සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යපෘතිය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් මගින්, ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ නිමාවෙන් සය වසරකට පසු, වධ බන්ධන, ලිංගික හිංසන, නීති විරෝධී රඳවා තබා ගැනීම් සහ ඝාතන හරහා රාජ්‍ය බලාධිකාරයන් විසින් දෙමළ ප‍්‍රජාවට එරෙහිව ගෙනයන
ක‍්‍රමානුකූල පීඩා පැමිණවීම් පිළිබඳව අනාවරණය කර සිටියි.

එහී දී ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, සාවධාන පර්යේෂණ ඔස්සේ සපයා ගත් වින්දිතයන්ගේ සාක්‍ෂි ප‍්‍රකාශයන් මගින් සුවිශද භයංකාරත්වය ජීවමාන කෙරෙන ‘‘තවමත් නොනිමි යුද්ධයක්: ශ‍්‍රී ලංකාවේ වධ හිංසාවන් සහ ලිංගික සැහැසියාවෙන් නොනැසුනවුන් 2009 2015’’ මැයෙන් වන වාර්තාව මගින් පෙන්නුම් කරනුයේ, වධ බන්ධන සහ ලිංගික හිංසනයන් වනාහී ශ‍්‍රී ලංකාවේ රජයේ සහ එහි ආරක්‍ෂක හමුදාවන්ගේ ඉහළම තලයන් හිදී සැළසුම් කොට මැනවින් සම්බන්ධීකරණය කරන ලද ප‍්‍රතිපත්තියක අවියෝජනීය කොටසක් බවයි.

මෙම වාර්තාව මගින් වධකයන් සහ ලිංගික දූෂකයන් හඳුනාගෙන නම් කිරීමද සිදු කරයි. එමෙන්ම, යුද්ධයෙන් පසුකාලීනව තමන් ප‍්‍රචණ්ඩ අපහරණයට පාත‍්‍ර කළ ස්ථාන ලෙස වින්දිතයන් විසින් නම් කරන ලද රහසිගත කඳවුරු ඇතුළු රැුඳවුම් ස්ථාන 41ක් මෙකී වාර්තාව මගින් නිශ්චිතව නම් කොට
අනාවරණය කරයි. 2015 ජනවාරි මාසයේ සිදු වූ ආණ්ඩු වෙනසින් පසුව පවා, ආරක්‍ෂක හමුදාවන් විසින් පැහැරගැනීම්, වධ බන්ධන පැමිණවීම් හා ලිංගික හිංසනයන් අඛණ්ඩව සිදුකරන ආකාරය ද මෙමගින් හෙළිරදව් කර තිබේ.

රැඳවුම් භාරයෙන් දීර්ඝ කාලයකට පසුවද මනෝ ක්‍ෂතියෙන් සහ මානසික පීඩාවෙන් පෙළෙන වින්දිතයන් විසින් අනාවරණය කරන කථා විත්ති අතිශය ඛේදජනක ය. පළිගැනීමේ ආකාරයෙන් සිදු කෙරෙන සිදුවීම්වලින් ඔවුන්ගේ පවුල් ද පීඩා විඳිති. සම්මුඛ සාකච්ඡාවන්ට පාත‍්‍ර කළ වින්දිතයන් 155 දෙනෙකුගෙන් හතරෙන් එකක්ම කියා සිටියේ හිංසාවන්ගෙන් බේරී තමන් විදේශගත වූ පසු ස්වකීය සමීපතම පවුල් සාමාජිකයන් කර්කශ දණ්ඩනයන්ට භාජනය කරන ලද බවයි.

නිසි ක‍්‍රියාමාර්ගයන් නොගතහොත්, මෙම ගැටුමේ වින්දිතයන් තවදුරටත් පිරිහෙළනු ඇති බවට මෙකී වාර්තාව ජාත්‍යන්තර ප‍්‍රජාවට අනතුරු හගව සිටියි. මෙකී සාපරාධයන්ට වඩාත්ම වගකිව යුත්තන්ට එරෙහිව වැඩිදුර ක‍්‍රියාමාර්ග ගනු පිණිස මෙය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයා වෙත
යොමු කරන මෙන් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය වෙතින්, වාර්තාව ඉල්ලා සිටියි. පූර්ණ වාර්තාව බාගත කිරීමට:

[සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යපෘතිය (ශ‍්‍රී ලංකාව) වනාහී සංක‍්‍රාන්තික යුක්තිය පිළිබඳ ප‍්‍රවීණයෙකු වන යස්මින් සූකා විසින් මෙහෙයෙවනු ලබන දකුණු අප‍්‍රිකාවේ මානව හිමිකම් සඳහා වන පදනම මගින් පරිපාලනය කෙරෙන ව්‍යාපෘතියකි. ශ‍්‍රී ලංකාව පිළිබඳ පූර්ව වාර්තා සඳහා: පිවිසෙන්න]

Map 2

Map

@itjpsl