තහනම් උත්තේජන චෝදනා නොහොත් නව ලිබරල්වාදය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාට එරෙහි විරෝධතාවක්ව තිබියදීම අය වැය සම්මත වූයේ ඔහු නිදොස් කොට නිදහස් කිරීමෙන් නොවේ. චෝදනාකරුවන් අනාථ කරමින් තුනෙන් දෙකක බහුතරයද හිමි විය. අගමැති රනිල් ඔහුගේ ඉවසිලිවන්ත බවටත් නම්‍යශීලී බවටත් සම්මානද හිමි කරගත්තේය. මෙසේ මේ අනුමත වන්නේ හෝ සම්මත වන්නේ අප දකින ආකාරයට මෙගා සිහින දකින්නන් ලබන සැරේ දෙනව බැටේ නරඹද්දී අත්ත බි‍ඳෙයි පය බුරෙලෙන් තබා යන්නට ප්‍රමාණික රනිල්ගේ ශූර බවය.

පරාජයේත් අපකීර්තියේත් අන්තයට එක අවුරුද්දකින්ම ඇද වැටෙන්නට රනිල් අණුවන නැත. ඔහු නොවැළැක්විය හැකි තත්වයන් වළකමින් සිටී. නායකත්වය පිළිබඳ තියුණු අභියෝගයෙන් යුත් පසුගිය කාල වකවානුව තුළවත් සිරිකොත අත හැර ගෙදර නොගිය රනිල් රාජ්‍ය බලය අතහැර ගෙදර යන හදිසියක කොහෙත්ම නැත. එහෙත් බලයේ ‍රැඳී සිටීම රනිල් හමුවේදී නම් විපක්ෂයේ සිටියාට වැඩි අවදානමකින් යුතු බව හොඳටම ඇත්තකි. විශේෂ පාර්ලිමේන්තුවක විශේෂ කැබිනට් මංඩලයක පමනක් නොවේ තමන්ට ඡංදය දුන් ජනතාවගේද ඇස් වසා කනින් රිංගා යන ගමනක් ඔහුට තිබේ. අයවැය යෝජනා සහ මුදල් ඇමතිවරයා ඩමි බවට පත් කර ගැනීම උපාය මාර්ගිකව වැදගත්කමක් අත් පත් කර ගන්නේ ඒ අනුවය. කල් යල් බලා සිදු කෙරෙන තමන්ගේ මැදිහත්වීමකට ඒ තුළ ඉඩ ඉතිරි කර ගනිමින්ම අය වැය යෝජනා සකස් වී ඇත. යෝජනා සම්බන්ධ විවාදයේදීත් සංශෝධනවලදීත් මුදල් ඇමති අභිබවා ගිය ආරූඪයක් ඔහු කෙරේ ප්‍රකට වීම පැහැදිළිවම පූර්ව සූදානමකින් යුතුය. දේශපාළන නායකත්වයේදී මැවුම්කාරයා තමාම බව ඉස්මතු කර ගන්නා ‍රැස් වළල්ලක් ලෝකයටම පොදුය.

වර්තමාන දේශපාළන හැදෑරීමකදී මහින්ද රෙජිමය අත් හළ නොහැකි ප්‍රපංචය ක් වන්නේ මේ නිසාය. මෛත්‍රී රනිල් පන්නයේ දෙමුහුන් ආණ්ඩුවක් නොවන්නා සේම එය ආණ්ඩුවක්ද නොවිණ. ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු ආයතන ඒ ඉදිරියේ ඩමියන් විය. සියලු පක්ෂයන්ගෙන් කැළේ පැන්නවුන් ඒ තුළ ගාල් වී සිටියෝය. ගාල ඊට වාල් වන්නට තරම් ‍රැස් වළල්ලක් අප දන්නා පරිදි ආරම්භයේදී ඊට නොතිබිණ. සිදු වූයේ ප්‍රභාකරන් පරාජය කිරීම සඳහා එක්සත් වූවන් විසින් එවැන්නක් ඊට ආරෝපනය කිරීමත් පසුව ඔවුන්ම ඊට වසඟවීම හෝ මෝහනයවීමත්ය. ඉක්බිති අවස්ථාවාදය වෙනුවෙන් පෙනී සිටිමින් දිවි හිමියෙන් එය ‍රැක බලා ගැනීමත්ය. රෙජිමය බිහි කරගැනීමේදී අසීරුවෙන් කරගන්නට කිසිවක් රාජපක්ෂ පවුලට ඉතිරි නොවින. ප්‍රභාකරන් අනුහසින් හෝ දේශප්‍රේමයේ ආනුභාවයෙන් සියල්ල පහල විය. ඉක්බිති ඩමි බවට පත් නොවුනේ රාජපක්ෂ පවුල පමණි. සෙසු සියල්ල ඩමිය.

