වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මම කවුද කියලා. බලාපල්ලා මම උඹලාට කරනදේ. අපි උඹලා ගැන බලාගන්නම්”. පසුගිය 16දා මෙරට මාධ්‍යවේදීන් වෙත එල්ල කරන ලද මේ අශිෂ්ඨ සම්පන්න වචන අයත් වන්නේ ජනවාරි විප්ලවය ආපස්සට යවා බලය ඩැහැගැනීමට දඟලන රාජපක්ෂ සහ වහලුන්ට නොවේ.

එම වචන අයත් වන්නේ ජනවාරි විප්ලවයේ නියමුවකු වූ අර්ජුන රණතුංගගේ වැඩිමහල් සහෝදරයා වන ධම්මික රණතුංගට ය. එසේ මෙසේ තැනකදීත් නොවේ. කොළඹ මහාධිකරණයේදී ය‍. ධම්මික රණතුංග යනු අර්ජුන රණතුංගගේ අයියා පමණක් නොවේ. ඔහු විසින් පත් කරන ලද වරාය සංස්ථාවේ සභාපතිය‍. අඩුම වශයෙන් දිමනා ද ඇතුළුව රජයේ පොදු අරමුදල්වලින් මාසිකව රුපියල් දෙලක්ෂයක්වත් ලබා ගන්නා රජයේ විධායක නිලධාරියෙකි.

යහපාලන ආණ්ඩුවේ මේ ජාතියේ නිළධාරීන් ඇත්තට ම නම් ජනතා විරෝධී චන්ඩින්ය. තමන්ගේ ජායාරූපයක් ගත්තතේයැයි මාධ්‍යවේදින්ට වල්බූරුවන් කියා බැන වැදීමෙන් පසු ධම්මික රණතුංග සිය චන්ඩිකම කොතරම්ද යත් පෙන්වීමට තම ජංගම දුරකථනයෙන් එකී මාධ්‍යවේදීන්ගේ ජායාරූප ලබා ගත්තේය.

එසේ ජායාරූප ගත්තේ යැයි කිසිවකු ඔහුට වල් බුරුවායැයි බැණ වැදුණේ නැත. නමුත් ඔහුගේම තර්කය ආදේශ කල විට රණතුංග ද වල් බූරුවෙක් ම වෙය

රාජපක්ෂ නම් ‘මහා බ්‍රක්මයාට’ ආවතේව කළැයි ජනමාධ්‍යවේදීන්ට ප්‍රසිද්ධියේ පරිබව කළ අගමැති වික්‍රමසිංහ මෙවැනි චන්ඩින් ගැන කුමක් කියනු ඇත්ද? මල්ලීගේ බලයෙන් රජයේ ඉහළ තනතුරක් ලැබීම නිසා කවරකු හෝ මහා බ්‍රක්මයාගේ කටින් ඉපදුනේ යැයි අප පිළිගත යුතුද? මල්ලී රණතුංග බලයට පැමිණියේ මෙරට ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීමට ගිවිසගත් දේශපාලන බලවේගය නිසා බව ධම්මික රණතුංග දන්නේ නැත්ද?

මෙය ඇත්ත වශයෙන් ම නම් ධම්මික රණතුංග පිළිබඳ ප්‍රශ්ණයක් ම නොවේ. පාලකයින් සහ ඔවුන්ගේ අතවැස්සන් බලයෙන් ඉදිමීමේ රෝගය පිළිබඳ ප්‍රශ්ණයකි. අගමැතිගෙන් පටන්ගත් මාධ්‍ය විරොධී ප්‍රවණතාවය දැන් ඇමැති කිරිඇල්ල හරහා ධම්මික රණතුංගගෙන්ද ප්‍රකාශයට පත්ව තිබේ. වයඹ පළාත් සභාවෙහි සභාපති විසින් එහි රැස්වීම් මාධ්‍යවේදීන්ට තහනම් කොට දැන් මාසයකි.

බලය නැති කළ මෙවැනි දේශපාලනඥයින්ට නිදහස් (එනම් දේශපාලනඥයින්ට අවනත නැති) මාධ්‍යවේදින් සහ ජනමාධ්‍ය තරම් වටිනා වෙන දෙයක් නැත. බලයට පැමිණ වසරක් දෙකක් ගතවන විට ඔව්නට නිදහස් මාධ්‍යවේදීහු වැඩකට නැති පිරිසක් පිරිසක් බවට පමණක් නොව පසමිතුරු ප්‍රජාවක් බවට පත් වෙති.

