මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අම්පාරේ සිට කළ බ්‍රසියරයක් ගැන කතාව ලන්ඩනයේ පුවත් මැවීම දක්වා දිග්ගැස්සෙන විට සමහරු කිවේ මේ රටේ මිනිස්සුන්ට කතා කරන්න මීට වඩා වැදගත් ප්‍රශ්ණ නැද්ද කියා යි. එම සිදුවීමේ උණුසුමේදී අපට හරියට අහු උන් නැති බොහෝ දේවල් දෙස දැන් අපට සිහිකල්පනා වෙන් බැලිය හැකියි. අප කතා කරන්නේ බ්‍රසියරයක් ගැන නොව ඊට ප්‍රතිචාර දැක්වීමට ගොස් ජනාධිපතිවරයා විදහා දැක්වූ, ඔහු නියෝජනය කරන්නා වූ මේ රටේ සිංහල ජන පාර්ශ්වයක සංස්කෘතික ආධිපත්‍යය යි, ඔවුන්ගේ සදාචාරය පිළිබඳ අනිකාට එරෙහි දේශපාලනය යි. ඉන් ද නොනැවතුනු ජනාධිපති තමාගේ මේ මතය දේශපාලනිකව තදින් ක්‍රියාත්මක කරන බව පසුව තවත් අවධාරණය කළ බැවින් මෙය හුදු තනපටයක් ගැන මෝඩයකුගේ වාචාල කතාවක් නොව රටේ නායකයාගේ සහයෝගය ලබන එක්තරා ජන කොටසකගේ සංස්කෘතික හෙජමනියේ කතාව යි. මේ ගැන කතා කිරීමට ඇත්තටම කාන්තාවක් තනපටයක් විසිකළා ද නැද්ද යන්නවත් අපට අදාළ නැත. අපට වැදගත් එක් සංස්කෘතියක නිදහසට එරෙහි ජනාධිපති හා ඔහුගේ පාර්ශ්වයේ උද්දච්ච, ප්‍රචණ්ඩ ප්‍රතිචාරය යි. අවසානයේ එය සියලු ස්ත්‍රීවාදී හා සභ්‍ය අසභ්‍ය සීමාවන් ආවරණය කරමින් ගොස් අපගේ සංස්කෘතික විමුක්තිය (Cultural Liberation) පිළිබඳ පොදු කතාව බවට පත්වෙයි. දැන් අපි මෙම සංසිද්ධිය වඩාත් පුළුල් කැන්වසයක් තුළට ගෙනියන්න උත්සහ කරමු.

සෙක්ස් ඇන්ඩ් ලව් පොප් ප්‍රසංගය තුළ තන පටයක් වීසි කිරීමේ සිද්ධිය වූයේ, පංතිමය වශයෙන් කියන්නේ නම් ශ්‍රී ලංකාවේ කොළඹ කේන්ද්‍රීය, මූලික වශයෙන් ඉංග්‍රීසි කතා කරන ඉහළ මධ්‍යම පංතිය හා ඉන් ඉහළ පිරිසගේ සංස්කෘතික අවකාශය තුළ යි. එය ඉදිරිපත් කළේ ද, වයින්, බියර් සහ ෂැම්පෙන් සමඟ ආරම්භ කර ප්‍රසංගයෙන් පසු හිල්ටන් හෝටලයේ පූල්සයිඩ්බාර් එකට යාමට පහසුකම් ආදිය ද ඉහල ප්‍රවේශපත්‍රවලටම ඇතුළත්‍ කළ, සාමාන්‍යයෙන් ඉංග්‍රීසි සංස්කෘතියේ බොහෝ ප්‍රසං‍ගවල ආකෘතියට ය. එහෙත් එය වාණිජ පරමාර්ථයෙන් කල විවෘත ප්‍රසංගයක් බැවින් විශාල ප්‍රමාණයක් සිංහල හා අනිකුත් පිරිස් ද බොහෝවිට පහල ප්‍රවේශපත්‍ර යටතේ දැක ගත හැකි විය. කෙසේ හෝ ඉංග්‍රීසි පොප් අංගයක් ලෙසට මෙය ජනාධිපති පෙනී සිටින ‘සිංහල බෞද්ධ‘ සංස්කෘතියට නොව සම්ප්‍රධායෙන් ඊට ප්‍රථිපක්ෂ ඉංග්‍රීසි සංස්කෘතියට ආවේනික අංගයක් බව පැහැදිලිය.

