මැති ඇමතිලාගේ ‘ලියුම් දීමේ සංස්කෘතිය’ අපට අමුතු දෙයක් නොවේ. විපක්ෂයේ සිටියදී ආණ්ඩුවේ සෑම ක්‍රියාවක්ම විවේචනය කරමින් දේශපාලනික සාධු චරිත ලෙස පෙනී සිට බලයට පත් වූ සැණින් ඉතාම අමනෝඥ-උන්මත්තක ලෙස හැසිරෙන දේශපාලඥයන්ද අපට අමුතු පිරිසක් නොවේ. මේ අපේ දේශපාලනයේ හැටි ය. සාමාන්‍යයෙන් අප රටේ දේශපාලඥයන් අතර සුලභව දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ කිසියම් අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය ධූරයකට පත් වීමෙන් අනතුරුව එම අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ආයතන සියල්ලම තම සහචරයින්ට හා ඔවුන්ගේ දුවා දරුවන්ට, ඥාති හිත මිතුරන්ට රැකියා ලබා දීමේ ඉල්ලම් ලෙස භාවිත කිරීමයි. කිසිදු අධ්‍යාපනික පදනමක් සලකා බැලීමකින් තොරව හුදෙක්ම ඇමතිගේ බලය මත පමණක් පිහිටා රැකියා ලබා ගෙන ඉහළ තනතුරුවලට පවා පත් ව රාජ්‍ය සේවය අකර්මණ්‍ය කිරීමට යෙහෙන් උර දෙමින් සිටින වෘත්තිකයින් විශාල සංඛ්‍යාවක් බිහි වීමේ ප්‍රධානතම හේතුව මෙය ය. අමාත්‍ය ධූරයක් ලැබුණු පසුව ඇමතිවරයා සිදු කරන පළමු කාර්යය වන්නේ තමන්ගේ හෙංචයියන්ට ලබා දිය හැකි රැකියා මොනවාද යන්න සොයා බැලීමයි.

විපක්ෂයේ සිටියදී මහින්ද රෙජීමය බරපතල ලෙස විවේචනය කරමින් යහපාලන බෝඩ් ලෑලි එල්ලාගෙන බලයට පත් වත්මන් ආණ්ඩුවේ ප්‍රබල සාමාජිකයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය තනතුරක් සඳහා තම හිතවතෙකු බඳවා ගන්නා ලෙස ‘දැනුම් දෙමින්‘ ලිපියක් නිකුත් කරන ලද්දේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වුවද තම ‘නූගත් උද්දච්ඡකම‘ මනාව ප්‍රකට කරමිනි. මේ පිළිබඳව අදහස් පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් දේවසිරි ප්‍රකාශ කළේ ‘තමන් දන්නා ඉතිහාසය තුළ විශ්වවිද්‍යාල ආචාර්ය තනතුරකට බඳවා ගැනීමක් සඳහා ඇමතිවරයෙකු ලිපියක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය’ බවයි. අඩු වැඩි වශයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය වෙතද දේශපාලනික ඇඟිලි ගැසීම් හා බලපෑම් එල්ල වන බව අපි ඉතාම හොඳින් දනිමු. නමුත්, මේ දක්වාම කිසිදු දේශපාලඥයෙකු එළිපිටම විශ්වවිද්‍යාලක ආචාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීමේ පරිපාටියට බලපෑම් කළ අවස්ථාවක් මින් පෙර දක්නට නොලැබුණි.

