‘සංධ්‍යා එක්ණැලිගොඩ කියන මම මගේ මුළු ජීවිතයම ප්‍රගීත් හොයන එක වෙනුවෙන් කැපවෙලා, යුක්තිය හොයාගෙන යන ගමනේ යාත්‍රිකයෙක් බවට පත් වෙලා, ඉතින් මම අදත් උසාවියේ, අද ජාත්‍යන්තර කාන්තා දිනයේ, කාන්තා දින සැමරුම් තියනවා, ඒත් මම අදත් උසාවියේ.‘

යැයි අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩගේ බිරිද සංධ්‍යා එක්ණැලිගොඩ ‘විකල්ප‘ සමග පැවසුවාය. අද සංධ්‍යා ‘විකල්ප‘ වෙත අදහස් දැක්වූයේ, ප්‍රගීත් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වන නඩුවට සහභාගී වී එමින් සිටියදී හෝමාගම නගරයේදී ය.

ජාත්‍යන්තර කාන්තා දිනය වන අද රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශවයන් විසින් ‘කාන්තාව වෙනුවෙන්‘ විවිද උත්සව, විරෝධතා සංවිධානය වෙමින් සිටිය දී සංධ්‍යා සටන් කරන්නේ ප්‍රගීත් වෙනුවෙන් පමණක් නොව ලංකාව තුළ ඒ ඉරණමට පත් වූ තවත් බොහෝ ප්‍රගීත්ලා වෙනුවෙන් බව අපි සටහන් කරමු. ඒ ඔවුන්ට යුක්තිය ලබා ගැනීම සදහාය. එපමණක් නොවේ ‘සංධ්‍යා ගේ මැදිහත් වීම‘ ප්‍රභල මැදිහත් වීමක් වන්නේ, බුදුන්ගේ දර්ශනයටත් නිගාදෙන අයුරින් ක්‍රියාකරන ‘කහසිවුරු කාරයින්ගේ‘ සටකපට හිනාවේ සිට රවෟද්‍ර බැල්මවල්වලට හෝ කිසිදු තර්ජනයකට ‘සංධ්‍යා‘ නවතා ලීමට නොහැකි නිසා ය.

අද අධිකරණයෙන් පිටවන විට ද ඥාණසාර ඇතුලු ‘කහසිවුරු ශරීර‘ බලා සිටි බැල්මේ ඒ ‘දියවෙමින් යන චණ්ඩිකම‘ තවමත් බව පෙනෙන්නට තිබුණි.(අධිකරණයෙන් දඩුවම් ලැබූව ද) නමුත් සංධ්‍යා ගේ ධෛර්යවන්ත භාවයටත්, නිර්භිත කමටත් ඒ අවිචාරවත් කහසිවුරු කාරයින්ගේ කිසිදු බැල්මක් දූවිල්ලක් තරම් වත් නොවටිනා බව හෝමාගම දී හැමදාමත් මෙන් දිස්විය.

එය අද ජාත්‍යන්තර කාන්තා දිනයේ දී අැයගේ හඩින්ම අහන්න. විචාරශීලීව අද(මාර්තු 8) වැනි දිනක අසන්න, බලන්න.. යැයි අපි යෝජනා කරන්නේ, සංධ්‍යාට තවතවත් ධෛර්ය පතා ය.

නිර්භීත ගැහැණියනි නුබට අපේ ආචාරය!