මේ ඉංග්‍රීසි පංතියේ ද විවිධ ප්‍රවණතා හා සංකීර්ණතා රැසක් ඇති මුත් අපගේ මේ සාකච්ඡාවට හුදු පහසුව තකා ‘ඉංග්‍රීසි සංස්කෘතිය‘ නමින් අදාල කරගන්නේ සම්භවය කුමක් හෝ වේවා සිංහල සදාචාරයට හාත්පසින් වෙනස් බටහිර සදාචාරයට වඩාත් නැඹුරුවූ අන්තයයි. ඊට අමතරව සිංහල හා අනිකුත් සම්භවයන් ඇති, මූලික වශයෙන් ඉංග්‍රීසි කතාකරන නමුත් විවිධ හේතු නිසා ඉංග්‍රීසි සදාචාරය මුලුමනින්ම අභ්‍යාස නොකරන, එහෙත් අර සම්පූර්ණ ඉංග්‍රීසි සදාචාරය කරා යන මාවතේ විවිධාකාර මට්ටම් හා පරිවර්තනයන් යටතේ ඒ දෙසට ඇදී යමින් පවතින පිරිස් ඇත. මෙම ඉංග්‍රීසි පංතියට සදාචාරයෙන්ම උදාහරණ දෙන්නේනම්: යුරෝ-බටහිර මෙන් සාමාන්‍යයෙන් ආචාරය සඳහා සිප වැලඳ ගැනීම(Hug & kiss), පරිමියා සේම කාන්තාවන්ගේ සම්පූර්ණ ස්වාධීනත්වය, දෙමාපියන් දැනුවත්ව ලිවිංටුගෙදර් ඉඳීම, ගෑනු පිරිමි සහ වැඩිහිටි තරුණ ළමා අතර ලිංගික බේදය අල්ප වීම ආදිය පෙන්වා දිය හැකිය. ඊට අමතරව තවත් සමරිසි ආදී විවිධ ලිංගික සම්බන්ධතා පිලිගැනීම ආදිය ද සාමාන්‍ය වූ සමාජයයි. බ්‍රසියර් වීසි කිරීමට තරමක් සමාන යැයි කිවහැකි කැබරේ ස්ට්‍රිප් ඩානස්(ඇඳුම් උනා දමමින් නැටීම) ආදිය ද සාමාන්‍යෙයන් මෙම පංතියට සාමාන්‍ය සිද්ධියක් වන අතර සමහරවිට එවැන්නක් පවුල් පිටින් නරඹන අවස්ථාද ඇත. මේකී පංතිය ශ්‍රී ලංකාවේ වුව ද බොහෝ කාලයක සිට ජීවත් වන්නේ වෙනම රටක මෙන් ය. හේතුව භාෂාව ඇතුලු සංස්කෘතික හා සමාජ වෙනස ය. ඔවුන් ඉහත සංස්කෘතික ඇවතුම් පැවතුම් බොහෝ කාලයකට සිට එම අවකාශය තුළ අභ්‍යාස කරමින් සිටින්නේ ය. මේ පිරිස එහෙන් මෙහෙන් ‘සිංහල රස’ අතපත ගෑව ද අවසානයේ එය බාබරා සැන්සෝනි ගේ සිට ඔටාරා ගුණවර්ධන දක්වා විවිධ වෙනසaකම් සහිත බටහිර ඉංග්‍රීසි සංස්කෘතියේම ශ්‍රී ලංකාවට ආවේනික ඉංග්‍රීසි සංස්කෘතිය වේ.(‘ඕනෑම සම්බන්ධයක් ශක්තිමත් හා සාර්ථක වීමට නම්, එකිනෙකා ඔවුන්ගේ පුද්ගලික අවකාශයට ගරු කල යුතුයි’ යනුවෙන් ඔටාරා මේ මෑතකදී ෆේස්බුක් එකට කල ප්‍රකාශය පූර්ණ ස්‍ත්‍රී නිදහස හා සංස්කෘතික නිදහස පිලිගත් බටහිර ලිබරල් ප්‍රකාශයක් විනා සාමාන්‍යෙයන් පෙරදිගට ආවේනික මානාව සම්බන්ධයකින් සොයගත හැකි ප්‍රකාශයක් නොවේ.) මෙසේ මෙම ඉංග්‍රීසි සංස්කෘතිය ශ්‍රී ලංකාවේ දෙමළ මුස්ලිම් ආදී අනිකුත් ජනතාවට සමපාතව නිල වශයෙන් පැවැත්ම පිළිඅරගෙන ඇති ඉංග්‍රීසි ජනතාවගේ සංස්කෘතිය යි. ‍‍මේ වූකලී කිසිසේත් ජනාධිපති තමන්ගේ පාර්ශ්වය හඳුන්වන ඔහුගේ ‘අපේකම’ ඇති ‘සිංහල බෞද්ධ’ සංස්කෘතිය නම් නොවේ. අවසානයේ ඒ කා අතින් සිදුවුවද අර සංගීත ප්‍රසංගය තුල සිදුවු ක්‍රියාකාරකම් සියල්ලම මෙන් වැටෙන්නේ මෙම ඉංග්‍රීසි සංස්කෘතියෙන් ජාතික හෝ අවජාතක උන තත්වයන්ටය.

