Image by: Sameera Hettiarachchi

ධනංජය කරුණාරත්නගේ ඩබල්ගේම්කාරයෝ නම් නාට්‍ය්‍යයේ එන ආත්මකතනයයි මේ.. නාට්‍ය මුල් වරට 2014 පෙබරවාරි 01 දින සවස 6.30 ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී රංගගත කෙරිණි. රංගනය මයුර පෙරේරා සහ කලන ගුණසේකර.

කතාසාරය : රාජ්‍ය විරෝධී තේමාවක් ඇති නාට්‍යක් පෙර දින පුහුණවීම් කරමින් සිටිනවිට එල්ලවන මැර ප්‍රාහාරයක් හේතුවෙන් නළු නිළියන් සීසීකට දුවන විට ඉන් දෙදෙනෙක්, ආරි හා මාලන් මැරයින් තාමත් ලුහුබඳිනවිට, ලයනල් වෙඩ්ට් රඟහල වේදිකාව වෙත දුවගෙන එයි. ඔවුන් තමන්ට වෙච්චදේ ප්‍රේක්ශකයින්ට කර පෙන්වයි. පසුව ඔවුන්ට දැනගන්නට ලැබෙන්නේ අනිත් මිතුරන් සියල්ල ඒ වනවිට (රජයේ)මැරයින්ගේ පැත්තට එකතුවී මැරයින්ගේ අනුග්‍රහය යටතේ අලුත් නාට්‍යයක් ආරම්භ කරන්න යන බවයි. මිතුරන්ගේ පාවාදීමට එරෙහිව දැඩි විවේචනයක යෙදදෙන ඔවුන් දෙදෙනාව දෙවන අංගයේදී අපට දකින්නට ලැබෙන්නේ මැරයින් උස්සන් ගොස් කිසියම් අභිරහස් කාමරයක දමා ඇති බවයි. දැන් ඔවුන් ඉදිරියේ ද ඇත්තේ මැරයින්ට එකතුවෙනව ද මැරෙනව ද යන තීරණ දෙකයි. එම මුළු අවසාන ජවනිකාව මාලන් නම් ඉන් එක් චරිතයක් කරන ආතම්කතනයකි. මේ එම සම්පුර්ණ ආත්ම කතනයයි.

(ආලෝකය පතිත වන විට මාලන් සහ ආරී කිසියම් අභිරහස් කාමරයක වෙහෙසට පත් ඉරියවු සහිතව බිම වැටී සිටියි. දිගු නිහඬතාවයක් ගෙවෙයි. මාලන්ගේ ආත්මකතනය ගලායත්ම ඊට සමපාතව ප්‍රේක්ෂකාගාරයද ඉතා සෙමෙන් ආලෝකමත් වන්නට පටන්ගනී.)

