Image by: www.asianmirror.lk

එන්රික්ගේ සංදර්ශනේදී ‍ප්‍රේක්ෂකාගාරය ‍වෙතින් තනපටක් ඔහු වෙතට විසී වීමත්, රටේ ජනාධිපති ඒ ගැන විස්සෝප වී සංදර්ශනයේ සංවිධායකයින්ට මඩු වලිගෙන් තලන්නට ඕනෑ යැයි කියූ කීමත් අළලා දැන් විශාල කතා බහක් ඇති වී තිබේ. බටහිර ගායකයෙකු සහභාගි වූ සංගීත ප්‍රසංගයක සංවිධායකයින්ට කස පහර දිය යුතු යැයි ලංකාවේ ජනාධිපති ප්‍රසිද්ධියේ කියා ඇති බව ඉස්මතු කරමින් ඒ ප්‍රකාශය විදේශ මාධ්‍යවල පවා ඉතා නරක ආකාරයට වාර්තා වී තිබුණි. ජනාධිපති ඒ කතාව කළේ කිසියම් උත්සවයකට සහභාගි වෙමින්, හාමුදුරුවරුන්ගෙන් පිරුණු සභාවක් ඉදිරියේයි. ඔහුගේ ප්‍රකාශය තුළ ‘අපේ කම‘, ‍දේශීයත්වය, අ‍පේ සංස්කෘතිය, විජාතික සංස්කෘතීන්, අ‍පේ උරුමය ආදී වචන මාලාවක් භාවිත විය. එය අසන විට මට එකවරටම සිතුණේ, ඒ උත්සවයට එන අතරමගදී කවුරුන් හෝ මෝඩ උපදේශකයෙකු කණට ළං වී දුන් උපදෙසක් මත වැඩි දුර නොසිතා ජනාධිපතිතුමා ඒ අනුවණ ප්‍රකාශය කළා කියායි. මේ කාල‍යේ එවැනි වචන සිවුරු හැදි අයගේ මුවින් වැඩිපුර ඇ‍සෙන බැවින් මේ තනපට කතාව පාවිච්චි කර පුරවැසියන්ට ‘හප්’ කීයා උන්වහන්සේලාගේ හිත්ටිකක් දිනාගන්නට එතුමා උත්සහ කළා වෙන්නට ඇති කියා මම සිතුවෙමි.

කෙසේ වෙතත් ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල වූ විවේචන හමුවේ, තමන් අතින් සිද්ද වූ ඒ අනවශ්‍ය මැදිහත්වීම ගැන එතුමා බෙහෙවින්ම පශ්චාත්තාප වෙනවා ඇති කියාත් ඉදිරියේදී බුද්ධිමත්ව සිතා බැලීමකින් තොරව අයාලේ අදහස් පළ නොකිරීමට අදිටන් කරගනු ඇති බවත් මම විශ්වාස කළෙමි.

නමුත් අද මා අන්තර්ජාලයෙන් දුටුවේ, ජනාධිපති ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ට එල්ල වූ චෝදනා වලට ලබා දෙන සැර පිළිතුරකි. ඔහු කියා සිටියේ, තමන් බලයට ආවේ අපේ කම,දේශීයත්වය ආරක්ෂා කිරීමට බවයි. වසර ගණනක් පැරණි අ‍පේ සාරධර්ම, නිර්මල සංස්කෘතිය ආරක්ෂා කිරීම ඔහුගේ වගකීම බවයි. ඔහුව විවේචනය කරන පිරිස ඉල්ලන්නේ ඇදුම් නැතිව පාරේ යන්නට නිදහස දැයි ඔහු තදින් අසයි. ජනාධිපති ‍පෙර කළ ප්‍රකාශය යුක්ති සහගත බව කියමින් ඇමති වරු කීප පොළක් පුවත්පත් සාකච්ඡාවක්ද පවත්වනවා දුටුවෙමි. එසේම මගේ පුදුමයටත් සාංකාවටත් හේතු වෙමින්, දඹර අමිල හිමි ද ජනාධිපති කළ ඒ දෙයෙහි කිසි වරදක් නැති බව කියනවා දැක්කෙමි.

