Image by: Reuters

”කන විදින වෙලේ කඳුලු ගඟේ පතුළ බැලූදූ – අද සතුටු ගඟේ කිමිදෙනවා දාල කරාබූ…හායි.දාල කරාබූ…”හෙන්‍ රි කල්දේරාගේ මේ ගීතය මට සිහිපත් වුනේ මේ දිනවල ඇසෙන ඊනියා දේශප්‍රේමීන් ගේ මරළතෝනියන් නිසාය​.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් පසුගිය දිනක ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත්කර තිබුනි. එය එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ගේ ශ්‍රී ලංකා ගමන අරභයා නිකුත්කරන ලද්දකි. එහි එක්තැනෙක මහින්ද රාජපක්‍ෂ විසින් මෙසේ සටහන් කරයි.”…..ආණ්ඩුව ජිනීවා යෝජනාව තුළින් ක්‍රියාත්මක කිරීමට එකගතාවයට පැමිණ තිබෙන කාරණා ගැන ජනතාවට නැවත මතක් කර දීමක් කල යුතුය. මේ යෝජනාවේ 1,4,6,7,8 සහ 12 යන ක්‍රියාන්විත ජේදවලට අනුව දෙමළ සිවිල් ජනතාව ඝාතනය කිරීම, ඔවුන්ට වද බන්ධන පැමිණවිම හා උතුරු ප්‍රදේශයේ හිතාමතාම ආහාර හිගයක් නිර්මාණය කිරීම ඇතුළු යුද අපරාධ සිදු වූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්‍යාලය විසින් නිකුත් කර තිබෙන පක්‍ෂග්‍රාහී වාර්තාව සම්පූර්ණයෙන්ම පිළිගෙන තිබෙන අතර …..” මෙකී අපරාධයන් විභාග කිරීමට යුද අධිකරණයක් පිහිටුවීමට වර්තමාන රජය එකඟ වී ඇති බවද කියා සිටී.

මෙම යුද අපරාධ චෝදනා සත්‍ය ද අසත්‍ය ද යන්න පසුව කතාකරමු. ඊට පළමුව මෙකී චෝදනා වර්තමාන රජය ”සම්පූරණයෙන්ම පිළිගෙන ඇත” යන කාරණාව විමසා බලනු වටී. මෙලෙස පැවැසීමෙන් මහින්ද ඉතා හොඳ ගොබෙල්ස්වාදියෙක් බව නැවතත් මැනවින් ඔප්පුකර ඇත​.බී.බී.සී.යත් අල් ජසීරා රූපවාහිනියත් සමඟ පසුගියදා කල සාකච්ඡාවන්හිදී සිරිසේන ජනාධිපතිවරයා කියා සිටියේ කුමක්ද​?. ”මානවහිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා මිස ආරක්‍ෂක අංශයන්ට යුද අපරාධ චෝදනාවන් එල්ල වී නොමැති බවය. ආරක්‍ෂක අංශයන්හි යම් යම් පුද්ගලයන් එසේ කර ඇද්දැයි සොයා බැලීමට උවද දේශීය අධිකරණයක් පිහිටුවන බවය”. මේ වචන මගේය​. අදහස සිරිසේන ජනාධිපතිවරයාගේය​. එනිසා සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියත් මහින්දගේ ප්‍රකාශයත් කොතරම් දුරට ගැලපෙන්නේදැයි මැනබැලීම මෙය කියවන්නාට භාර කරමි.