මාලන්-මුං අපිව මරයිද මචං? අපිට ඕනම දෙයක් වෙන්ඩ පුලුවන්. මට නිකං දැනෙන්නේ මරයි කියලා. මේ විදියට අල්ල ගත්ත ආපහු ආපු නැති උන් ගැන මම දන්නවා. රිචඩ් ද සොයිසා , ප්‍රගීත් එක්නැලිගොඩලා කවදාවත් ආපහු ආවද?. අපිව මරන්නැත්නම් උන් මුණවල් වහගෙන අපිව මෙතන්ට අරගෙන එන්නේ. ඒත් අපිව ගෙනාවේ උන් මූනවල් වහගෙන නෙමේ. ගොඩාක් දුරට අපිව මරණවා.(විරාමයක්). උඹට එන්නැද්ද නිකං වේලිච්ච ලේ ගඳක් එක්ක හුජ්ජ ගඳක්.(විරාමයක්). මේ රටට මේක බොහොම සරල මරණයක් වේවි. සරලම සරල මරණයක්. නිකං මැස්සන් දෙන්නෙක් මැරිලා ගියා වගේ තියෙයි.(විරාමයක්) මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් පළවැනි ළමයා හම්බවෙන්ඩ. උඹත් ළඟදි නේද බැන්දේ? උඹේ පොඩි එකාටනම් දැන් අවුරුද්දක් විතර ඇති මයෙ හිතේ? (විරාමයක්) අපි මහ ජරාම ජරා, ජරා, ජරා තැනකට කොටු උනේ. අපිට උනේ මොකක්ද කියන එකවත් හරියට දන්න එකෙක් එලියෙ නෑ. මහ මෝඩම මෝඩ වැඩක් මේ මඟුල් නාට්‍යයේ රඟ පාන්ඩ ගිය එක. මං හැමදාම දේවල් තේරුම් ගන්නකොට හොඳටම පරක්කු වෙලා. මේවා මචං මේ හදන්ඩ පුලුවන් රටවල්ද? ඒකනේ මචං ඒක දන්න හැම එකාම මේක අත් ඇරලා දාලා තියෙන්නේ. මේවා මචං අත් ඇර දාපු සමාජවල්. අත්ඇර දාල ඒ අත් ඇර දාපු කුණේ එක එකා කෑලි කෑලි කඩාගෙන කන කාලකන්නි මොහොතක මේ අපි ඉන්නේ. සමහර විට අපි හිතනවට වඩා ගොඩාක් කාලයකට කලින් කට්ටිය මේක අත් ඇරලා දාලා තියෙන්නෙ…ඒත නෑ වගේ ඉන්නවා. මේකෙ දැන්මොනවද මචං ඉතුරුවෙලා තියෙන්නේ? මේවා හදන්ඩ යන හැම එකාටම කෙලවෙන එක විතරයි වෙන්නේ. ඒ කෙලවෙන එක දිහා බලලත් ආතල් ගන්ඩ පුරුදුවෙලා තියන නරුමම මජරම කාලකන්නි තැනකට අපි ඇවිල්ලා තියෙන්නෙ. චා….චා…. හරි මෝඩ වැඩක් අපි කරගත්තේ. (දිගු විරාමයක්) මට මතකයි අපි ඉස්කොලේ හොස්ටල් එකේ ඉද්දි කොල්ලෝ මොනවා හරි කරලා වොඞ්න්ට අහුවුනම, කවුද කලේ කියලා අහනකොට අපි කරපු එකා පාවලා දෙන්නැතිව ඒ වෙනුවට ඌ වෙනුවෙන් ඔක්කමලා ගුටි කනවා. අපිට පතුරු යනකං ගහනවා. කරපු එකත් මේ අපිත් එක්ක ඉඳන් ගුටි කනවා. ඒත් එකෙක් ඌව පාවලා දෙන්නෑ. ඒ කාලේ මාර ස්පිරිට් එකක් තිබ්බා අපි ළඟ. අපි පුදුම රහස් යාලුවො එක්ක බෙදා ගත්තා. මං කියන්නේ රොමැන්ටික් කතාවක් නෙමේ. ඇත්තම කතාවක්. මං අහන්නේ, මං අහන්නේ ඒ හිටිය එවුන් කෝ? (ඇඬෙන්න එයි). ඒ හිටිය එවුන් කෝ? උන් කෝ? උන් කෝ? උන්ට මොකද උනේ (ඉකි ගැසීමකට ආසන්නව මෙන්) ඇයි උන් අපිට කවදාවත් ආපහු හම්බ වුනේ නැත්තේ? (දිගු නිහඬතාවයක්). උඹට ඇහෙනවද මම කියනදේ? කතාකරහං. අර අපේ නාට්‍ය කන්ඩායමේ හිටිය මුදිත කියන පරයට ලස්සනට සින්දු කියන්න පුලුවන්. ඌට ගහපු මැරයින්ගෙම සල්ලිවලින් ඌ හෙට ගහයි සී ඩී එකක්. ඒක නැගලා යයි උගේ කට හඬ නිසා. ඌ මාර ගායකයා කියලා මිනිස්සු ඌව ඉඹියි. සම්මාන ගත්තම උගෙන් අහාවි කලාවට වෙන්ඩ ඕන දේවල් මොනවද කියලා. ඌ කියාවි කරන්ඩ ඕන දේවල්. ඌ නොකියා කියාවි අඹ මං වගේ පරගැති එවුන් වැරදි පාරක ගියේ කියලා. ඊට පස්සේ ඒකියපු කතාවේ හරි වැරද බලන්ඩ උවමනා එකෙක් මේ ගූ වලේ ඉන්නව කියලා උඹ හිතනවද? (කෙටි නිහඬතාවයක්) උඹට මොකද හිතෙන්නේ කියහං? (දිගු නිහඬතාවයක්. මාලන් ආරී දෙස බලා සිටියි. එහෙත් ආරී කිසිවක් නොකියයි). ඇයි…? උඹ කතාකරන් නැද්ද….? (නිහඬතාවයක් )ආ උඹ කතාකරන් නෑ එතකොට. එහෙමද? (නිහඬතාවයක්. මාලන් ආරිාග්න පිලිතුරක බලාසිටියි. ආරි නිහඩය.) එතකොට මං විතරයි කතා කරලා තියෙන්නේ? උඹ මුකුත් කියලා නෑ. මං කතා කරනකොට උඔ කට පරිස්සන් කරගෙන ඉඳලා තියනවා… එහෙමද? (කෙටි නිහඬතාවයක්. මාලන් අදහාගත නොහැකිව මෙන්) මාරයි… මාරයි.. මාරයි….(නිහඬතාවයක්) අඹ මට ශෙයාරින් තියා ලයක් එකක් දාන්ඩවත් ආවේ නැත්තේ ඒකයි එහෙනම් ආ. මාරයි… උඹ ගොඩක් පොත පත කියවනවා ලු. සමහර විට වෙන්ඩ යනදේ උඹට මට කලින් තේරෙනවා. මං වගේ ඉමෝශනල් පොරෙක් නෙමේ උඹ. එහෙම තේරිලා වෙන්ඩ ඕනේ උඹ නිශ්ශබ්ද වෙන එක හොඳයි කියලා තීරණය කරන්ඩ ඇත්තේ? හොඳයි ඇයි උඹ එහෙනම් ඒ අවබෝදය මාත් එක්ක බෙදා ගත්තේ නැත්තේ? උඹ කොයි වෙලාවෙද නිශ්ෂබ්ද වෙන්ඩ පටන්ගත්තේ? උඹ මට නිකන් පොඩි සංඥාවක් කලින් දුන්නනම මාත් කටපියා ගන්නවනේ? ඇයි එහෙම කලේ නැත්තේ? ඇයි උඹේ දැණුම උඹ තනියම බුක්ති විදින්න තීරණය කළේ? ඇයි ඒ? ඇයි ඒ? උඹ පැහැදිලිව දන්නවා උඹ ඔහොම තනියම නිහඬ වෙකොට මෙතන කතා කරන මගේ මරණය ඉක්මන් කරනවා කියන එක. එහෙම නේද? ඒ කියන්නේ උඹ මේ වෙනකොටත් මිනී මරුවෙක්. උඹලා වගේ බ්‍රෂ්ටයින්ට තමයි මිනිස්සු රැවටිලා ඉන්නේ මේක ගැඹුරින් තේරුම් අරන් නිශ්ශබ්දව ඉන්න බුද්ධිමතුන් කියලා. (කෙටි නිහඬතාවයක්.) මං හිතන්නේ අපි දෙන්නා අවුරුදු විස්සක් විතර එකට ඉඳලා තියනවා. අපි කීපාරක් එක පිඟානේ කාලා එක ඇඳේ බුදියගෙන තියනවද?