enrique-iglesias1[Enrique Iglesias concert #Srilanka/Image by Enrique FB]

මේ අවස්ථාවේදී අප අවධානය යොමු කළ යුත්තේ එන්රික්ගේ සංදර්ශනයේදී සිදු වූ කලබැගෑනි ගැන නොව, ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශය හරහා ‍‍මේ ‍මො‍හොතේ සමාජගත කෙරෙන සෞඛ්‍ය සම්පන්න නොවන, සාවද්‍ය විශ්වාසයන් ගැනයි. ජාතිවාදයේ, කොදෙව්වාදයේ ගිල්වා දශක ගණනාවක් ආපස්සට ඇදගෙන ගොස් තිබුණු රටක, විශාල සමාජ ප්‍රතිසංස්කරණයක් තුළින් නැවත අගාධ‍යෙන් ගොඩ ගත යුතු රටක, තවමත් ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සා එයින් දේශපාලන වාසි ගන්නට මාන බලන මජර දේශපාලකයින් තැන තැන රොද බැදගෙන සිටින රටක, සංස්කෘතියට, දේශීයත්වයට, විජාතිකත්වයට, උරුමයන්ට අදාළ කාරණා කතා කිරීමේදී රටේ නායකයින් ඉතාමත් ප්‍ර ෙව්ශමින් වචන තෝරා බේරා ගත යුතු වෙයි.

අපේ කම හෝ අපේ සංස්කෘතිය යනු ඇත්තෙන්ම කුමක්ද? එය කොහේ තියෙන දෙයක්ද? එය චිරාත් කාලීන, කිසිදා වෙනස් නොවන, එක තැන හිටි විදියටම රැදෙන දෙයක්ද? එය මිනිසුන්ට මඩු වලිගවලින් තලා, නීති රීතී යොදා බිය ගන්වා, දිවි හිමියෙන් රැක ගත යුතු දෙයක්ද? අපේ වැනි සමාජවල සංස්කෘතිය යන්න බොහෝ විට තේරුම් ගන්නේත්, කුඩාවුන්ට තේරුම් කරදෙනු ලබන්නේත් එහි නිසග ගති ස්වභාවය වන වෙනස්වීම, පරිණාමය වීම යන්න මුළුමනින්ම අමතක කර දමාය. අද අපි ‘තනපට ගලවා විසි කිරීම‘අපේ කම‘, ‘අපේ සංස්කෘතිය’ විනාස කිරීමක් යැයි කියූවත්, මීට වසර සිය ගණනකට පෙර ලංකාවේ ගැහැනුන් උඩු කය නිරාවරණව සිටි බව අපි දනිමු. එකල එය අපේකමට හෝ අපේ සංස්කෘතියට නොගැලපෙන්නක් නොවීය. ඇත්තෙන්ම එය එකල පැවති සංස්කෘතිය විය. අද ඒ සිරිත් විරිත් කාලයත් සමග, වෙනත් සංස්කෘතීන් සමග මුහු වීමෙන්, රටේ ඇති වූ සමාජ ආර්ථික වෙනස්කම්වලට අනුවර්තනය වීමෙන් පරිණාමය වී වෙනස් වී තිබේ. සංස්කෘතියේ කිසිවක් එක තැන නොවෙනස්ව තිබී නැත. අද අපි අපේ කම යැයි කියන පුරුදු, විලාසිතා, ආචාර සමාචාර විධි, භාෂාව ආදී සියල්ලම තව කාලෙකින් ‍වෙනස්වීම්වලට ලක් වී තිබෙනු ඇත. එදාට අප එදා පවතින දේවල්වලට අපේ සංස්කෘතිය යැයි කියනු ඇත. ලෝකයේ සෑම සංස්කෘතියකම නිසග ස්වභාවය නිරන්තර‍යෙන් පරිණාමය වීමයි. ලෝකයේ සිදුවන වෙනස්වීම්වලට අනුව පරිණාමය නොවන සංස්කෘතීන් කාලයත් සමග වියැකී යනු ඇත.

