Image:Vikalpa

සාමාන්‍යයෙන් කෙනෙකු ඝාතනය කෙරෙන්නේ එක් වරකදී පමණක් වුවත්, ඇතැම් ඝාතන ඊට වැඩි වාර ගණනකදී සිදු කෙරේ. පළමු වර කෙරෙන්නේ ඔහුව/ඇයව කායිකව ඝාතනය කිරීමයි. එම ඝාතනය මගින් ඔහුගේ/ඇගේ ප‍්‍රාණය නිරුද්ධ කෙරේ.

ඊළඟට, එම තැනැත්තා නියෝජනය කළ සමාජමය/දෘෂ්ටිමය මනෝකාය හෙවත් අදහස් උදහස් සහ ප‍්‍රතිපත්ති ආදිය හෝ ඔහුගේ/ඇගේ ඝාතනය විසින් ඇති කරන ලද සමාජ කම්පනය ඝාතනය කර දැමිය හැකිය. ප‍්‍රගීත් එක්නැලිගොඩට අදාළ ඉහත කී පළමු කොන්දේසි සම්බන්ධයෙන් විවිධ තර්ක විතර්ක තිබෙන්ට පුලූවන. ඔහු කොටියෙක්ය හෝ ඔහු කැලෑ පත්තරකරුවෙකුය ආදී වශයෙන් විවිධ පාර්ශ්ව විසින් කරුණු ගෙනහැර දක්වනු විටින් විට අප දැක තිබේ. එම චෝදනාවන්ට පිළිතුරු බැඳීම මේ අවස්ථාවේ අපගේ අභිප‍්‍රාය නොවේ. මෙහිදී සැලකිල්ල යොමුවන්නේ දෙවැනි කාරණයට අදාළවයි. එනම්, ඔහුව පැහැරගෙන යාම විසින් ඇති කරන ලද සමාජ කම්පනයේ වර්තමානය සම්බන්ධයෙනි.

ඔහු කොටියෙක්ය හෝ කැලෑ පත්තරකරුවෙක්ය යන්න මොහොතකට පිළිගත්තත්, ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කිරීම එදා විපක්ෂය විසින් සමාජ සංවාදයට ලක් කෙළේ, නීති විරෝධී පැහැරගෙන යාමක්, මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක්, ප‍්‍රකාශනයේ අයිතිය පැහැර ගැනීමක්, නීතියේ ආධිපත්‍යයට පයින් ගැසීමක් සහ සුදු වෑන් සංස්කෘතියක් විසින් ඇති කෙරෙමින් තිබූ ඒකාධිපති තන්ත‍්‍රයකට සජීවී නිදසුනක් වශයෙන් ගනිමිනි. එදා මෙවැනි පැහැරගෙන යාම් සහ ඝාතනයන් අළලා ඉතා ප‍්‍රබල දේශපාලන කතිකාවක් ගොඩනැගුණි. එම කතිකාවේ මූලික තර්කය එදා රට ආණ්ඩු කළ පාලකයන් අතින්ද වෙනත් ආකාරයකින් පිළිගැනුණි. ඔවුන් කිසිවෙකු, එක්නැලිගොඩ පැහැරගෙන යාමක් පිළිනොගත්තේත්, ඔහු වෙනත් රටක ජීවතුන් අතර සිටින බව පුන පුනා කීවේත්, ඉහත කී පරිදි, කොටියෙකු/කැලෑපත්තරකරුවෙකු වුවත් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම තමන් විසින්ද අනුමත නොකරන බව ප‍්‍රසිද්ධියේ පිළිගනිමිනි.

මේ නිසා, අනිත් සියල්ල (කොටියා/කැලෑපත්තරකරුවා) කෙසේ වෙතත්, එක්නැලිගොඩ නැමැති මිනිසා පැහැරගෙන යාමට ලක්වීම තුළින් එදා මේ සමාජය ඉදිරියේ මුදා හළ ඉමහත් කම්පනයක් තිබුණි. එය මානුෂීය කම්පනයකට අමතරව දේශපාලනික සහ සමාජ කම්පනයක්ද විය. එදා විපක්ෂය තමන්ගේ ජනාධිපතිවරණ සහ මැතිවරණ වේදිකා ඔස්සේ පාවිච්චි කෙළේ මේ දෙවැනුව කී සමාජ කම්පනයයි.