දැන් බ්‍රසියර් සිද්ධියට විරෝධය පෑ ජනාධිපති ද ඇතුළත් අනෙක් සංස්කෘතිය නම් පොදුවේ ගත් කල ආර්ථික වශයෙන් මධ්‍යම පංතියෙන් පහළ, සිංහල කතා කරන, රටේ බහුතර කොටසයි. එම කොටස තුළ ද විවිධ ප්‍රවණතා සහ සංකීර්ණතා රැසක් ද ‘සිංහල සංස්කෘතිය’ නිර්වචනය කරගැනීමේ සංකීර්ණතා ද ඇති මුත් මූලික වශයෙන් ජන්ම සහ භාවිත භාෂාව හා නිශ්චිත පොදු සිරිත් විරිත් ආදියත් විශේෂයෙන් ඉහත කී ඉංග්‍රීසි සංස්කෘතියට පටහැනි සදාචාරයත් සැලකිල්ලට ගෙන අපි පහසුව තකා ඔවුන් පොදුවේ ‘සිංහල සංස්කෘතිය’ යැයි දැනට නම් කරමු. මෙම සංස්කෘතිය ගැන දීර්ඝ විස්තරයක් අවශ්‍ය නැත. ඉහත ඉංග්‍රීසි සංස්කෘතිය දෙස බලන කල ඔවුන් මුලළුමනින් ම එහි අනෙක් පාර්ශවය මෙනි, එම ඉංග්‍රීසි සංස්කෘතියේ බහුතරයක් සදාචාරමය ඇගයීම් සිංහල පාර්ශවයේ ඇගයීම් නොවේ. එහෙත් මේ සිංහල සංස්කෘතිය ඇඳුමෙන් පැලඳුමෙන් සහ අධ්‍යාපනය ඇතුළු අති විශාල ප්‍රමාණයක් අංග බටහිර වූ එමෙන්ම සදාචාරය සම්බන්ධයෙන් පැරණි යුරෝ-බටහිර වික්ටෝරියානු මිණුම් දඬු ද භාවිතා කරන පිරිසකි. මේ පිරිස යටත්විජිතකරණයෙන් පසු අනන්‍යතා අර්බුදයකට ගොස් තමන්ගේ අක්මුල් කොහේදැයි සොයාගන්නට තවමත් අරගල කරන පරිසකි. එසෙම සිංහල සමාජය යනු වාණිජකරණයට ලක්වූ තරමට නූතනකරණයකට ලක්නොවූ, ඉතිහාසයේ පිටුපසට යනවිට හමුවන පැරණි ‘සිංහල දේවල්’ අලුත් දේවල්වලට වඩා උසස් කියා විශ්වාස කරන, දහම් පාසල් හා පන්සල් හරහා ළමයින්ට හැකිතරම් එවැනි දේවල් උගන්වා ඔවුන්ව යහමගට ගන්නට හැකියැයි බොහෝ කලක සිට විශ්වාස කරමින් සිටිනා පිරිසකි. සදාචාරය ද ඊට ඇතුළත්ය. කූට දේශපාලකයන් තම පැවැත්ම උදෙසා සංඝ්‍යා සහ අධ්‍යාපනය පවා පාවිචිචි කරමින් අපි ‘සිංහල බෞද්ධ’, ‘අපේකම තියාගන්න ඕනෑ’ කියා මොවුන්ව එක දිගට එම සිටිනා ස්ථානයේ ම තබාගෙන, තමන්ගේ දරුවන්ව ඊට හාත්පසින් වෙනස් පෙර සඳහන් කළ ඉංග්‍රීසි සමාජයට යොමු කළේය.