මේ සමගම සිතට නැගෙන සිදු වීමක් වන පසුගිය රජය යටතේ පා. ම. නාමල් රාජපක්ෂ විසින් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරන ලෙස දැනුම් දෙමින් ලිපි නිකුත් කිරීමටත් වඩා මෙය බරපතල ලෙස සැලකීමට අපි පසුබට නොවිය යුත්තෙමු. නාමල් ලියුම් දුන්නේ ‘සිසුන්‘ විශ්වවිද්‍යාලවලට ඇතුළු කිරීමටය. එය වැරදි බව අපි දනිමු. නමුත්, පසුගිය ජනාධිපතිවරණය ආසන්න වත්ම එවැනි සිදු වීම් ඉස්මතු කරමින් මහින්ද රෙජීමයේ ‘දූෂිත බව’ පුන පුනා කියමින් රැස්වීම්වල කෑ මොර දුන් පුද්ගලයෙකු ඇමතිකමට පත් වූ සැණින් ‘ආචාර්යවරුන්’ බඳවා ගන්නා ලෙස නියම කරමින් ලිපි නිකුත් කරන තත්ත්වයක් යහපාලන රජය යටතේ උපකල්පනය කරන්නට පියවි සිහියෙන් සිටින්නෙකුට කිසි දා බැරි ය.

කිරිඇල්ලගේ විලිලැජ්ජා නැතිකම සහ නූගත් උද්ධච්ඡකම නැවත නැවතත් විදහා දක්වන කාරණය වන්නේ මෙම සිදුවීමෙන් පසුව පවා එය සාධාරණීකරණය කරමින් මාධ්‍ය වෙත නැවත ලිපි යොමු කරමින් කරුණු ගෙන හැර පෑමයි. “ගරු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් කැලණිය විශ්වවිද්‍යාලයට යවන ලද ලිපියෙහි අදාළ තනතුර සඳහා සුදුසුකම් පරීක්ෂා කළ යුතු බව ගරු අමාත්‍යවරයා විසින් අවධාරණය කර ඇත” යනුවෙන් එහි සඳහන් වන නමුදු කිරිඇල්ලගේ ලිපියෙහි දැක්වෙන්නේ “ඔහුගේ සුදුසුකම් පරීක්ෂා කර බලා ඉහත තනතුර ලබා දීමට අවශ්‍ය කටයුතු කර දෙන මෙන් දන්වා සිටිමි” යනුවෙනි. ඇමතිලාට කහින ලේකම්ලාගේ අමනකම් එළියට එන්නේද මෙවැනි සිදුවීම්වලිනි. අඩුම තරමින් ඔහු සාධාරණීකරණ ලිපිය ලිවීමට පෙර මුල් ලිපිය සුපරීක්ෂාකාරීව කියවා බැලිය යුතුව තිබිණ. සුදුසුකම් පරීක්ෂා කර බැලීම සහ ‘තනතුර ලබා දීමට කටයුතු කිරීම‘ යනු එකක් නොව දෙකක් බව අකුරු සාස්තරය දන්නෝ වටහා ගනිති! අඩුම තරමින් කිරිඇල්ලට ‘තනතුර ලබා දීම සඳහා සලකා බලන ලෙස’ යනුවෙන් ලිවිය යුතුව තිබිණ.