ඒ අනුව ගත් කළ ‘අපේ කම“ , ‘දේශීයත්වය“,‘අපේ සංස්කෘතිය‘, ‍‍ වැනි වචන වලට එතරම් අරුතක් නැත. එවැනි වචන වල සිර වීමෙන් සිදුවන්නේ අපේ සංස්කෘතික වර්ධනය අඩපණ කර ගැනීමයි. එසේම පටු කණ්ඩායම්වාදය, ගෝත්‍රවාදය, වර්ගවාදයට උඩ ගෙඩි දීමයි.

අනිත් අතට අපේ කම, අ‍පේ සංස්කෘතිය, කියන්නේ ඇදුම් පැළදුම්, කතා විලාස, චාරිත්‍ර වාරිත්‍ර, ආහාර පුරුදු ආදියට පමණද? සමාජයක් හැටියට අපේ විශ්වාසයන්, අපේ ඇගයුම්, අපේ ජරාකං, අපේ දුෂ්ටකං, අපේ ගොංකං ‘අපේ කම‘ට අයිති වෙන්නේ නැද්ද? ඒවා අපේ ඔය කියන දේශීය සංස්කෘතියේ අංග නොවෙයිද? ඒ අතින් ගත් විට, දේශපාලකයින් රාජ්‍ය දේපල සොරා කෑම, රක්ෂිත කැලෑවල් පවා පදාස පිටින් කපා විකිණීම, පාර්ලිමේන්තුවේ අමු කුණුහරුපෙන් කෑ ගැසීම, රජයේ නිලධාරීන් අල්ලස් ගැනීම, උද්ඝෝෂකයින්ට පොලීසිය පොලුවලින් ගැසීම, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මහා පරිමාණ අපරාධකරුවන් පවා දඩුවම් ‍නොලබා නිදැල්ලේ සිටීම, එවැනි අපරාධකරුවන් නිදහස් කරන්නට විනිසුරුවරුන් මාරු කරන අධිකරණ ක්‍රමය, සල්ලිවලට ඕනෑම පාවා දීමක් කරන දේශපාලකයන්, තමන්ගේ පැත්තට දිනාගන්නට මහජන මුදලින් මන්ත්‍රීවරුන්ට වරදාන පිදීම, බලවත්කමේ මට්ටම අනුව එකිනෙකාට එක එක විදියට බලපාන රටේ නීතිය, ජනාධිපතිගේ සිට සෑම දේශපාලකයෙකු අතින්ම අපුලක් නැතිව සිදුවන ඥාති සංග්‍රහය, පොලු අමෝරා ගත් ජාතිවාදය වපුරන සිවුරුධාරීන්, සුළු ජාතිකයින් පීඩාවට පත් කිරීම, පරිසර දූෂණය,අතිශයින් අක්‍රිය පුරවැසි සමාජය, ….ආදී දේවලුත් අපේ සංස්කෘතිය නොවන්නේද? ඒවා ඔය කියන ‘අපේ කම‘ ට අයිති ‍දේ නෙමේද? වේදනාවෙන් වුවත් යථාර්ථය පිළිගන්නට අප සූදානම් නම්, ඉහත කී සියල්ල ‘ශ්‍රී ලංකාවේ සංස්කෘතිය‘ බව මෙරටට පැමිණෙන ඕනෑම විදේශිකයෙකුට ටික කලක් තුළ තේරුම් යනු ඇත.

ඇත්තෙන්ම අප කලබල විය යුත්තේ සංගීත සංදර්ශනයකදී සිදුවන දේවල් ගැන නොවේ. අප රටේ සංස්කෘතිය පිළිබදව අප කලකිරීමට පත් විය යුතු, වෙනස් කරන්නට මැදිහත් විය යුතු, බොහෝ දේ තිබේ. නමුත් ඒවා ගැන කතා කිරීම යට ඇදුමක් ගලවා විසිකිරීම වැනි තනි සිද්ධියක් ගැන කතා කිරීම තරම් සරල නොවේ. කොහේවත් නැති අපේ කමක්, ම‍නෝව්‍යාධික අදහසක් වන පාරිශුද්ධ සංස්කෘතියක් ආරක්ෂා කිරීම ගැන හිස් වචන කතා කිරීම පහසු දෙයකි. නමුත් ඉහති කී ජරාජීර්ණ අංග ලක්ෂණ වලින් හෙබි දේශපාලන සහ සමාජ සංස්කෘතියක්, විපරිවර්තනය කිරීම අව්‍යාජ කැපවීමෙන්, නිර්භීත මැදිහත්වීමෙන් සහ අප්‍රතිහත වෙහෙස මහන්සියෙන් පමණක් කළ හැක්කකි. එය සමාජයේ ප්‍රතිගාමී කණ්ඩායම් සන්තෝස කරන්නට ජනප්‍රිය කතා පැවැත්වීමෙන් ඉටු කරගත නොහැක්කකි.