ප්‍රස්තුත සංස්කෘතික අංගය වූ කලී ඉංග්‍රීසි සංස්කෘතියට ආවේණික නූතන පොප් සංගීත ප්‍රසංගයකි. අසුන්ගතව සාවධානව රසවිඳිමේ සිට ‘උම්මාදව’ නැටීම දක්වා සංගීත ප්‍රසංග රස විඳින ක්‍රම ගණනාවක් ඇත. ඒවා ක්ලබ් අවකාශයේ සිට රඟහල් හරහා එළිමහන් දිවා ප්‍රසංග දක්වා සංකීර්ණ පරාසයක විහිදී ඇත. එන්රික්ගේ මෙම ප්‍රසංගය වඩාත් සමීප වන්නේ ගායකයා හරහා ‘උම්මාදයට’(Ecstatic) පත්වීමේ සම්ප්‍රදායට යි. මෙහි උපරිම අවස්ථාවල රසිකයන් මොහොතකට සිහිසුන් වන අවස්ථා ද ඇති අතර මයිකල් ජැක්සන් වැන්නන් මෙය කිසියම් කූටප්‍රාප්තියකට රැගෙන ගියේ ය. මෙම පොප් ගීත රසිකයා තුළ ලිංගික උත්තේජනයක් ඇති කරන රිද්ම ඇතුළු අභිචාරි ලක්ෂවලින් සමන්විත වන අතර මෙසේ උම්මාදයෙන් නැටිමේ අර්ථය නම් ඒ හරහා ශරීරය සහ මනස කිසියම් උපරිම උත්තේජනයකට ලක්කර අභ්‍යන්තරය කිසියම් කැතාසීසයකට ලක්කිරීමයි. සරලව කියන්නේනම් ආවේගයන් පිටකර සහනයකට(Relief) පත්වීමයි. හොඳ පොප් අංගයකට එය කළ හැකිය. සත්‍යය වශයෙන් ම තොවිල් සහ ‘ජේසු ජිවමානයි’ බඳු සමහර අභිචාරී ආගමික ප්‍රසංගවල ද සිදුවන්නේ මීට යම් සමාන තත්ත්වයකි. අභිචාරී ආගමික ප්‍රසංගවල ද ආතුරයා කිසියම් ‘ආවේශයකට’ පත්වී ඇඳුම් ගැලවීමේ සිටි විවිධ විකාර ප්‍රතිචාර දැක්විය හැකි අතර එය එම ප්‍රසංගයේ සාර්ථකත්වයක් ලෙස සලකයි. පොප් ප්‍රසංගවල ගායකායා ද ඇඳුම් තොප්පි ආදිය ගලවා ප්‍රේක්ෂකයා වෙත වීසි කිරීමට ඉඩ ඇත. මෙසේ එක්තරා බටහිර පොප් සංගීත ප්‍රවණතාවක විවිධ මට්ටම්වල දී ‘ආවේශ’ වූ කොටස් දක්වන විවිධ ප්‍රතිචාර ලෙස ඇඳුම් ගලවා විසි කිරීමෙන් මතුව ඇවිත් පසුව සමහර සංවිධායකවරු සාර්ථකත්වය පෙන්වන්නට සංඛේතාත්මකව වීසි කිරීම දක්වා වර්ධනය වූ මෙම බ්‍රසියර් වීසි කිරීම ද එම ප්‍රසංග මොහොතට පමණක් ආවේණික කිසියම් ‘විකාර’ සංස්කෘතික අංගයක් පමණි.

