නම් දෙකකින්ම මේ සිවුපා සත්වයා ප්‍රසිද්ධය. නරියා හෙවත් හිවලාය. ඒකියන්නේ ඌට ඇත්තේ හයිබ්‍රිඩ් හෝ ඩුවෙල් ප්‍රසිද්ධියකි. කපටි වෙලාවට කපටිය. බුද්ධිමත් වෙලාවට බුද්ධිමත්ය. මේ නිසා ස්ථාන උචිත ප්‍රඥාව, ප්‍රඥාවට උචිත ඉවසීම, ඉවසීමට උචිත නිහතමානීකම ඇතුලු සියලු උචිතයන් මේ සත්ව තෙමේ තුළ පිහිටා ඇති බව කට වසා ප්ලාස්ටර් දැම්මත් කිව යුතුය. කිව යුතු කාලයද එළැඹ තිබේ.

නරියා තුළ වන හික්මුණු ගුණය උදාහරනයෙන් කියතොත් ඌ මනුෂ්‍යයෙක් නූනද තුන්වෙනි ශික්ෂා පදය නොබිඳ ‍රැක ගත් සිවුපා සතෙක් විය. ඒ නිසා උගේ නෑදෑයෝ හැමදාම සිවුපා සත්තුමය. නරියෝමය. ගමහාමිනේලා ගමරාලලා සමග ලේ නෑදෑකමක් ඇති කර ගත්තේ නැත. මිනිස් ලේ සමග නරි ලේ ලේ මුහු කළේම නැත. එහි විද්‍යාත්මක ප්‍රතිපලය ලෙස ගම රාලලාගේ ගමහාමිනේලාගේ ලේ නරක් වූයේ නැත. ලේ නරක් වූයේ නැති නිසා ගමරාලලාට ගමහාමිනේලාට නිතර නිතර ලේ කෝපය නැමැති රෝගය වැළඳුනේද නැත. ඒ නිසා ගමරාලලා ගමහාමිනේලා සාමාජීය වශයෙන් හරි හොඳ මිනිසුන් විය. නෑදෑයෝ එක්කත් හොඳය. අසල් වැසියෝ එක්කත් හොඳය. කැළේ සතා සිවුපාවා එක්කත් හොඳය. ගම්මුන්ගේ යහපතත් නම්බුවත් කැළේ සතාගේ යහපතත් නම්බුවත් ‍රැක ගන්නට නරියා සමත් වූයේ එසේය. ලැජ්ජාවෙන් බයෙන් තොරව තමන්ගේ ඥාති වරිගයාට මුහුන් දීමේ හැකියාවද මිනිසුන් ජීවත්වෙන ගම්මානය අසළට එන්නටත් ඇවිත් යන්නට නිදහසත් නරියාට තිබුනේ ඒ නිසාය. ගමේ නිෂ්පාදිත ෆ්‍රෙස් චිකන් කන්නටද ලැබුනේය.

නරියා ලොවම කතා කරන සත්වයෙකි. නරියා ලොවටම කතා කරන සත්වයෙකි. වරෙක ඌ ලෝකයා වෙත ගියේ උපදේශකයෙකු ලෙසනි. වරෙක උදවු කරන්නෙකු වශයෙනි. ඒ නිසා සතුන් අතර පවා නරියාට උසස් පිළිගැනීමක් තිබුනේය. එක්තරා දවසක එක හිත හොඳ මිනිසෙක් උගුලකට හසු වූ කොටියෙක් බේරා ගත්තේය. පසුව උගුලෙන් බේරුන ඒ කොටියා ඒ හිත හොඳ මිනිසාව මරාගෙන කන්නට හදද්දී ඔතනට පැමිණි නරියාට සාම නියොජිතයෙක් ලෙස පිළිගැනීම ලැබුනේය. සාධාරන පරීක්ෂණයකට බලයද හිමි විය. ඒ අනුව මිනිසාගේ හිත හොඳකම ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ලොවටම කියා දෙමින් කොටියා නැවත ඒ උගුලටම යවා තිබුණේය. මිනිසා බේරා ගෙදර යවා තිබුනේය.

එසේ අභියෝගාත්මක දේට ඉදිරිපත් වන්නා සේම නරි තෙමේ සිය වර්ගයාගේ ගෞරව අභිමානය ‍රැක ගන්නටද දිවි දෙවැනි කොට ඉදිරිපත් වූ බව අප දනිමු. දවසක් දා සිය දියණිය නරියෙකුට පාවා දෙන්නේ යැයි නරි වරිගයා පහත් කොට සලකා ගම ගෙදරකින් කළ නින්දා පරිභවය නරි තෙමේ නෑසූකන්ව සිටියේ නැත. ගම දියණිය විවාහ කර දී නරියෙකු වන තමාව ගම ගෙදර බෑනා කර ගන්නා තෙක් නොබියවම අරගල කළේය. එහෙත් එසේ කළේ නරි වරිගයාගේ නම්බුව පිණිස බව පැහැදිළිය. මිනිස් ලේ සමග මුසු වෙමින් දෙපාර්ශවයටම අගතියක් කර ගන්නට නොවේ.

අවස්ථාව අනුව කෙසේ හැසිරුනද, නරියා උගේ තරම හොඳින් දැන සිටි නිහතමානි සතෙක් බවද තවදුරටත් කිව යුතුය. ශරීර ශක්තිය අනුව සමහර ලොකු වැඩ තමාට තනියම නොහැක. නමුත් තමාගේ නුවන අනුව නොකළ හැක්කක් නොමැති බවද දැන සිටියේය. ගොදුරක් සොයා ගැනීමේදී වුවත් නරියා ක්‍රියා කළේ ඒ අනුවය. එහෙත් වනගත රෙජිමයක් තුළ එය ඊට වඩා පුලුල් අර්ථයෙන්ද ගත හැකි අවස්ථා තිබුණි. දවසක් පුෂ්ටිමත් ගොන් නාම්බෙකුගේ මොළේ කන්නට නරියාට දැඩි සිතක් ඇති විය. එයද නරියාට තනියෙම කරගත හැකි සුලුප‍ටු කාර්යක් නොවේ. නරියා ඒ සඳහා යොදා ගත්තේ සිංහයාගේ බාහු බලය සහ රෙජිමයේ බලය අල්ලා ගන්නට තිබුණු ගොනාගේ බල ලෝභයයි. බල ලොභයෙන් අන්ධ වූ ගොනාව බලකාමයෙන් උද්ධච්ච වූ සිංහයා ළඟටම කැඳවා ගෙන ගොස් මරවා ගැනීම නරි බුද්ධියට ඉතා සුලු කාරනයක් වූයේය. ඉක්බිති ගොනා මරවා ගත් පසු නිදහසේ නිවීහැනේ නා පිරිසිඳු වී ගොන් මාංශය වළඳන ලෙස ආරාධනානුකූලව සිංහයා දෙවෙනි වතාවටත් මෝඩ කරවා දොළට පිටමං කළ නරි තෙමේ ගොනාගේ මොළය නිදහසේ නිවීහැනේ තනියෙම අනුභව කළේය. වැඩිහිටි ගමරාලලා ගමේ අර්ථයෙන් මුල් කාල්යේදී දැන සිටි පරිදි බල තන්හාසයේ ආනුභාවයෙන් පිටස්තරයන් ගම සූරාගෙන පොදි ගහ ගන්නා හැටි පසු කාලයේ ඔවුහූ නව ලිබරල් ලෝක ක්‍රමය ලෙස මෙසේ උගත්තේ නරියාගෙනි.

එකමත් එක තවත් දවසක නරියා හොඳටෝම ගුටි කන වැඩක් කරගනිමින් ගම්මුන්ට තවත් පාඩමක් කියා දුන්නේය. සිංහ හමක් පොරවාගෙන ගැමියන්ගේ විචාර බුද්ධිය පරීක්ෂා කරන්නට ගම්මානයට ගියේය. හැමදාම මෙන් එදාද මිනිසුන් වරද්දා ගත්තෝය. වටකර පහර දුන්නේ පොරවා ගෙන සිටි සිංහ හමටය. නරි හමට හෙවත් හරි නමට නොවේ. මේ ආකාරයට නරියාගෙන් උගත් දෑ පසු කාලයේ බිහි වූ බුද්ධිමතුන් පාසැල් පොත පතට පවා එකතු කර ගත්තෝය. අපේ වේදිකා නාට්‍ය කලාව පෝෂණය කරන්නටද යොදා ගත්තෝය. ගම දියණිය විවාහ කර ගැනීමේ කතාව නාට්‍යාකාරයෙන් ඉදිරිපත් කරන දයානන්ද ගුණවර්ධන නාට්‍යවේදියානෝ ප්‍රකාශ කරන්නේ නරි තෙමේ බෑනාකමට ‍තෝරා ගත්තද පසුතැවිල්ලට හේතුවක් කිසි කල මිනිසුනට ඇති නොවන බවය.

එහෙත් මේ සා වැදගත් වූ නරි තෙමේ මේ සා කාලයක් මිනිසුන් වන අපගේ ලේ පරම්පරාවට අයිති නෑයෙක් නොවේ. නෑයෙක් නොවුනත් මේ සත්වයාගේ බුද්ධිමත් බව ක්‍රියාශීලී බව උපායශීලි බව ප්‍රබෝධමත් බව ඉඳුරාම කිව යුතුය. බඩ පුරවා ගත් පසු පැත්ත වැටී නිදා ගත්තේ නැත. බඩ ගිනි වූ පසු පමනක් නැගිටින කුසීතයෙක්ද නොවේ. බාහු බලය ඇතිවුන්ගෙන් පවා නුවන යොදා වැඩ ගත්තේය. ශබ්ද නගා ගෙරවීම වෙනුවට ජය ගත්තේ නිහඬව ඉවසිල්ලෙනි. වනගත රෙජිමයේ අනෙක් සතුන් තර්ජනයෙන් යටත් කර ගන්නට ගියේ නැත. නරියා හෙවත් මේ සිවල් රජු උඩඟු නැත. ඒ නිසා කැළයත් ගමත් දෙකම ඇසුරේ ජීවත් වන්නට ඌ සමත් විය. කැලයේ අනෙක් සතුන් ගෙන් වෙන්ව ඔලුව අවුල් කරගෙන ගලක් උඩට වී බලාගත් අතේ බලාගත්වන ඉන්නට සිදු වූ සතෙක්ද නොවේ.

කරුණු මෙසේ හෙයින් කැළෑවත් ගමත් දෙකම ජය ගත් එකම වනසතා සිවලා හෙවත් නරියාමය. ගරු ගම්භිර පෙනුමක් වෙනුවට චාම් සරළ බවකුත් විශේෂ කාය ශක්තියක් වෙනුවට විශේෂ ඥාණ ශක්තියකුත් ජාන පරම්පරාවෙන්ම උරුම කොට ගත් ජන හද දිනූ නරි තෙමේ රටක ජනපතිකමට පවා සුදුසුය. විපක්ෂ නායකකමට පවා සුදුසුය. හිටපු ජනපතිකමට පවා සුදුසුය. නමුත් මිනිස්සුන් සමග ලේ නෑදෑකමක් පිණිස කරන ආරාධනයක් ආයාචනයක් නම් නරි තෙමේ නැට්ටෙන්ම ප්‍රතික්ෂෙප කරනු ඇත.

[ලිව්වේ නැදිමාලේ miniහෙක්]