ඔහුගේ පැහැරගෙන යාම හරහා සමාජය වෙත මුදා හළ එකී කම්පනය අද යම් ආකාරයකින් දෘෂ්‍ය කෙරේ නම් හෝ විකෘති කෙරේ නම්, ඒ වූ කලී, ඔහු සිය මරණයෙන් අපට සැපයූ සමාජ පාඩමේ පදාසයක් අප විසින්ම ඉරා දැමීමකි. මීට දින 2000 කට කලින් යම් දවසක ඔහු අපෙන් තුරන් විය. එතැන් සිට ඔහු කායිකව නොපවතින්නෙකි. එහෙත් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අත්‍යාවශ්‍ය පාඩමක් අප උගත යුත්තේ කෙසේද යන වැදගත් ආදර්ශ මාදිලිය, ඔහු සිය නොපැවැත්ම තුළින් අපට දායාද කොට ගියේය. අද ඝාතනයට ලක්වෙමින් තිබෙන බව පෙනෙන්නේ එම උරුමයයි.

මේ පැහැරගෙන යාම/ඝාතනය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන් කිහිප දෙනෙක් දැනට අත්අඩංගුවේ සිටිත්. ඔවුන් බැලීමට හිරගෙදරට යන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රටට කියන්නේ, තමන් ‘දේශපාලන සිරකරුවන්’ බැලීමට ගිය වගකි. මේ නඩුව ඇසෙන වාරයේ ‘දේශපේ‍්‍රමී’ යැයි කියාගන්නා තවත් කොටස්, අදාළ සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා උසාවිය අසළ උද්ඝෝෂණ කරති. එම සැකකරුවන්ව ඔවුන් සළකන්නේ ‘රණ විරුවන්’ වශයෙනි. මෙකී උද්ඝෝණකරුවන්ට අනුව, එක්නැලිගොඩ යනු, පැහැරගෙන යාමකට අත්‍යන්තයෙන්ම ‘‘සුදුස්සෙකි’’.

යුද්ධය තුළ කටයුතු කළ ත‍්‍රිවිධ හමුදාවෙන් අඩු වශයෙන් සියයට 95 ක්වත් අපරාධවල පාර්ශ්වකරුවන් විණැයි විශ්වාස කළ නොහේ. යුද බිමේ දී ප‍්‍රතිමල්ලවයාව ඝාතනය කිරීම, යුද්ධයේ කිසි පාර්ශ්වයක් සම්බන්ධයෙන් අපරාධයක් වන්නේ නැත. එහෙත් යුද්ධයට පිටින්, රටේ නීතිය හෝ යුද්ධ නීතිය උල්ලංඝනය කරමින් සිදු කරන ඕනෑම අපරාධයක්, නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය යුතු සාපරාධී ක‍්‍රියාවක් වන අතර, එවැනි වරදක් කරන ඕනෑම පුද්ගලයෙකු අපරාධකරුවෙකු වන්නේය. කතරගම රූප සුන්දරිය පේ‍්‍රමවතී මනම්පේරි ඝාතනය කළ හමුදා නිලධාරියා එල්ලූම් ගහට නියම විය. අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ගෙදර එමින් සිටි යාපනේ ක‍්‍රිෂාන්ති කුමාරස්වාමී ශිෂ්‍යාව දූෂණය කොට ඝාතනය කළ හමුදා නිලධාරින් 6 දෙනෙකු එල්ලූම් ගහට නියම කෙරුණි. ඒ කිසි නිලධාරියෙකු එදා ‘රණ විරුවෙකු’ වුණේ නැත. අද එක්නැලිගොඩ සිද්ධියට අදාළ මේ හමුදා සාමාජිකයන් ‘රණ විරුවන්’ වන්නේ, එක්නැලිගොඩ පැහැරගෙන යාමට අණ දුන් පුද්ගලයා රාජපක්ෂ පවුලේ කෙනෙකු වන නිසා මිස වෙන කිසි හේතුවක් නිසා නොවේ.

හමුදාවේ රණවිරු කීර්ති නාමය ආරක්ෂා කර ගැනීමට පවා, සැබෑ රණ විරුවන්ගෙන් අපරාධකරුවන් වෙන් කොට හඳුනාගත යුතුව තිබේ. එක්නැලිගොඩව නීති විරෝධීව පැහැරගෙන ගිය, එවකට ගිරිතලේ කඳවුරේ ප‍්‍රධානියා අද අත්අඩංගුවේ සිටී. ඔහුව පැහැර ගෙන ගිය බව අද මේ නිලධාරියා පිළිගනී. හිරභාරයේ පසු වන සෙසු සැකකරුවෝද ඒ කරුණ විවිධාකාරයෙන් පිළිගනිති. එවැනි සැකකරුවන් ‘රණ විරුවන්’ යැයි හැඳින්වීමම, සමස්තයක් වශයෙන් ත‍්‍රිවිධ හමුදාවේම කීර්ති නාමය අපහරණය කිරීමකි. හිටපු ජනාධිපතිවරයා කරන්නේ හරියටම එයයි.