(මාලන්ට ඇඬෙන්නට මෙන් එන බැවින් ඔහු වෙනත් දිසාවක් බලාගෙන හිත ශක්තිමත් කරගැනීමට උත්සහයක ගනී. මොහොතකින් මාලන් සිත සකස් කරගත් ඉරියව්වකින් යලි ආරි දෙසට හැරේ. මාලන් දැන් සිටින්නේ ආරී ගැන අධික කෝපයකිනි. ආරී මුලසිටම සිට ඉසරියව්වෙන්ම නිහඬව නොසෙල්වී ප්‍රෙක්ශකාගාරය දෙස බලාගෙන සිටී.)

හැබැයි කවදත් මගේ යටි හිතේ උඹ ගැන සැකයක් තිබුනා. උඹල වගේ ඇඳුම් දැකලා නැති, කාර් දැකලා නැති, විස්කි දැකලා නැති පෙරේතයින් ඕනම වෙලාවක වෙනස් වෙන්න පුලුවන් කියලා. මට ඕන දෙයක් වෙයන් කියලා මාව අත්ඇරිය උඹ වගෙ කැ*යෙක්ව මම බේරගනියි කියලා උඹ හිතනවද? ඇයි මම උඹේ පැත්ත ගන්නේ? ඇයි මම අර එලියෙ ඉන්න කාලකන්නින්ගේ පැත්ත ගන්නේ? මාත් ගන්නවා මුන්ගේ පැත්ත. අඩුම ගානේ උන් ටික කාලයක්වත් මාව බලාගනීවි. අන්න ඒ ටික කාලෙදි මටත් තියනවා කරගන්න දේවල් වගයක්.(නිෂ්ශබ්දතාවයක්) ඇයි මේ මං විතරක් කතා කරන්නෙ? මට පිස්සුද…..(මාලන් ද වටපිට බලා ආරි අසලින්ම ප්‍රේක්ෂකයින් දෙස බලා ඉඳගනීයි. ප්‍රේක්ෂකාගාරය මේ වන විට සම්පූර්ණයෙන්ම ආලෝකමත් වී ඇත. සෑම ප්‍රේක්ෂකයෙකුටම අනිත් ප්‍රේක්ෂකයින් පෙනෙයි. මෙම නිහඬ මොහොත විනාඩි හයයි තප්පර තිහක් කිසිවක් නොවී පවතීයි. ක්ෂණිකයෙන් බ්ලැකවුට් එකකට යමින් මුළු රඟහලම අඳුරවෙයි- සියල්ල දැඩි අඳුරේ මොහොතක් පවතී. රංගය අවසන්.)

ධනංජය කරුණාරත්න | Dhananjaya Karunarathne