ඉංග්‍රීසි සංස්කෘතියේ උක්ත ප්‍රසංගය ද අපි සැලකිය යුත්තේ නීතියට යටත්ව පවත්වන මේ රටේ දෙමළ, සිංහල, ආදිවාසී ආදී අනිකුත් සියලු ජනකොටස්වලට ආවේණික සම්ප්‍රදායික හෝ අසම්ප්‍රදායික සංස්කෘතික අංග හා සමපාතව යි. ලොව සෑම සංස්කෘතියක ම මෙන් තවත් සංස්කෘතියකට අජූවක්(Odd) දැනෙන දේ ඇති අතර ඊට කලහැකි දෙයක් නැත. ඉතිහාසයේ එක්තරා අවස්ථවක ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සංස්කෘතියේ සදාචාරයත් සිංහල සංස්කෘතියේ සදාචාරයත් බොහෝ සෙයින් එක හා සමානව තිබුණි. ඒ වූකලි වික්ටෝරියානු සදාචාරය ලෙස හඳුන්වන යටත්විජිත වකවානුව තුල වර්ධනය වූ සදාචාරයයි. ඒවා අතර, සමාජශීලීවන අවස්ථාවල ගැහැණුන් පිරිමින් සේ ම හැසිරෙන එක වැරදියි, යට ඇඳුම් යනු නොපෙන්විය යුතු විශේෂ අසභ්‍ය ගූඪ ඇඳුම් වර්ගයකි, ලිංගිකත්වයට ප්‍රසිද්ධියේ විවෘත වීම අසභ්‍යයි, සියලු ම දෙනා රටේ ප්‍රධාන සංස්කෘතියේ මිණුම්දඬුවලට අනූව හෝ යටත්ව ජීවත් විය යුතුයි, විනෝදවීමේ ප්‍රසංග විවිධ වයස අයට වෙන වෙනම නොව ‘පවුලේ සියලු ම දෙනාට ගැළපිය යුතුය’ ආදිය උදාහරණයි. මේ සියල්ල කිසිසේත් සිංහල හෝ වික්ටෝරියානු ඉංග්‍රීසියට පමණක් විශේෂ නැති විවිධ සංධර්භීය සුවිශේෂතාවලට හා සමහර වෙනස්කම් වලට යටත්ව ලොව පුරා පැවති එක්තරා පැරණි යුගයක සදාචාරය යි. නමුත් මිනිසා වානරයා හරහා ආ ගමනේ දී සංස්කෘතිකව හා සමාජමය වශයෙන් ද පරිණාමය විය; පරිණත විය. අලුත් මිනිස් අයිතිවාසිකම් හඳුනාගත්තේ ය. ඒවා සමඟ නව සදාචාර විධි ද ඇති විය. සභ්‍යත්වය හා අනිකාගේ සදාචාරය ගැන පැරණි ගෝත්‍රික භිය නැතිවිය. එකම අවකාශයක ඇති සංස්කාතික හා සදාචාර විවිධත්වයට ගරුකරන හැටි හා ඉන් එකිනෙකාගේ රුචි අරුචිකම් වලට හානියක් නොවන හැටි ඉගනගන්නා ලදි. එහෙත් එයාකාරයෙන් සමකාලීන දියුණු මානව අයිතිවාසිකම් හඳුනාගනිමින් අභ්‍යාස කරමින් සිංහල සංස්කෘතිය ඒ පැරණි ලෝකයෙන් අලුත් ලෝකයට විධිමත්ව පරාවර්තනය වූයේ නැත. එහෙත් භාෂාව ඉංග්‍රීසි වීම නිසාත්, ආර්ථික බලය නිසාත්, වරප්‍රසාදිත පංතියක් වීම නිසාත් මේ ඉංග්‍රීසි සංස්කෘතියට ලෝකයේ සිදුවන විපර්යාස සමඟ සමීපව අසුරුකරමින් ඒ සමඟ පරිවර්තනය වන්නට අවස්ථාව ලැබුණු අතර එබැවින් ඔවුන්ගේ බොහෝ ඇවතුම් පැවතුම් සදාචාර ඇතුළු ජීවිතය ස්ථානගත කළ හැක්කේ පැරණි ලෝකය තුළ නොව නූතන- සමකාලීන ලෝකය තුළ ය. හරි හෝ වැරදි ඔවුන් ‘ශිෂ්ටත්වය’ යුක්ති යුක්තභාවය ආදිය ඉගෙන ගන්නේ අපේ පාර්ලිමේ‍න්තුවෙන් හෝ වෙනත් දේශීය සම්ප්‍රදායකින් හෝ දහම් පාසලකින් නොව ඔවුන්ගේ සංස්කෘතික අගනගරය වූ ‘ලන්ඩනයෙන්’ ය.