මීට අමතරව, මේ පිළිබඳව විමසීමට ඇමතිවරයා සම්බන්ධ කරගත් ‘අද’ පුවත් පතෙහි මාධ්‍යවේදියෙකු හට ඇමතිවරයා අසභ්‍ය වචන පරිහරණය කරමින් තර්ජනාත්මකව බැණ වැදුණු බව එම පුවත් පතෙහි දැක්වෙයි. මේ වන විටත් එම හඬ පටය සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වෙමින් පවතී. විශ්වවිද්‍යාල පනතෙහි 19 වැනි වගන්තිය ගැන පුන පුනා සඳහන් කරමින් ඉතාම ප්‍රකෝපකාරී ලෙස අදහස් දක්වන ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් මට අසන්නට ඇත්තේ මෙබන්දකි. මෙම ලිපිය ලිවීමේ අරමුණ සඳහාම මම විශ්වවිද්‍යාල පනත කියවා බැලුවෙමි. කරුණාකර, උසස් අධ්‍යාපන ඇමතිවරයාට, තමන් ‘දන්නා හඳුනන අය‘ හට විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ‘තනතුරු ලබා දීමට‘ ඉඩ සලසන එහි ඇති වගන්තිය කුමක්ද යන්න ඉතාම පැහැදිලිව උපුටා දක්වන්න. ඕනෑම කෙනෙකුට මෙම පනත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි නිල වෙබ් අඩවියට පිවිසී ලබා ගත හැක. එහි 19 සහ 20 වැනි වගන්ති වෙන් වන්නේ ‘ඇමතිවරයාගේ බලතල’ ‘(Powers of the Minister) පැහැදිලි කිරීම සඳහාය. ළඟ පාත සිටින ලේකම්ලාගෙන් එහෙන් මෙහෙන් ඇහිඳ ගන්නා කරුණු මතු කරමින් පම්පෝරි ගැසීම වෙනුවට අදාළ පනත සම්පූර්ණයෙන්ම කියවා බලා වැඩේට බැසීම අමාත්‍යවරයා ඉක්මනින්ම කිරීම නුවණට හුරුය. එම පනතෙහි කිහිප විටක්ම දැක්වෙන, “‘අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබෙන ලිඛිත උපදෙස් දීම් පාර්ලිමේන්තුවේදී සභාගත කළ යුතුය” යන්න මෙම ‘ලිඛිත නිවේදනයට’ අදාළ නොවීමට හේතුවක් නැත. ඕනෑම කෙනෙකුට මෙම සබැඳියෙන් අදාළ පනත ලබා ගත හැක (කිරිඇල්ලද ඇතුළුව): http://www.ugc.ac.lk/en/policy/universities-act.html

පනතේ ප්‍රතිපාදන සියල්ලම පැත්තකින් තැබුවද රටේ ඉහළම අධ්‍යාපන ආයතනය වන විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට දේශපාලනික ඇඟිලි ගැසීම් සිදු වන තැනට රට පිරිහීම ජාතික ඛේදවාචකයක් බවද අවධාරණය විය යුතුය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා ස්වාධීන හා දේශපාලනික මැදහත්වීම්වලින් නිදහස් එකක් නොවන රටක අනාගතය ගොඩ නැගීම ගැන කතා කිරීමම විහිළුවකි. එක අතකින් මෙය ලංකා දේශපාලනයේ අපරිණතකම පිළිබඳද කදිම සාක්ෂියකි.

මහින්ද රෙජීමය යටතේ සිදු වූ මාධ්‍ය මර්ධනය මැතිවරණ වේදිකාවල විවේචනය කළ කිරිඇල්ලට, තමන් ඇමති පුටුවේ වාඩි වූ පසුව සිදු කරන අමන තකතීරු වැඩ පිළිබඳ විවේචනය කරන මාධ්‍යෙව්දීන්ට තර්ජනය කරන්නට හයියක් ආවේ කෙසේද යන්න ජනාධිපති හා අගමැති යන දෙදෙනාගේම ඉක්මන් අවධානයට ලක් විය යුතු ප්‍රශ්නයකි. මෑතකදී කාන්තාවන්ට අපහාස කිරීම, බොරු මවා පෑම ආදී වශයෙන් චෝදනා ගොනු කරමින් ඇතැම් මාධ්‍ය ආයතනවලට ප්‍රසිද්ධියේම තරවටු කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය වෙත සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුය.

රනිල්ගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ සේවය කරන්නේද මේ ලිපිය යොමු වූ කැලණිය විශ්වවිද්‍යාලයේම ය. ඒ ද ආචාර්යවරියක හැටියටම ය. මේ නිසා, යහපාලනයේ කෙසේ වෙතත්, අඩුම තරමින් ඇඹේණියගේ ජාමෙවත් බේරා ගැනීමේ මෙහෙයුම මේ මොහොතේ රනිල් විසින් ක්‍රියාත්මක කළ යුතු බව නොකියම බැරි ය. එසේ නොකළ හොත්, හොඳ නැත්තේද ඔහුටමය!

Ashanඅශාන් වීරසිංහ | Ashan Weerasinghe