මහාවිරු සැමරුම මහා කලබැගැනියක් කරගන්නට පෙරුම්පිරූ සිංහල මහාජාතිකවාදීන් පස්ස බිම ඇන ගත්තෝය. මුලුමහත් දෙමළ ජනතාවම එක පිටියට ගොනු කරගනිමින් සියලු දමිළ දේශපාලන නායකයින් එක වේදිකාවට ‍රැස් කරමින් සිංහලයාට එරෙහිව දමිළ ලෝකයේ මෙතෙක් කළ අති විශාලම ජාතිකවාදී ‍රැළියක් මහාජාතිකවාදීනගේ සිහිනය විය. නමුත් මේ මහාජාතිකවාදීන් පැතූ තරම් විශාල සංදර්ශනයක් දමිළ ජාතිකවාදීන්වත් නොසිතූ බව හොඳටම පැහැදිලිය. තමනට සෑහීමට පත් විය හැකි ප්‍රමාණික සැමරුමක් දමිළ ප්‍රජාව අතර සිදු විය. මහින්දවාදී මේ මහාජාතිකවාදීනගේ දුෂ්ඨ අරමුණ බිඳ දැමීම ගැන දෙමළ ප්‍රජාවට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය.

දකුණේ සිරිපාලලා මරා දැමූ විට කිරි බත් කෑවෝ සිටියහ. උතුරේ මාඩසාමිලා මරා දෑමූ විට කිරි බත් කෑවෝ සිටියහ. දකුණේ සිරිපාලලා හෝ උතුරේ මාඩසාමිලා මරා දැමීම සාධාරනයි සිතුවෝ සමඟ එකඟවීම නොවීම දීර්ඝ සාකච්චාවකි. නමුත් සිරිපාලලා මාඩසාමිලා ඇසුරේ එකට හැදුණු වැඩුණු ඥාති මිත්‍රාදීනගේ ආධ්‍යාත්මය තුළ දැල්වෙන ඉටි පහනින් රට ගිනි තියන්නට යමෙකු සිතන්නේ නම් ඒ තුළ තමන්ම දැවී අලුවී යා හැකි බව ඔවුනට මතක් කර දෙන්නට අපි කැමැත්තෙමු. අමතක කර හිත හදා ගන්නට මිනිසා වඩාත්ම කැමති වන්නේ තමන් ඇසුරේ මිහිරි අමිහිරි මතක ගොන්නක් ඉතිරි කරමින් යන්නට ගිය තම ඥාතියා හිතෛෂියා මිය ගිය බව හෝ අතුරුදන් වූ බවමය. හොඳයි කියා සිතේ නම් තම ආධ්‍යාත්මය සාටකයේ ඔතා සමූහ මිනීවලක මිහිදන් කරන්නට කැමති කෙනෙකුට පුලුවන. නමුත් සාමදානයෙන් සැතපීමට ඒ කුණපයට කිසිදා නොලැබෙනු ඇත.

30 වසරක ලේ වැකි සංග්‍රාමය නිමා කළේ දමිළ ජනතාව තව දුරටත් පීඩණයට සහ නොනිල වාරණයට ලක්නොකරමින් නම් – මරා දමුණු හෝ සිරගත කළ වුන් හැරුණු කොට ඔවුනගේ ඥාතිවරයන්ද මරණයේ අඳුරු සෙවනැල්ලටත් නොනිල සිර බතටත් යොමු නොකළේ නම් – ඔවුනගේ ගම් බිම් ගේ දොර ඔවුන් වෙත කඩිනමින් මුදා හැරියේ නම් – මළවුන් සම්බන්ධ සමරු පිංකම් ගෘහස්තව ගෙයින් ගෙට සීමා කර ගන්නට මේ වන විටත් තමන් යොමු වී අවසන් බවඋතුරේ ප්‍රජාව අද වනවිට ඔප්පු කරමින් තිබේ. දේශපාලනඥයින්ගේ උවමනාවන් වෙනුවෙන් පිට්ටනි ගානේ ගොනුවෙන උවමනාවක් ජනතාවගෙන් ප්‍රකට නොකෙරිණ. මහින්ද රාජපක්ෂගේ බරපතල අදූරදර්ශී බව හෝ ආඥාදායකත්වය තව දුරටත් රටට අවශ්‍යයැයි ආප්ප කා කෝපි බොන්නට සැදී පැහැදී බලා සිටි මේ මහා ලොකු ජාතිකවාදීන් උඩ දමා අල්ලා ගන්නට බලා සිටි පංදුවට වෙච්ච දෙයක් නැත.