ඊළඟට මහින්ද පෙන්වා දෙන්නේ දෙමළ සිවිල් වැසියන් ඝාතනය කිරීම​, වධහිංසාවන්ට ලක්කිරීම හා හිතාමතාම උතුරේ ආහාර හිඟයක් නිමාණය කිරීම වැනි යුද අපරාධ චෝදනා ඔහුගේ පාලනයට එරෙහිව එල්ලකල ඇති බවයි. මහින්දට අනුව මේවා මහ කොමසාරිස් කාර්යාලය පක්‍ෂග්‍රාහීව සකසනලද ඒවාය. එනිසා යුද්දය ගජරාමෙට කරගෙන යන අවධියේදී මහින්ද හා ඔහුගේ යුදවාදී කැබිනෙට්ටුවත්, කසකරුවන් වූ ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමයත් කරන ලද අතීත ප්‍රකාශයන් මඳක් විමසා බැලිය යුතුය​. දෙමළ ජනඝාතක යුද්දයේ ආරම්භයේ සිට අවසානය දක්වාම මේ යුද නඩය එකහඩින් කියා සිටියේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දස දහසකට වඩා නොමැති බවය. ඒ බව ඔප්පු කිරීම සඳහා ඔව්හු නොයෙක් බුද්ධි අංශ වාර්තා ද ඉදිරිපත් කලෝය. එහෙත් යුද්දය අවසන් වනවිට උතුරු නැගෙණහිර පමණක් ස්වාමිපුරුෂයන් මරාදැමීම නිසා වැන්දඹු භාවයටපත් කාන්තාවෝ අසූ දහසකි. අත දරුවාගේ සිට මහල්ලා දක්වා කිසිඳු බේදයකින් තොරව මරාදමා ඇති නිරායුද දෙමළ වැසියන් ගේ ප්‍රමාණය හැත්තෑපන් දහසේ සිට එක්ලක්‍ෂ පනස් දාහක් බවට විවිධ වාර්තා උපුටා දක්වයි. එයින් යුද්දයේ අවසාන දිනයේ පමණක් හතලිස් දහසක් පමණ මරාදැමූ බවට බොහෝ සාක්‍ෂි තිබේ. ආණ්ඩුවේ ඉල්ලීම මත යුද්දයෙන් පසු හමුදාවන්ට භාරවූවන් හා ඉන්පසු ආරක්‍ෂක අංශ විසින් අත් අඩංගුවට ගන්නා ලද බොහෝ දෙනෙකුට සිදුවූ දෙයක් නැත. උතුරේ සහ දකුණේ මරාදැමූ මාධ්‍යකරුවන් ගණන හතලිස් හතරකි. ඉන් තිස් අටදෙනෙකු මහින්ද ආණ්ඩුවෙන් මරා දැමූ බවට ඕනෑවටත් වඩා සාක්‍ෂි ඇත. මේ මහින්දගේ අපරාධවලින් සුලු ප්‍රමාණයකි. දැන් මහින්ද සහ ඔහුගේ යුද නඩය කියන්නේ මේවා මහකොමසාරිස් ගේ අතේ රෝල් කියලාද?. මේ සියලු ඝාතනයන් සිදුකලේ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් ද නැතිනම් මරාදැමුනු සියල්ලෝම එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් ද?. නැතිනම් දඩමාධ්‍යවේදීන්ට අනුව මේ සියලු දෙනා ”ශීතරටවල” සැපසේ කල්ගෙවන්නේද​?.

ඊළඟ කාරණාවනම් දෙමළ පුරවැසියන්ට වධ හිංසා පැමිණිවීමයි. බී.බී සී.ලෝක සේවයේ මාධ්‍යවේදිනියක වූ ප්‍රාන්සිස් හැරිසන් විසින් මේ පිළිබඳව ඇඟ කිළිපොලා යන වාර්තාවක් ඉදිරිපත්කර තිබුනි. යුද්දය අවසන් වූ පසුවද කරනලද ලිංගික වධහිංසාවන් එකී වාර්තාවේ අඩංගුය​. මා දන්නා හඳුනන ගමේ තරුණයෙකු යුද හමුදාවට ගොස් ටික කලකින් නිවසට පැමිණි පසු නැවත රැකියාවට ගියේ නැත​. ඒ පිළිබඳව විමසූ විට ඔහු මා සමඟ පැවැසුවේ

