Image by: tamilwin

දෙමළ දේශපාලන රැදවියන් විසින් තමන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ගෙනගිය උපවාසය අද(17) අවසන් කර තිබෙන්නේ ඒ සම්බන්‍ධයෙන් ආණ්ඩුව විසින් රැදවියන්ට ලබාදී ඇති පොරොන්දුව පිළිගෙන තවදුරටත් ආණ්ඩුව පිළිබද කිසියම් විශ්වාසයක් තබමින් බව පැවසෙයි.

එසේම ආණඩුව පොරොන්දු වී ඇති පරිදි එළඹෙන දෙසැම්බර් මස 15 වැනිදා දක්වාවූ කාලය තුල ආණ්ඩුව විසින් දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස පිළිබඳ ගන්නා ලද ක්‍රියාමාර්ගයන් නිසිලෙස ක්‍රියාත්මක කර නැතැයි සහ එය පිළිගත නොහැකි බව පෙනී යන්නේ නම් තමන් ‘අවිහිංසාවාදී අරගලයක්‘ සිදුකරන බවට ඔවුන් පවසා තිබේ.

මේ සම්බන්‍ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් දේශපාලන රැදවියන් විසින් බන්‍ධනාගාර කොමසාරිස්තුමන් වෙත ලිපියක් මඟින් දන්වා තිබෙන බව ග්ලෝබල් ටැමිල් පුවත් සේවය වාර්තා කරයි.

පහත පළවන්නේ එම ලිපියයි.

දෙමළ දේශපාලන සිරකරුවන්
බන්‍ධනාගාර කොමසාරිස්,

උපවාසය අත්හැරීම පිළිබඳව..

දෙමළ දේශපාලන සිරකරුවන් වන අපි අපගේ නිදහස අවධාරණය කර, 12.10.2015 දින උපවාසය ආරම්භ කළෙමු. එවිට 17.10.2015 දින නව මැගසින් බන්‍ධනාගාරයට පැමිණි විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා, නොවැම්බර් මස 7දාට පෙර සිරකරුවන්ගේ නිදහස සම්බන්‍ධයෙන් ක්‍රිමවේදයක් ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා තමන්ට දුරකථනයෙන් පොරොන්දුවූ බව අප වෙත පවසා සිටියේය.

ඒ අනුව අපි අපගේ උපවාසය තාවකාලිකව අවසන් කළෙමු. නොවැම්බර් 7වැනි දාට පෙර සාධනීය තෘප්තිමත් විසඳුමක් නොලැබුණේ නම් නැවැත උපවාසය ආරම්භ කරන බව පවසා ආර්. සම්බන්‍ධන් මහතා වෙත වාර්තාවක්ද ලබාදුන්නෙමු.

නොවැම්බර් 7 වැනි දා දක්වා සාධනීය විසඳුමක් නොලැබුණු හෙයින්, අපි 8වැනි දා සිට නැවත උපවාසය ආරම්භ කිරීමට සිදුවිය. ඊයේ 16වැනි දා වන විට අපගේ උපවාසයට දින 9ක් සම්පූර්ණවී ඇති අතර සිරකරුවන් බොහෝ දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටියි.

මෙවැනි තත්වයකදී නව මැගසින් බන්‍ධනාගාරයට පැමිණි උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා, අපගේ උපවාසය අත්හරින ලෙස ඉල්ලා සිටියේය. උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්, උතුර නැගෙනහිර පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්, ඩයස්පෝරා ප්‍රජාව, ජනතාව එක්වී දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් වන තෙක් අරගලය සිදුකරන බවට විශ්වාසයෙන් පොරොන්දුවිය.

අනතුරුව අමාත්‍ය ස්වාමිනාදන් මහතා සමඟ පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතා ද නව මැගසින් බන්‍ධනාගාරයට පැමිණ, සිරකරුවන් විසින් ඉල්ලා තිබූ පුනරුත්ථාපනය ලබා ගැනීම සඳහාවූ අයඳුම රජය සාධනීයව සොයා බලන බවත්, පළමුවෙන් (නොවැම්බර් 16වැනිදා සිට) දින දහයක් තුල පුනරුත්ථාපනය සඳහා පළමු කණ්ඩායම යවන බවට පොරොන්දුවිය.

තවද, දෙමළ දේශපාලන සිරකරුවන් සියළු දෙනාවම අදියරින් අදියර නිදහස් කරන බවත්, ජනාධිපති හා අගමැතිවරයා ප්‍රතිපත්තිමය වශයෙන් එයට එකඟවී ඇතයි ද පවසා සිටියෝය.

මෙවැනි තත්වයකදී සිරකරුවන් වන අපි, ලබන දෙසැම්බර් මස 15 වැනි දාට පෙර, සිරකරුවන්ගේ නිදහස පිළිබඳව රජයේ ක්‍රියාමාර්ගය නිසිලෙස ක්‍රියාත්මක නොවන බවට පෙනී යන්නේ නම්, අපි කුමන හෝ ක්‍රියාමාර්ගයකින් අවිහිංසාවාදී අරගලයක් ආරම්භ කිරීමේ අවාසනාවන්ත තත්වයකට පත්වන්නෙමු යැයි කණගාටුවෙන් යුතු දැනුම් දෙන්නෙමු.

මෙයට
දෙමළ දේශපාලන සිරකරුවන්

(GTN)