බොහෝ ලිංගිකත්වය සම්බන්ධයෙන් වැඩුණ(Matured) සංස්කෘතිවල විශ්වාසය වන නිරුවත් හා ලිංගික ක්‍රියාකාරකම් දැකීමෙන් තමන්ට හානියක් වන්නේ නැත යන විශ්වාසය ඉංග්‍රීසි සංස්කෘතියට ඇත. සිංහල සංස්කෘතියට නැත. (හුදු නිරුවත් හා ලිංගික ක්‍රියාකාරකම් දැකීමෙන් මිනිසාට හානියක් වන බවට කිසිඳු තැනකින් මෙතෙක් තහවුරු වී නැත. එයින් කෙනකුගේ සදාචාරය පිළිබඳ ආකල්ප ආදිය නම් වෙනස් විය හැකිය. ඒ සමඟම නාගරික ඉංග්‍රීසි පිරිස් වැඩියෙන් ජීවත්වන ප්‍රදේශවලට වඩා නාගරික නොවූ සිංහල පිරිස් වැඩියෙන් ජීවත් වන ප්‍රදේශවල ස්ත්‍රී හා ළමා අපචාර වැඩියෙන් වාර්තා වන්නේ ඇයි යන්න ද අපගේ අවධානයට ලක්විය යුතුයි.) මෙසේ ලිංගික ක්‍රියාකාරකම් හා ප්‍රතිවිරුද්ධ සදාචාරයන් දැකීමෙන් කාටවත් හානියක් නොවන විශ්වාසය ඇති වීමට හා එවැනි සිදුවීමක් කලබලනොවී හසුරුවා ගැනීමට තරම් සිංහල සංස්කෘතිය තවමත් පරිණත(Mature) වී නැත; ඒ සඳහා වැඩී මුහුකුරාගොස් නැත. එහෙත් ගැහැනියගේ කන්‍යාභාවය, ඇඳුම් හා ඇය පිරිමියාට සමවීම ආදිය සම්බන්ධයෙන් සිංහල සංස්කෘතියේ අදහස් පසුගිය කාලය තුළ සෙමෙන් නමුත් පරිණතවෙමින් ඇත. දැනට එය කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණි. එබැවින් තරුණ තරුණියන් බීමතින් රඟන ස්ථානයක තරුණියක් බ්‍රසියරයක් ගලවා වේදිකාවට වීසි කිරීම ඉංග්‍රීසි සංස්කෘතිය තුළ තුට්ටුවකට මායිම් නොකරන, හරියට හද්දා පිටිසර ගමක කවටයෙක් අමුඩය ගලවා නාඩගමකට දමා ගැසීම වැනි විහිළු විකාර වැඩක් පමණි. අවශ්‍යනම් මුළු ඇඳුම ම ගලවා වීසි කළ ද වීසි කළ කෙනාට අපහසුවක් නැත්නම් ඉන් කාටවත් හානියක් නොවන බව එවන් සමාජවල සාමාන්‍ය විශ්වාසයයි.

ජනාධිපතිගේ කතාව ද බ්‍රසියරයේ සිදුවීම ද දැන් අපට යම් පැහැදිලි ලක්ෂ්‍යයක ස්තානගත කළ හැකියි. මෙම අවුල හටගන්නේ ඉංග්‍රීසි සංස්කෘතිය ඔවුන්ට ආවේණික සංස්කෘතික ක්‍රියාකාරකමක් රටේ නීතියට යටත්ව, තම මුදල් ගෙවා එය භුක්ති විඳීමට ගිය මොහොතක ය. (ජාතික උත්සවයක් තුළ නොවේ) එම සංස්කෘතික ක්‍රියාකාරකමට ආවේණික එක් අංගයකට එරෙහිව විරෝධය මතුවන්නේ ඊට හාත්පසින් වෙනත් සදාචාරයක් ඇති සිංහල සංස්කෘතියක පිරිසක් විසින් එම ඉංග්‍රීසි සංස්කෘතියේ අංගය තමන්ගේ සිංහල සංස්කෘතියට නොගැළපෙතැයි කියමිනි. අර විරෝධය දක්වන්නා වූ සිංහල කණ්ඩායමට ජනාධිපති නායකත්වය දෙන අතර ඔහු ඉන් නොනැවතී අර පිරිසට මඩුවල්ගයෙන් ද තැළීමට යෝජනා කරමින් තම රටේම එක් සංස්කෘතියක් අනිත් සංස්කෘතියට එරෙහිව බලය මුදවා හැරීමට පොලඹවයි. ප්‍රශ්නයේ බරපතළකම දැන් ඔබට වැටහී යා යුතුය.