එසේ වෙතත්, යහපාලන ආණ්ඩුව යටතේ මේ කාරණයට අදාළව දිග හැරෙන අධිකරණමය ක‍්‍රියාවලිය තුළ සිදුවන යම් කාරණයක් එසේ තේරුම් ගැනීම උගහට ය.

මේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා කියන්නේ තමන් යුද හමුදාව වෙනුවෙන් පෙනී සිටින බවයි. යුද හමුදාව යනු, ලක්ෂ ගණනක ක‍්‍රියාන්විත පිරිසකි. ඒ අය වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයෙකු අවශ්‍ය නැත. අවශ්‍ය වෙතොත්, එය පැවරෙනු ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවට මිස පෞද්ගලික නීතිඥයෙකුට නොවේ. කෙසේ වෙතත්, විත්තියේ නීතිඥයා කියන කතාවේ වෙනත් ඇත්තක් තිබේ. මෙකී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඔහුගේ නීති ගාස්තු ගෙවන්නේ හමුදාවෙනි. තවත් විදිහකින් කිවහොත්, ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය අපරාධකරුවන් නිදහස් කර ගැනීම අරභයා පුරවැසියන් වන අපේ මුදල් හමුදාව හෝ හමුදාවේ යම් අරමුදලක් හරහා මේ අවස්ථාවේ වියදම් කෙරෙන බවයි.
එම තත්වය අප තේරුම් ගන්නේ කෙසේද?

අමාත්‍යාංශ ලේකම්වරයෙකු, දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙකු හෝ වෙනත් රජයේ සේවකයෙකු, අපරාධ චෝදනාවක් මත උසාවිය ඉදිරියේ පෙනී සිටින කිසි අවස්ථාවක, ඔහු/ඇය සේවය කළ අමාත්‍යාංශයෙන්/දෙපාර්තමේන්තුවෙන්/සංස්ථාවෙන්, එම තැනැත්තා වෙනුවෙන් නීති වියදම් දරන්නේ නැත. මන්ද යත්, එම අපරාධය එම තැනැත්තාගේ ක‍්‍රියාවක් මිස ආයතනයේ ක‍්‍රියාවක් නොවන බැවිනි. එහෙත්, මේ හමුදා සැකකරුවන් වෙනුවෙන් හමුදාව හෝ හමුදාවේ යම් අරමුදලක් හරහා නීති වියදම් දැරීමෙන් පෙන්නුම් කරන්නේ, එම වියදම දැරීමට තීරණය කළ නිලධාරියා හෝ නිලධාරීන්, මෙකී අපරාධයේ අශෝභන වගකීම මුළු හමුදාවටමත්, එතැනින් නොනැවතී මුළු සමාජයටමත් පැවරීමට තීරණය කොට ඇති බවකි. ඒ අනුව, අප සියල්ලන්ම මේ අපරාධයේ චූදිතයන් ය.

සිද්ධියේ අනිත් පැත්ත මීටත් වඩා භයානකයි. එසේම, දේශපාලනිකයි. උසාවියෙන් එළියේ මහින්ද රාජපක්ෂ මොවුන් වෙනුවෙන් පෙනී සිටී. උසාවිය ඇතුළේදී ඔවුන්ගේ වියදම් දරමින් පෙනී සිටින්නේ යහපාලන ආණ්ඩුව යටතේ තිබෙන රජයේ හමුදාවයි. දැන් ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, දඬුවමින් නිදහස් විය යුතු ක‍්‍රියාවක් වශයෙන්, මහින්ද රාජපක්ෂ සේම යහපාලන ආණ්ඩුව යටතේ තිබෙන හමුදාවකුත් සළකන්නේ නම්, අප මේ අත්දකිමින් සිටින්නේ, ප‍්‍රගීත් එක්නැලිගොඩ නැමැති පුද්ගලයාව පමණක් නොව, ඔහුගේ ඝාතනය විසින් සමාජය තුළ ඇති කළ සහ බලයට පත්වීම සඳහා (වර්තමාන පාලකයන් විසින්) උපරිමයෙන් පාවිච්චි කළ මුලින් කී සමාජ කම්පනයත් මේ අවස්ථාවේ දෙපාර්ශ්වයේම සහභාගීත්වයෙන් ඝාතනය කෙරෙමින් තිබෙන බවකි.

එසේ වන විට, සුදු වෑන් සංස්කෘතියට එරෙහිව එතැනින් එහාට එක අඟලක්වත් අපට යා හැකි වේද?

Gamini-Viyangodaගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda