Image by: AFP/www.dawn.com

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පොළොන්නරුවේදී සිදුකළ කතාවේ වැදගත් කාරණයක් මාධ්‍යය වාර්තා කළේය. ඒ මෙරට බිහි වූ හෝ (බිහි කළ) නායක -නායිකාවන් සහ ඔවුන්ගේ සේවාවන් ගැනය. මෙරට විකාශය කරන කිසිඳු රූපවාහිනී නාලිකාවක් අදාළ කාරණය තම ප්‍රධාන පුවත් විකාශණ වලට යොදා නොගත් ආකාරය හෝ හිතා මතා සිදුකරන කප්පාදු කිරීමකට අදාළ පුවත ලක්වීමක් නිරීක්ෂණය කළ හැකි විය.

මෛත්‍රී වූ කලී ඉතාමත් පරෙස්සමින් තම වචන හසුරුවන, සහ තමන්ගේ අදහස් නිරවුල්ව ප්‍රකාශ කිරීමට හැකි ඉතා දුර්ලභ ගණයේ විනයක් පවත්වාගෙන යන දේශපාලඥයෙකි. තම ආරවුල ඔහු ප්‍රකාශ කිරීමට පුරුදු වී සිටියේ විහිළුවෙනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තම සිතැඟියාවන් ඉටු නොකරන විට, හෙතම ජනතාව ඉදිරියේ රබන් ගසමින් විරිදු කිව්වේය. බෙර ගසමින් පදවැල් ගොතනු ලැබුවේය. එය අමිහිරි අතීතයේ තිත්ත අත්දැකීම්වලට තම ප්‍රතිචාරය දැක්වීම සඳහාය.

මෛත්‍රිපාල සිරිසේන මහතා, සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී, පොළොන්නරුවේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණඩාරනායක මහත්මිය ගැන සඳහන් කරමින් ඇය සිදු කළ සේවාව ගැන විශේෂයෙන් කතා කළේය. ඒ මීට වසරකට පෙරදීය. එනම්, මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙස පා තැබීමට ආසන්න කාලයේදීය. අභ්‍යන්තර ගනුදෙනුව ආරම්භ වූ විගසය. ඉන්පසු හෙතම ජනාධිපති දක්වා පැමිණි අතර, ඔහුගේ මග හිටපු ජනාධිපතිනිය විසින් මුහහත් කළාය. නමුත්, දේශපාලනයේදී ස්ථීර සතුරන් මෙන්ම මිතුරන්ද නැති බව සනාත කරමින්, වසරකට පසු මෛත්‍රීගේ දේශපාලන විලාසිතාව වසින් ලබා දෙන පණිවිඩය කුමක්ද?

ඒ ගැන, ඔහු ඊයේ (ජනවාරී 01.) එනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී පැය 24කට අඩු කාලයකදී ඉදිරිපත් කළ අදහස් කියවීමෙන් යම් අවබෝධයක් ලබාගත හැකිය. ඒ මෙසේය;

“…..එදා ඩි. එස්. සේනානායක මහතා ඉංග්‍රීසී ජාතීන්ගෙන් මේ රට බේරා ගත්තා. එස්. ඩබ්. ආර්. ඩි. බණඩාරනායක මහතා සියලුම ජාතීන්ට සමතැන දීමට කටයුතු කළා. ජේ. ආර්. ජයවර්ධන මහතා මේ රටට හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා. රණසිංහ ප්‍රේමදාස මහතා දිළිඳු ජනතාවට නැති බැරි අයව ඇති හැකි අය බවට පත් කරන්න කටයුතු කළා. විශේෂයෙන් පොදු මිනසාට සැලකුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ පැවති යුද්ධය ඉවර කළා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අන්තර්ජාතික මුහුදු සීමාව කිලෝමීටර් 4000ක් (?) කළා,…..” (උපුටා ගැනීම දිනමිණ – 2016/01/02/ පිටුව 05)

අදාළ පුවත ප්‍රසිද්ධ කළ තවත් පුවත්පතක් මෙසේ වාර්තා කරනු ලැබීය;

“ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, …..ඩී. එස්‌. සේනානායක මහතා එදා සිටි නායකයන් සමග එකතුව ජාතික අරගලය ශක්‌තිමත් කර බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් රට නිදහස්‌ කර ගත් බවත්, බණ්‌ඩාරනායක මහතා සමාජය තුළ තිබූ බමුණු කුලයන් බිඳ හෙළා පුංචි මිනිසාට රාජ්‍ය පාලනයට ඇතුළු වීමට ඉඩ හසර ලබා දුන් බවත් කීවේය. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය තම යුගය තුළ පොදු දේපොළ, පොදු සම්පත් ජනතා අයිතියට පවරා දුන් බවත්, ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන තුළින් රාජ්‍ය බලය, පාලත් නවයකට බෙදා හැරීමට කටයුතු කළ බවත් කීවේය. ඒ වගේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් ජනසවිය වැනි වැඩසටහන් ආරම්භ කර විශේෂයෙන්ම පොදු මහජනතාව අතරින් ආර්ථික පරිවර්තනයක්‌ ශක්‌තිමත් කරනු ලැබූ බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා යුද්ධය අවසන් කර රටට සාමය ලබා දුන් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසුවේය.” (උපුටා ගැනීම – දිවයින ~ 2016/01/ 02/ පිටුව 01)

සංඛ්‍යාදත්ත සහ පිළිවෙල වාර්තා කිරීමේ සුළු ගැටලු මතු වුවද, පළමු පුවත මෙන්ම දෙවන පුවත අදාළ කාරණය මනාව ග්‍රහණය කරගෙන ඇති ආකාරයකි. අදාළ කාරණය, මෙරට පලවන මුද්‍රිත පුවත්පත් දෙකක පමණක් ප්‍රසිද්ධ විය. රටේ ජනමාධ්‍යවේදය වෙනුවට ඇත්තේ, වාර්තාකරණයට වඩා පුවත් මැවීමක් වන හෙයින්, බොහෝ වැදගත් කාරණා ජනතාවට මග හැරේ.

මෙහිදී මෛත්‍රිපාල සිරිසේන මහතා 80 දශකයෙන් පසු පත් වූ නායකයින් දෙදෙනෙකු මගහැර තිබේ. ඒ, ඩි. බී. විජේතුංග මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියයි. ඔහුට විජේතුංග මහතා මගහැරීම සරල කාරණයක් ලෙස දැකියහැකි නමුදු චන්ද්‍රිකා මහත්මිය මග හැරීම, අහම්බයක් විය නොහැකිය. මෙය උදා වූ නව වසරේ රටේ දේශපාලන දිශාව හඳුනාගැනීම සඳහා මානයක් විය හැකිය.

මීට ඌනපූරකයක් ලෙස, මීට දින කිහිපයකට පෙර දැඩි කතාබහට ලක් වූ කාරණයක් දැක්විය හැකිය. එනම්, හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා නව දේශපාලන පක්ෂයක් තැනීමට දරන උත්සහය ගැනය. එළඹෙන පළාත්පාලන මැතිවරණයේදී මධ්‍යස්තව සිටීමට තීරණය කිරීම මෙන්ම නව සනධානය සඳහා හෙතම සහභාගී නොවන බව සඳහන් කොට ඇත. මෙම සිදුවීමේ නිරීක්ෂණය කළ හැකි සියුම් දේශපාලන ගනුදෙනුවක් තිබේ. ජනාධිපති මෛත්‍රී, පොළොන්නරුවේදී කොලේ වසා ගසනු ලැබුවේ එය යැයි අනුමාන කළ නොහැකිද?

වැදගත් දේශපාලන තීන්දු ඉතාමත් කලාතුරකින් රටේ පොදු අපේක්ෂාවන් අනුව ක්‍රියාත්මක වුවද, ඒවාද පෞද්ගලික අපේක්ෂාවන් සහ විශ්වාසයන් විසින් ආවරණය කරනු ලබයි. වඩාත් ප්‍රභලතම උදාහරණය තජුජීන් ඝාතන සිදුවීමයි. යහපාලනයේ මුලික අවශ්‍යතාවයක් ලෙස අධිකරණ පද්ධතිය ස්වාධීන කිරීම සහ දේශපාලනීකරණයෙන් මෙන්ම අශුද්ධ අභ්‍යන්තර කුලල් කා ගැනීමෙන් තොර ශක්තිමත් ආයතනයක් කිරීම වුවමනාව බව පෙන්වා දෙනු ලැබීය. මෙය කළ හැකි එක් තීරණාත්මක අපරාධයක් වූ කලී අදාළ පුද්ගලයාගේ ඝාතනයයි. ඊට ස්වාධීන තීන්දුවක් ලබා දිය හැකිද? එය කෙසේ හෝ ප්‍රමාද කරමින් වෙනත් දේශපාලන ගනුදෙනුවකට අදාළ පාර්ශවයන් ගමන් කරමින් සිටින්නේද? එසේ නොවේ නම්, මුලික වැරදිකරු ආරක්ෂා කරමින් ඒ වෙනුවට වටේ සිටි අයෙකු චූදිතයෙකු කර “යුක්තිය” ඉටු වීමට නියමිතද? ආදී කාරනා මේ වටා ගෙතී ඇති සියුම් දේශපාලනය ප්‍රකාශ කරන දෑය. බලවතා ආරක්ෂා කිරීම වෙනුවෙන් දුබලයාගේ ජීවිතය ගාල් කිරීම, (මෙය ඇතැම්විට සිය කැමැත්තෙන් සිදුවන කණගාටුදායක කාරණයකි) රෝගී යුක්ති ධර්මයක ඉහළින්ම ඇති උපායකි.