රනිල්ගේ දේශපාළන භාවිතය ගැන ඉතිහාසය කියවීම හෝ අනාවැකි කීම මේ ලිපියේ අරමුණ නොවේ. නමුත් දීර්ඝ කාලින සූදානමක ප්‍රතිපලයක් විය යුතු අය වැය යෝජනා දිගින් දිගට සංශෝධනය වීම ඔහුගේ නව ලිබරල් ප්‍රතිරූපය මග හැර සාකච්ඡාවක් අපට නැති කළේය. ගැමි භාවිතය පරිදි මක මකා අකුරු කළ අයවැය යෝජනා නව ලිබරල්වාදයේ මුට්ටිය දැමීමකි. කිසියම් අහම්බීය ආශිර්වාදයකින් තද බල විරෝධයක් අයවැය යෝජනා සඳහා නොපැමිනියා නම් හෝ විරෝධය පාලනය කර ගැනීමට රනිල්ට ලෙහෙසියෙන්ම හැකි වූවා නම් හෝ අමු අමුවේම රවීගේ යෝජනා සම්මත වනු ඇත. අයවැය සම්බන්ධ කතාවේ ඇත්ත එවැන්නකි. මේ අනුව සැබෑ ඩමිය, බොරු ඩමිය හෝ ඔරිජිනල් එක, පීචං එක සෙවීම උඩින් පල්ලෙන් බැලුවත් තේරුමක් තිබේ. සම්මත වූයේ රවී ගෙනා අය වැය යොජනා නම් රනිල් වෙනත් වටයකින් පැමිණ රවී වැරදියි කියමින් එකතු කරන සංශෝධනයක් මෙහිදී රනිල්ගෙන් සිදු නොවනු ඇත.

තත්වය එසේ බැවින් රනිල්ගේ රට කිරීම සන්කළ විදිලි කෙටීමක් පමණකටම මුදල් ඇමතිවරයා හෝ අය වැය යෝජනා ඩමියක් වීම ලඝු කිරීමද ලාංකීය දේශපාළන සංස්කෘතියට අනුව අසම්පූර්ණය. කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් රනිල් නියෝජනය කරන හෝ කො‍ටුවී සිටින ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය නව ලිබරල්වාදයයි. අනතුරක් වෙතැයි ජනතාව සිහිනෙන්වත් නොපතන ගේ දොර වැසිකිළිය ළිඳ හෝ බැංකුවේ තිබෙන සොච්චම වැනි අතිශය සංවේදී වත්කම් ජාවාරම්කාරීත්වයට ලක් කිරීම නව ලිබරල්වාදයයි.

අය වැයෙහි ඒ කොටස් මග හැර අනුමත කළ සංශෝධනයන් ටික දැනට ප්‍රමාණවත් කර ගත්තත් ඊළඟ පියවරට පෙර ස්ථාවර කරගත් තමන්ගේ ප්‍රතිරූපය සහ ඒ වටා ගොඩනගා ගත් නව රෙජිමයක් අද දවසේ ඔහුගේ ප්‍රමුඛ අවශ්‍යතාවයයි. රාජ්‍ය නායකයාගේ ප්‍රතිරූපය ලංකාවට සාපේක්ෂව කොතෙක් ප්‍රතිගාමී වුවද මුළුමනින්ම දේශපාළනික යථාර්තයකි. සමාජ පසුගාමිත්වය අඛණ්ඩව පවත්වා ගැනීමේදී මේ ප්‍රතිරූප ආරූඪය මහින්ද රාජ්පක්ෂගෙන් අවසන් වන බවක් අපගේ හැඟීම නොවේ. මහින්ද පාර්ලිමේන්තුවේ පසු පස ආසනයකට තල්ලු වී ගියද අවශ්‍ය නම් පාවිච්චි කරන්නට ලාංකීය ජනතාව තුළ පසුගාමීත්වයත් චන්ද්‍රිකා, සජිත්, රාජිත, ච්ම්පික වැනි හුරු පුරුදු රෙජිම කාඩරයින් පිරිසකුත් තවදුරටත් ඉතිරිව තිබේ. අවශ්‍ය ‍රැස්වළල්ල සඳහා මහින්ද රාජපක්ෂට සේවය කළ ප්‍රභාකරන්ගේ අනුහස හෝ දේශප්‍රේමයේ ආනුභාව වෙනත් ආකාරයකින් ඔහු සොයමින් සිටී.

අය වැය යෝජනා පළමුවැනි කියවීමේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. දෙවැනි කියවීමේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. තුන්වැනි කියවීමේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. හැම වතාවකම අය වැයෙහි වැදගත්කමට වඩා රනිල්ගේ ප්‍රතිරූපය මතු කෙරෙමින් සම්මතය සිදු විය. මා සිතන්නේ අය වැය යෝජනා සකස් කිරීමට සමගාමීව හෝ ඊටත් කලින් සිටම සංශෝධන සූදානම සිදු වී තිබේ.

අය වැය පමණක් නොව ආරංචි මාත්‍රවලට අනුව පක්ෂය තුළ සංශෝධනද රනිල්ට අවශ්‍ය කර ඇත. එජාප ආණ්ඩුක ස්ථාවරත්වය රනිල්ගේ බලාධිකාරිත්වයෙන් බැහැරව පැවැතිය හැක්කක් නොවේ. නව ලිබරල් ජාවාරම්කාරීත්වයටද ඔහුගේ වැදගත්කම එසේමය. ඔහු ඒ ගමන යමින් තිබේ. දහදිය මහන්සිය හෙළමින් උගුරේ ලේ රත්වන තුරු සටන් පාඨ කියමින් වෘත්තීය සමිති විසින් කරනු ලැබුවේද තුනෙන් දෙකේ සම්මතයෙන් රනිල්ගේ බලාධිකාරය ශක්තිමත් කිරීමය. සියයට අනූවක පමණින් තුනෙන් දෙකේ සම්මතය අනුමත කරමින් හිටපු ජනපතිවරයා කළේද එයමය. කතානායකවරයාගේ ස්තුතිය ඒ හැම ඩමියකටමය.

[ලිව්වේ, නැදිමාලේ miniහෙක්]