ජනාධිපතිතුමා ඒ ප්‍රකාශයන් කළේ එතරම් දුරදිග සිතා නොබලා බවත්, ඒ ගැන ඔහු දැන් පසුතැවිලි වෙන බවත් සිතන්නට මම කැමැත්තෙමි.

ජනාධිපතිතුමන් අවබෝධ කරගත යුතු දෙය නම්, ඔහුව විවේචනය කරන අයගෙන් බහුතරය, ඔහු බලයට ගෙන ඒම වෙනුවෙන් හඩ නැගූ අය බවයි. මෑතකදී එතුමා යාපනයේදී යුද්ධයෙන් අවතැන් වූවන්ගේ ගැටළු පිළිබදව ‍හොද කතාවක් පවත්වා තිබුණි. ඒ ගැන අප එතුමාට ගෞරව ප්‍රශංසා කළෙමු. නමුත් දැන් එතුමා වැරදීමකින්, මුලාවේ වැටීමකින් ‘අපේ කම, ‘දේශීයත්වය‘, ‘විජාතික සංස්කෘතීන්“ වැනි හිස් වචන කතා කරන විට ප්‍රගතිශීලි පුරවැසි සමාජය එය එකහෙලාම විවේචනය කරයි. එය සිදුවිය යුතුම දෙයකි. මන්ද අපේ වැනි සමාජවල මේ වචන අතිශයින් භයානක නිසාය. ඒවායින් අර්ථ දැක්වෙන්නේ තුමක්දැයි කවුරුත් නිශ්චිතව නොදනී. ඕනෑ කෙනෙකුට තමන් කැමති සීමාවක තබා ඒවාට අරුත් දිය හැකියි. ඒ අනුව, ඒවාට ආගම, වාර්ගිකත්වය ඈදා පටු ජාතිවාදී ව්‍යාපාරවල දී යොදාගත හැකියි. බොදු බල සේනාව, විමල් වීරවංශලා නඩයේ අය පට්ට ගහන එවැනි වචන තමන්‍ ෙග් ශබ්දකෝෂයෙන් ඉවත් කරගැනීම ගැන ර‍ටේ වත්මන් නායකයින් බරපතල ලෙස සිතිය යුතුයි. මන්ද ඒ වචන තවදුරටත් අහිංසක අරුත් දනවන ඒවා නොවන නිසාය. ‘ලේ‘ කතා දක්වා ඒවාට අර්ථ දෙන්නට පිරිස් මාන බලා ගෙන සිටින නිසාය.

තමන්ට එල්ල වූ විවේචන හමුවේ ජනාධිපති තුමා දැක්වූ ප්‍රතිචාරය ගැනද යමක් කියන්නට ‍මෙය අවස්ථාවක් කරගනිමි. අ‍පේ මේ අලුත් ජනාධිපතිතුමා අප හදුනන්‍ෙන් වි‍වේචන සම සිතින් ඉවසී‍මේ ගුණය ඇති, ඒ වි‍වේචන වලට සමාජය විවෘත කළ නායක‍යෙකු හැටියටයි. නමුත් ‍මේ අවස්ථා‍වේ වි‍වේචනවලින් සසල වූ ජනාධිපතිතුමා කියා සිටි‍යේ, ‘දැන් මාව අඹරන්න හදනවා‘ , ‘මාව කුඩුපට්ටම් කරනවා‘ වැනි ‍දේය. එතුමා ඒවා කියන්නේ මොනවා සිතාගෙනද කියා මට නම් ‍නො‍තේ‍රේ. ජනාධිපතිතුමා වටහා ගත යුතු ‍දේ නම්, ‍එතුමා කෙරෙහි විශ්වාසය තබා සිටින පිරිස විවේචන එල්ල කරන්‍නේ එතුමාව ‘අඹරන්නට“ හෝ ‘කුඩුපට්ටම්‘ කරන්නට ‍නොව, එතුමාට තමා අතින් සිදුවූ සිදු ‍නොවිය යුතු ‍දේ ගැන මතක් කරවන්නය යන්නයි. සැබවින්ම එවැනි පිරිසක් සමාජ‍යේ සිටීම ගැන එතුමා ඉතා සතුටට පත් විය යුතුයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිට එවැනි පිරිසක් ‍නොසිටීම, නැතිනම් එවැනි අයට පවතින්නට ඉඩ නොදීම ඔහුගේ පරිහානියට බලපෑ ප්‍රධානම ‍හේතු අතරින් එකක් විය. එවැනි වි‍වේචන එන විට ජනාධිපතිතුමා කළ යුත්‍තේ, තමන් ව‍ටේ සිටින අම‍නෝඥ ඇමති වරුන් හෝ උපදේශකයින්ගෙන් අදහස් ‍නොවිමසා, එතුමාව බලයට ගෙන ඒමට උර දුන් වගකීම් සහගත බුද්ධිමතුන්, විද්වතුන්, සමාජ ක්‍රියාකාරිකයින් ‍හමු වී ඒ අදාළ කාරණා ගැන ගැඹුරින් කතා කිරීමයි. ජාතිවාදය, ‍ගෝත්‍රවාදය, ආගම් වාදය, පවුල්වාදය විසින් ගිල ‍ගෙන අතිශය පසුගාමී තත්තවයක තිබූ අපේ සමාජය ප්‍රගතිශීලිත්වය කරා ‍ගෙන ‍යා‍මේ දැවෙන අ‍පේක්ෂා‍වෙන් ‍මෙ‍හෙයවන ලදුව ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කර පත් කරගත් නායකයා, අතිශය සීමා සහිත, අන්තවාදී අදහස් ඉදිරිපත් කරන විට, ඒවාට වහාම වි‍රෝධය පෑමේ, උදහස පළ කිරී‍මේ පූර්ණ අයිතියක් පුරවැසියන්ට ති‍බේ. එවැනි පුරවැසි සමාජයක් දැන් අතැයිද, එය ඇති කිරීමට මුල පිරු‍වේ තමා යයිද සිතා ජනාධිපතිතුමාට බෙ‍හෙවින් ආඩම්බර විය හැකියි.

කෙසේ නමුත් මේ කලබගෑනි සිදුවන අතරේ, අපේ රටේ කලාකරුවන් සහ බුද්ධිමතුන් එකතුව ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමේ කටයුත්තක්ද දැන් මේ දිනවල දියත් කෙරෙයි. ඒ ක්‍රියාදාමයට ජනාධිපති සහ අගමැති වරයාගේ පූර්ණ සහයෝගය ලැබී ඇති බව කියවේ. මේ සංස්කෘතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ කටයුත්තේ නායකත්වය ගන්නේ අපේ රටේ ඉතාම ප්‍රගතිශීලි අදහස් දරන සංස්කෘතික ක්‍රියාධරයන් සහ ප්‍රවීණ කලාකරුවන් කිහිප පොළකි. කලාව සහ සංස්කෘතිය පිළිබදව පොදු මහජනයා අතර පුළුල් සාකච්ඡාවක් ගොඩනැගීම මේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාදාමයේ එක් ප්‍රධාන අරමුණකි. අපේ කම, දේශීයත්වය, අපේ සංස්කෘතිය, අ‍පේ උරුමය, විජාතික සංස්කෘතින් වැනි වචන බහුලව එහාට මෙහාට විසිවෙන මේ මොහොත ‘සංස්කෘතිය“ පිළීබද වඩා පුළුල් සංවාදයක් අරඹන්නට සුදුසුම අවස්ථාවක් ලෙස යොදාගන්නට මේ සංස්කෘතික ප්‍රතිපත්ති සම්පාදන කණ්ඩායමට හැකි වෙ‍‍තොත් එය මැනවියි මම සිතමි.

Nadeeනදී කම්මැල්ලවීර | Nadie Kammallaweera