”..අපි හැමදාම රෑට යාපනයේ සැක සහිත දෙමළ කෙල්ලො කොල්ලො අල්ලගෙන එනවා. කෙල්ලො ඉස්සෙල්ලාම ගෙනියන්නෙ ලොක්කගෙ කාමරේට අනිත් අය පාවිච්චි කරන්නෙ පස්සෙ. දවසක් මෙහෙම ගෙනාපු කෙල්ලක් එක්ක ලිංගිකව හැසිරෙන්න කියල මට කිව්වා. මම බැහැ කිව්වා. ඊට පස්සේ ලොක්කා මට කුණුහරුපයෙන් බැණ වැදිලා තර්ජනය කෙරුවම මට ඒක කරන්න වුනා. ඊට පස්සේ ඒකිව හෙලුවෙන්ම උඩුබැලි අතට තියලා බෙල්ල හරහා පොල්ලක් තියලා ඒ පොල්ලේ කෙලවරවල් දෙකේ මටත් තව එකෙකුටත් නගින්න කිව්වා. ඒකි දගල දගලා මැරෙනකම්ම ඒ දිහා බලා ඉන්න කියල අපිට අණකලා. මට මගේ අම්ම, අක්කලා මතක් වුනා. මම හමුදාවෙන් පැනල ආව​…”

කියලයි. ඔහු වැඩි දුරටත් කියා සිටියේ ප්‍රශ්ණ කිරීම් හමාර වෙද්දී ඩැමේජ් බරපතල නිසා බහුතරයක් මරාදමන බවයි.

ප්‍රශ්ණකිරීම් සඳහා අත්ඩංගුවට ගෙන මුදාහරින ලද බොහෝ තරුණයෝ විවිධ ලෙඩ රෝගවලින් පෙලෙති. කරන ලද වධහිංසා හේතුවෙන් මේවන විට ඔව්හු අන්ධ භාවයට හා කන් නොඇසීමේ තත්වයට පත්ව සිටිති. ඇතැම් තරුණයන් ගේ ගුද මාර්ගයේ විකට් පොලු, කටුකම්බි, රත්කරන ලද යකඩ කූරු යැවීම නිසා විවිධ ශරීර ආබාධවලට ගොඳුරුවී ඇත​. සිංහල,බෞද්ධ ”රණවිරුවන්” සිංහල බෞද්ධ ජ.වි.පෙ.නායකයාට සහ ඔහුගේ අනුගාමිකයන්ට කරන ලද වධහිංසා දකුණේ ප්‍රසිද්ධ රහසකි. අච්චරට මෙච්චරයිනම් මෙච්චරට කොච්චරද කියා ඇසුවාසේ සිංහල බෞද්ධයාට එලෙසනම් හින්දු දෙමළාට කොහොමදැයි සිතා ගන්නටවත් හැකිද​?. ප්‍රේමවතී මනම්පේරි 71 වධහිංසාවේ එක් සිහිවටනයක් පමණි. මේවා ගල්පැලෙන මුසාවන් ද​?.”ශීත රටවලට” යෑමට වීසා ගැනීමට හෝ වෙනත් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් ගොතන ලද කතාද​?.