ගෙවී ගිය වසර තුළ දැක ගත හැකි වූ මූලික කාරණය වනාහී, වෙනසක් තුළ ඇති කළ යුතු වෙනස්කම් ගැන ගැඹුරු හැදෑරීමක් දැකගත හැකි නොවීම සහ රටේ දූෂිත පරිපාලන ව්‍යුහය වෙනස් කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් සිදු නොවීමය. එසේම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ක්‍රමයෙන් පළල්වන දේශපාලන වියෝවක් තිබෙන ආකාරය, මහා බැංකු සිදුවීමේ සිට විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් රටේ “විශාලතම අල්ලස” ගැන කළ පුරසාරම දක්වා වූ සිදුවීම් වලින් දැක ගත හැකිය.

ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට, රාජපක්ෂ මහතා වූ කලී ඉත්තෙක් වන්නා සේම රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද ඉත්තන් වේ. මේ වනවිට මෙම ත්‍රිපුද්ගලන් වූ කලී සමකෝණී ත්‍රිකෝණයකි.මෙහි සමාන කෝණයන් එලෙස රැඳීම, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ නියෝජනයේ සාන්ද්‍රණය මත තීරණය විය. ඇයගේ නියෝජනය 2015 දී උපරිමය දක්වා ගමන් ගත් නමුත් එහි ක්‍රමික අඩුවීමක් 2016 උදාවන විට දැකගත හැකිවිය. මෙම රටාව මේ ආකාරයෙන් ඉදිරියට ගියහොත්, වඩාත් ආකර්ශනීය සිදුවීමක් එළඹෙන පෙබරවාරී 04 වන දින ජාතික නිදහස් උළලේදී දැකගත හැකිවනු ඇත. එහිදී මෛත්‍රී-රාජපක්ෂ සහ චන්ද්‍රිකා තෙපාර්ශවයේ හැසිරීම වැදගත් විය හැකිය.

රට හැදීමට වඩා ආණ්ඩු වෙනස් කිරීම රටේ දේශපාලන සංස්කෘතිය වූ විට, එය මැතිවරණ ඉලක්ක කරගත් පාලන ක්‍රමයක් තනනු ලබයි. මැතිවරණ සඳහා විශාල මුදලක් අවශ්‍ය වේ. එය රාජ්‍ය සංස්ථා වලින් හොරකම් කිරීමට හෝ වෙනත් ඒකාධිකාරී ව්‍යාපාරිකයින්ගෙන් ලබා ගැනීමට සිදුවේ. එවැනි ක්‍රමයක් වංචාකාරයින්ට සහ දූෂිතයින්ට වඩාත් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ “ජාතිකත්වය” පදනම් කරගත් “දේශප්‍රේමය” මෙම කාරණය මනාව හඳුනාගෙන ඇති අතර, ඊට සැබෑ රාජ්‍යය සහ එහි ව්‍යුහය ගැන තැකීමක් නැති තරම්ය.

මෛත්‍රී ගමන් කරමින් සිටින්නේ, “ජාතිකත්වය” පදනම් කරගත් “දේශප්‍රේමය” වෙතද? එසේනම්, ඔහුට ප්‍රතික්ෂේප කිරීමට සිදුවන පළමු චරිතය චන්ද්‍රිකා මහත්මිය වන අතර පිළිගැනීමට සිදුවන පළමු චරිතය රාජපක්ෂ මහතාය. 2015 ජනවාරී මාසයට පෙර කළු කෝපී පානය කොට ආප්ප කෑ මෛත්‍රිපාල මහතාට, 2016 දී රාජපක්ෂ මහතාට කුරක්කන් තලප දී “පැරණි” දේශපාලනය යලි අලුත් කිරීමට අවශ්‍ය වී තිබේද? මෛත්‍රී නොකියා කියන්නේ එයද? මග හැරුණු සහ අත්හළ කාරණා ගැන “පසුතැවීමට” සිදුවන බොහෝ නායකයින් අතරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් කරමින් සිටින්නේද?

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa