට කිසියම් උනන්දුවක් දක්වන්නේ ද යන්නයි.

‘එහෙම කරන්න බෑ මට කියන්න‘ – මනෝ ගනේෂන් අමාත්‍යවරයා

කෙසේ නමුත් ‘බුද්ධි අංශ‘ ‘රහස් පොලීසිය‘ ආදී විවිද නම් වලින් සිවිල් ඇදුම්වලින් සැරසී මෙසේ ඔත්තු බලන සේවාවන් වල මෙවැනි ක්‍රියාකාරීත්වයන් වලින් සිදුවන හිරිහැර, බාධාවන් සහ අනියමින් බිය ගැන්වීම් පිළිබද සිවිල් සංවිධානවල ක්‍රියාකාරීන් විසින් මනෝ ගනේෂන්, ජාතික සංවාද අමාත්‍යවරයාට පවසන ලද්දේ පසුගිය ඔක්තෝබර් 15වන දින අමාත්‍යවරයා විසින් කැදවා තිබූ රැස්වීමකදීය.

අමාත්‍යවරයා එයට පිළිතුරු දෙමින් ප්‍ර‍කාශ කළේ එසේ වීම බරපතල තත්ත්වයක් බවත්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවත් සමග සාකච්ඡා කරන බවත්, එසේ ඔත්තු බැලීමට නීතිවිරෝධී බවත් එසේ වුවහොත් තමා ද දැනුවත් කරන ලෙසත්ය. මනෝ ගනේෂන් මහතා, ඇමතිවරයා වීමට පෙර දේශපාලන රැදවියන්ගේ ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් මහපාරේ සිටගනු ලැබූවේ මෙම සිවිල් සංවිධාන සමගය. එසේම අමාත්‍යවරයා විසින් පසුගිය ඔක්තෝබරයේ රැදවියන්ගේ උපවාසය අවස්ථාවේ යම් මැදිහත්වීමක් කල බවත් අපි දනිමු. නමුත් දැන් අමාත්‍යවරයා වීමට පෙර, මනෝ ගනේෂන් සමග මහපාරේ එකට හිටගත් අය ජනාධිපතිවරයා හමුවීමට යද්දී ද ඊනියා බුද්ධි අංශ ඔත්තු බලන විට එම ආණ්ඩුවේ කැබිනට් ඇමතිධුරය දරණ මනෝ ගනේෂන් ඇමතිතුමා කියන්නේ කුමක් දැයි දැනගැනීමට යුක්තිය වෙනුවෙන් හඩනගන පුරවැසියන් ට තවදුරටත් බලා සිටින්නට සිදුවීම ඛේදවාචකයක්ය.

කෙසේ නමුත්, යහපාලන ආණ්ඩුවට මාස 10කට ආසන්න වුවත් අදාල ගැටලුව ට සේම දේශපාලන රැදවියන් නිදහස් කිරීම පිළිබදව දුන් පොරොන්දුවත් ඉටු කීරීමට උනන්දුවක් නැති යහපාලනයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව මෙයින් පෙනී යයි.

දේශපාලන රැදවියන් නිදහස් කරන ලෙස බලකරමින් උතුරේ ‘කලු දීපවාලියක්‘

නමුත් දකුණේ ආණ්ඩුව පොරොන්දු කඩමින් සහ දකුණේ බොහෝ පිරිස් දේශපාලන රැදවියන්ගේ නිදහස පිළිබදව මුනිවත රකිද්දී මන්නාරමේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස විරෝධතාවයක් පැවැත් වූ අතර, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජයට බල කරමින් වව්නියාවේදී කලු දීපාවලියක් සමරා තිබේ. එහි දී ඔවුන් විසින් වැඩිදුරටත් පවසා තිබෙනුයේ, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රදවාගෙන සිටින දේශපාලන සිරකරුවන් දීපවාලී දිනට පෙර නිදහස් කරන බවට ජනාධිපති සිරිසේන මහතා විසින් ලබා දුන් පොරොන්දු කඩ කර ඇති බවවත්, එසේම ඒ නිසා නැවත නැවතත් දෙමළ ජනතාව රැවටීමකට ලක් කර ඇති බවටත් දේශපාලන සිරකරුවන්ගේ සමීපතමයින් පවසා ඇත.

නමුත් අද දීපවාලී දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුබාශිංශණ පනිවිඩයේ දැක්වෙන්නේ ‘‘පහන් වැටක් දැල්වීම තුළින් බිහිවන ආලෝකය, අඳුර පළවා හරින්නා සේ දීපවාලියේ ආලෝකය, සියලූ මිනිස් සිත් ආලෝකමත් කරමින්, ඔවුන් තුළ දල්වන සාමූහික සංහිඳියාව, ලොව සෑම ශිෂ්ඨාචාරයකටම අයත් මිනිසුන්ගේ පොදු ප්‍රාර්ථනාව බවට පත්වේ.‘‘ යන්නයි. නමුත් ජනාධිපතිවරයා පවසන ‘සාමූහික සංහිදියාව‘ ජනාධිපතිවරයාගේ ගේට්ටුව අසලම ‘මුසාවක්‘ වන්නට තත්ත්වයන් නිර්මාණය වෙයි නම්…..