මහින්ද සමරසිංහ මානව හිමිකම් ඇමැතිව සිටි අවධියේ පුදුකුඩිඉරිප්පු යුද අනාථයන්ට ආහාර යැවීම පිළිබඳව දැනුම්දෙන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුනි. එහිදී හෙතෙම හාල්, සීනි, කරවල​, පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය මෙට්ට්‍රික් ටොන් දස දහස් ගණනින් නැව් මගින් ගෙනයෑමේ සැලැස්ම හෙළිකලේය​. ඉන්පසු පැමිණි සිටි මාධ්‍යකරුවෝ විවිධ කෝණයන් ගෙන් ප්‍රශ්ණ මතුකරගනිමින් එල්.ටී.ටී.ඊ.ය අතට එකී ආහාර පත්නොවන බවට සහතික කර ගැනුනි. මා විමසා සිටියේ මෙලෙස යවනු ලබන ආහාර ද්‍රව්‍ය කීදෙනෙකුගෙන් යුත් පවුලකට කොපමණ ප්‍රමාණයක් ලැබෙන්නේද යන්නය. එවිට ඇමැතිවරයාගේත් පැමිණි සිටි නිලධාරීන්ගේත් මුහුණු කළිසමේ කක්කා දමාගත් පොඩි ළමයෙකුගේ මෙන්විය​. කෙසේ නමුත් අවසානයේ දිගින් දිගටම කරන ලද ප්‍රශ්ණකිරීම හමුවේ පස්දෙනෙකුගෙන්‍ යුත් පවුලකට රුපියල් හතළිහක් වටිනා වියළි ආහාර ප්‍රමාණයක් ලබාදෙන්නේ යැයි අමාත්‍යංශ ලේකම්වරයා පවසන ලදී. හතළිහ පහට බෙදුවාම අටයි. අඩුම තරමින් තුන්වේළට අට බෙදුනාම මොනවද කන්න වෙන්නේ මගේ ඊළඟ ක්‍ෂණික පැණය විය​. පිළිතුරු නොදීම ප්‍රවෘත්ති සාකච්ඡාව නිමාවිය​. මා දවා හළුකරන බැල්මක් පැමිණි සිටි මාධ්‍යකරුවෝ මාවෙත හෙලූහ​. එදින සියලු එෆ්.එම්.නාළිකා ඇසූවන්ට හා පසුවදා පුවත්පත්වල ශීර්ෂ පාඨ කියවූවන්ට අනේ අපිත් පුදුකුඩිඉරිප්පු සිටියානම් යැයි ලෝබ සිතක් පහලනොවුනානම් එය අටවැනි පුදුමයකි. ඇමැතිවරයා සඳහන් කලේ ඒවන විට පුදුකුඩිඉරිප්පුවල සිටින්නේ පනස්දාහකට ආසන්න පිරිසක් බවය​. ඒත් කිළිනොච්චි ප්‍රාදේශීය ලේකම්වරියගේ වාර්තා අනුව එහි සිටි පිරිස ලක්‍ෂපහ ඉක්මවයි. මෙහි අනෙක් බරපතලම ඛේදවාචකය එයයි.

බේත්හේත් හිඟකරමින්, අවශ්‍ය පරිදි කෑමබීම ලබා නොදී නිරායුධ සිවිල්ජනයා මරාදමන බවට නැගුනු විරෝධතා හමුවේ ඉංදියාව එකී සියල්ලෙන් සපිරි නැවක් උතුරට එවීමට සැලසුම් කලේය​. ඒත් ලංකාවේ සංවේදී කළහකරුවන් වූ මාලනී සෙනෙහෙලෙතා ෆොන්සේකාගේත්, ආචාර්ය රෝහණ වීරසිංහ​ගේත් නායකත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විනි. නැව නැවැතුනි. මහකොමසාරිස්වරයා සතුව මෙයට වඩා තවත් බොහෝ සාක්‍ෂි තිබෙන්නට පුලුවන. නිසිලෙස මේවා විභාගවන්නේනම් ”කාල්ටන් වලව්ව​” වැලිකඩට ගෙනීමට සිදුවනු ඇත. සිරිසේන ජනාධිපතිවරයාද මහින්දගේ යුද කැබිනෙට්ටුවේ සිටි ප්‍රධාන යුද සෙනෙවියෙකි. දේශීය අධිකරණයක් දක්වා ජනාධිපතිවරයා පසුබැස තිබෙන්නේ එනිසා විය හැක​. ජාත්‍යන්තර විනිසුරුවන් යොදා ගැනීමට කිසිඳු විටෙක බලපෑම් නොකරණ බව මහකොමසරිස් හුසේන් කුමරාද පවසා ඇත. මේවන විටත් ශිරන්ති රාජපක්‍ෂට හා මහින්ද රාජපක්‍ෂට දණ්ඩ මුක්තිය ලැබී ඇත. ශ්‍රී.ල.නි.ප. බලතුලනය අනුව අවශ්‍යනම් තවත් බොහෝ දෙනෙකුට මෙවැනි සමාවන් ලබාගත හැක. මේසා විනාශයක් උතුරේ කලහැකි වූයේ ලෝක බලවතුන් ගෙන් ලැබුනු නොමඳ සහාය නිසාවෙනි. එවැනි පසුබිමක​ මේ දේශීය අධිකරණය ඉදිරියේ සාක්‍ෂි දෙන්නන් අවසානයේ හිරේ විලංගුවේ වැටුනොත් එයද පුදුම වියයුතු නැත.