උපන් දිනය මියගිය දිනය හෝ වෙනත් සැමරුම් අවස්ථා දේශපාළනික උවමනාවන් මතද සිදුවිය හැකි බව යථාර්තයකි. ජාතිකවාදයේත් විරුද්ධවාදී දේශාපාළනයේත් තැති ගැන්මට හෝ විවේචනයටත් කුහකත්වයටත් ඒවා ලක්වීමද යථාර්තයට පිටින් ඇති ප්‍රලාපයක් නොවේ. අප්‍රේල් හෝ නොවැම්බරයේ ජ.වි.පේ විරුදින සැමරුම් මගින් උත්කර්ශයට පත් කෙරෙන ජ.වි.පේ දේශපාළන වේදිකාව දුරින් දැක නිලංකාර වූ දෑසින් දමිළ ජනතාවගේ මියගිය වුන් සැමරීම උපකල්පනය කිරීම මේ මහාජාතිකවාදීනට හොඳටම වැරදුන තැනයි.

ජ.වි.පේ විරුදින සමරුම් ජ.වි.පේ ක්‍රියාධරයනට පමනක් සීමාවූ හුදෙකලා වැඩකි. මෙතෙක් එය ඇති සැටියෙන් විග්‍රහ කර ගැනීමේ හැකියාව ජාතිකවාදීනට නොතිබීම එක අතකට ඔවුන් අනුකම්පා කටයුතුය. අලුතෙන් කියා දිය යුතුය. 71 හෝ 89 මර්ධනයන් නිමාවන විට දකුණු ලක තිබුනේ යුද්ධය අවසන් කළ උතුරු නැගෙනහිර තත්වයට අඩු තත්වයක් බව අමතක කළ යුතු නැත. දැඩි පීඩණයක් හෝ නොනිල වාරනයක් මියගියවුන්ගේ පවුල් මත ඒසා නොතිබිණි. සිරගත වූවන් හැර ඔවුනගේ බොහෝමයක් පවුල් ජීවත් වූයේ පුරුදු ගම්බිම්වල පුරුදු ගෙදරය. ඒ නිසා මිය ගියවුන් පිනිස කරන සැමරුම ගෘහස්තව ගෙයින් ගෙය සිදුවිය. ජ.වි.පේ තහනමට ලක්ව මුල් තිබූ කාලය නොවුනේද තත්වය එසේම වන්නට හේතු තිබිණ. දේශපාළනය ජනතාව ප්‍රියකරන විෂයක් බවට මෙතෙක් පත්ව නැත. ක‍ටුක දුෂ්කර ගමනක් පෙන්වා සිටින රළු දේශපාළනය උතුර දකුණ වෙනසක් නැතිවම ජනතාවට තිත්තය.

ජීවත් වීමේ සංවිධානය වීමේ කතා කිරීමේ අයිතිය ජනතාවට අහිමි වූයේ සිංහල වූ පමණින් වරප්‍රසාද ඉතිරි කරමින් නොවේ. ඇතමෙක් කෙසේ සිතුව ද ජ.වි.පේ ක්‍රියාධරයන් උතුරේ නොවීම හෝ දමිළ හින්දු නොවීම හේතුවෙන් ඔවුනගේ සගයින් සිහිකරන සමරුව සඳහා හිමි කරගත් විශේෂ අයිතිවාසිකමක් නැත. 89 දී ජ්.වි.පේ යැයි යි නම කියැවුන පමණින් ඔවුනගේ මළකඳන් මත ටයර් සෑය ඉදි වූයේ සිරුරෙන් වෙන් කරන ලද හිස ලී කෝ‍ටුවේ සි‍ටුවා ප්‍රදර්ශනයට තැබුවේ ඔවුන් උතුරේ නොවී දකුණේ වී සිටියදීමය. දමිළ හින්දු නොවී සිංහල බෞද්ධ වී සිටියදීමය. කොටස්වලට වෙන් කරන ලද ඔවුනගේ මළ සිරුරු බල්ලන්ට කපුටන්ට කබර ගොයින්ට කන්නට දී සිංහල බෞද්ධ යුධ සෙබලුන් මුර කලෝය. සිය කැමැත්තෙන්ම ගොස් පොලිසියට හමුදාවට බාර වූ මිනිසුන්ද මරා දැමූ අවස්ථා තිබිණ.

උතුරක් දකුණක් හෝ ජාතියක් ජන්මයක් රාජ්‍ය මර්ධනයේදී නැත. බහුතර ජනතාවගේ භීතිය හෝ නිහඬ අනුමැතිය අතර සියල්ල සිදු වීය. එහෙත් නැවුම් මුට්ටියේ කිරි බත් පිස කන්නට පිරිසිඳු ආධ්‍යාත්මයක් ඇති මිනිසුනට අද හිත හදා ගත හැක. රාජ්‍ය මර්ධනයත් එක්ක එක පෙරමුණේ සිටගත් මහාජාතිකවාදයක් ගොඩනගා ගැනීමට උතුරු යුද්ධය නිසා සමත් වූ මහින්ද විමල් ගම්මන්පිල වාසු දිනේශ් වැනි අපතයන් අසමත් කිරීමද උතුරෙන්ම පටන් ගෙන තිබීමය.

ලිව්වේ නැදිමාලේ miniහෙක්