ඒ අනූව සිදුවී ඇත්තේ එක් සංස්කෘතිකයක අංගයක් තවත් සංස්කෘතියක සදාචාරයෙන් විනිශ්චයට ලක්කිරීම ය. මෙම අනිකාගේ වෙනස් සංස්කෘතියට ඉංග්‍රීසි, දෙමළ ආදි සම්මත අනන්‍යතානයක් තිබිය යුතුම නැත. එය හුදෙක් පුදගලයකුගේ හෝ කීප දෙනෙකුගේ රුචි අරුචිකම් හො උප සංස්කෘතික තත්වයක් විය හැකිය. කෙසේ හෝ කෙතරම් වැරදියට සමහර සිංහල පිරිස් එය තම සංස්කෘතිය හා සංසන්දනය කර තිබුණාදැයි කියන්නේනම් ‘ඒ තනපටය වීසි කළ තරුණිය ඔබේ මව, නංගි හෝ බිරිඳ වූවා නම් ඔබ කැමති ද?’ වැනි ප්‍රශ්ණ පවා ඇසූහ. සත්‍යය වශයෙන්ම ඔබේ මව නංගි හෝ බිරිඳ ඔවුන් අභ්‍යාස නොකරන වෙනත් සංස්කෘතික අංගයකට යොමුකර සසඳන්නේ ඇයි? අර බ්‍රසියරය වීසි කළ කාන්තාවට අදාළ ස්ථානයේ දී අදාළ නිදහස ලැබෙන්නේත්, ඇගේ දෙමාපියන්ට හෝ පිරිමියාට එය ප්‍රශ්ණයක් නොවන්නේත්, එම සමාජයේ ක්‍රමික ඓතිහාසික විකාශනයක සන්දර්භයට ඇති ඔවුන්ටම ආවේනික වූ සදාචාරයකට අනූවයි. එකගෙයි කෑම බඳු සිංහල සම්ප්‍රදායක් තුලද ‘මගේ වයිෆ් එක්ක මගේ මල්ලිලත් බුදියගත්තොත්…?’ කියා කල්පනා කිරීම අතිශය අමනෝඥඥ ය. එය ද සිදුවන්නේ ක්‍රමිකව විකාශනය වී ආ කතාවක් ඇති වෙනත් සංස්කෘතික සන්දර්භයක ය. දෙමළ හා මුස්ලිම් සංස්කෘතිවල ද මේ ආකාරයේ ම සිංහල කාන්තාවන්ට අපහසු දේ තිබිය හැකිය. නමුත් ඔබට ඒ තනපටය වීසි කළ කාන්තාවගේ නිදහස හෝ පොදුවේ සංස්කෘතික නිදහස වෙනුවෙන් කතා කිරීමට ඔබේ මව, නැගණිය හෝ බිරිඳ ද තනපට වීසි කළ යුතු නැත; ඔවුන් ද ඇඳුම් ගලවා පෙන්විය යුතු නැත.

එය පටු අවබෝධයකි.

සංස්කෘතික නිදහස යනු සියලුම දෙනාට ඇඳුම් නැතිව ඉන්නට ඇති නිදහස නොව කැමති කෙනෙකුට කැමති ලෙස ඉන්නට ඇති නිදහසයි. ඉංග්‍රීසි සමාජයේ වුව ද සියලුම දෙනා තැන නොතැන නොබලා බ්‍රසියර් වීසි කරන්නේ නැත. ඉතින් ඔබේ ගැහැණුන්ට ද එයාකාරයේ තනපට වීසි කිරීමට සිදුවෙතැයි බිය විය යුතු නැත. ඔවුන්ට ඔවුන් පහසු විදියකට ඔවුන්ගේ පාඩුවේ ඉන්න ඉඩ හරින්න. තනපටය වීසි කළ අර කෙල්ලටද රෙදි ඇතිව හෝ නැතිව ඇගේ පාඩුවේ ඉන්න ඉඩ හරින්න.

ඔබත් ඔබේ වැඩක් බලාගන්න!


ධනංජය කරුණාරත්න
| Dhananjaya Karunarathne