එනිසා මහින්ද කලයුත්තේ මේ සියලු දේ ප්‍රතික්ශේප කිරීම නොව ”…මගේ රට වෙනුවෙන්, මගේ ජාතිය වෙනුවෙන් මම මේව කලේ.. අපේ හාමුදුරුවනේ..මම වැරදිද… ” කියමින් අදත් පපුවට ගසා ගැනීමය​.”…ඒයි දෙමළා පුලුවන්නම් අහගෙන හිටපන්..බැරිනම් මෙතනින් පළයන්…”. ”… මම මගේ රටයි ජාතියයි වෙනුවෙන් විදුලි පුටුවට උනත් යනවා අපේ හාමුදුරුවනේ..”යැයි එදා කීවාසේ ජාතිවාදී රජෙක් ලෙසින් අභියෝග කිරීමය​. තමන් ආරම්භ කල සටන වෙනුවෙන් අවසානය තෙක් පෙනී සිටිමින් ජීවිතය පමණක් නොව සිය ​දරුපවුලත් ඒ වෙනුවෙන් පූජාකල ප්‍රභාකරන් කෙනෙකු ලෙසින් මියයෑමය​. ඔහු දෙමළ ජනතාවගේ සදාතනික වීරයා වූයේ ඒ නිසාය​. ඒ සටනේ ඉතිරි වූවන් හෝ සැකපිට අත්ඩංගුවට පත්වූවන් හෝ වසර ගණන් කල්දේරම් බත් බුදින්නාසේ, රට වෙනුවෙන් නාවික හමුදාවට ගොස් සටන්කල රෝහිත පුතුද කල්දේරම් බතට හුරුකිරීමය. ගුවනින් බෝම්බ දැමීම සාධාරණීකරනය කරමින් ”හිට්ලර් කෙනෙක් බිහිකල ජර්මන් ජනතාවත් ඒකට වන්දි ගෙව්වා සේ ප්‍රභාකරන් කෙනෙකු බිහිකල දෙමළ ජනතාවත් එහි වන්දි ගෙවිය යුතු”යැයි කියන්නට​ එදා ඩලස්ට විමල්ලාට තිබූ ධෛර්ය අදත් පවත්වා ගැනීමය. එසේ නොවුනහොත් මෙවැනි ගන්දබ්බයෙක් කුමටදැයි සිතා සිංහල බෞද්ධ ජාතිවාදීන් මහින්ද ගෙන් ඈත්වීමට ඉඩ ඇත. එවිට​ ලක්‍ෂ ගණනක් දෙමළුන් මරා දමා ලක්‍ෂ පහක දහයක සිංහල බෞද්ධයන්ගේ ජාතිවාදී ගන්දබ්බ​ රජෙක් ලෙසින් මිය යන්නට මහින්දට සිදුවනු ඇත. මහින්දගේ සඟ තගයා වූ ඥානසාරද හිරේ දාපල්ලා කියා අභියෝගකර රිමාන්ඩ් කල මොහොතේ සිට කරන්නේ ඇප ඉල්ලීමය​.

මහින්ද බියවිය යුතු නැත​. හෙන්‍ රි කල්දේරා කීවාක් මෙන් සතුටු ගඟේ කිමිදෙනවා මිස මේ කිසිවෙකු කදුළු ගඟේ පතුළ විමසන්නේ නැත.

Kottigodaඥානසිරි කොත්තිගොඩ | Gnanasiri Koththigoda