ඊට හේතුව වන්නේ මාධ්‍ය මගින් ආණ්ඩුව විවේචනයට ලක්වීම වැඩි වන විට ය. දුබලතා සහ අඩුපාඩු පෙන්වා නොදෙන මාධ්‍යකින් වැඩක් නැත. බලය විසින් අපේ වැනි රටවලදී දූෂණය පමණක් නොව බලාධිකාරය ද ඇති කරයි. බලය අනිසි ලෙස පාව්ච්චි කිරීම සිය අයිතියකැයි සිතන්නට පටන් ගනී.

‘දැන් ඉතිං උඹලා මොකට ද?’ යන සිතිවිල්ල දේශපාලනඥයින්ට ඇති වන්නේ එවිට ය. අවනත නැති මාධ්‍ය පමණක් නොව අවනත නැති සිවිල් සමාජ කණ්ඩායම් ද සතුරන් ලෙස පෙනෙන්නට පටන් ගන්නේ එවිට ය. ජනයා සමඟ සහයෝගය වෙනුවට බලය මගින් පාලනය කිරීමට එවිට ඔව්හු බර වෙති.

ශිෂ්‍ය උද්ඝෝෂණ සාමාකාමී මාවතකට යොමු කරනු වෙනුවට ජල ප්‍රහාර සහ කදුළු ගැස් මගින් පාලනය කිරීම ලෙහෙසියැයි වායු සමිකරණය කළ සීත කාමරවලට දැනෙන්නට පටන් ගන්නේද එවිට ය.

විපක්ෂයේ සිටින විට දේශපාලන සිරකරුවන් ගැන කතා කරන නමුත් බලයට පැමිණි පසු එහෙම දේශපාලන සිරකරුවන් මෙරට නැතැයි කියන්නේ බලයෙන් අන්ධ වන නිසා ය. ප්‍රේමකුමාර ගුණරත්න නම් පෙරටුගාමී පක්ෂයේ ප්‍රධානියා දිගින් දිගටම සිර ගතකරමින් ආණ්ඩුව යෙදී සිටින තරඟය ද එවැනි ය. ලෙහෙසියෙන් විසඳා ගත හැකි එවැනි ප්‍රශ්ණ දිග්ගස්සා ගන්නේ ද බලයෙන් අන්ධවීම නිසා ය.

ආණ්ඩුව පසුගිය වසර තුළ අත්පත් කර ගෙන ඇති ජයග්‍රහණ බොහෝ ය. අත්පත් කර ගැනීමට ඉතිරිව තිබෙන ජයග්‍රහණ ඊට වැඩි ය. දිනා ගෙන ඇති ජයග්‍රහණ නම් කිරි කළයට ගොම බිංදු එක් කිරීම වළක්වා ගැනීමට බැරි වීම වත්මන් ආණ්ඩුවේ ලොකුම බැරිකම ය. දෙවැනි බැරිකම නම් සිය ජයග්‍රහණ සමාජ දේශපාලන ක්ෂේත්‍රයෙහි සටහන් කිරීමට එහි ඇති නොහැකියාව ය. ඒ සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතත් නිපුණතා දුලභ ය.

තවමත් ශ්‍රී ලංකාව ගමන් කරන්නේ සංක්‍රාන්ති අවධියක් හරහා බව අමතක නොකළ යුතුය. එනම් රාජපක්ෂ අර්ධ ඒකාධිපතිත්වයේ සිට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පිහිටුවීම කරා ය. එය හුදෙක් මැතිවරණ ජයග්‍රහණයකින් දිනා ගත හැකි දෙයක් නොවේ. රාජපක්ෂ පාලනය පදනම් වී තිබුනේ දූෂණය සහ භීෂණය මතය. එහි මතවාදී පදනම වූයේ සිංහල බහුතරවාදි යුද ජයග්‍රහණය උන්මාදය යි.

නමුත් පෙනෙන විදිහට ආණ්ඩුවේ බොහෝ දෙනෙකු සිතා සිටින්නේ වැඩේ ගොඩ කියා ය. මාධ්‍යවේදීන්ට ඔයි බෝයි කියැවෙන්නේත් වල්බුරුවන් කියැවෙන්නේත් අන්න ඒ නිසා ය.

රාජපක්ෂවාදය යනු දූෂණය මත රඳා පවතින භීෂණය මගින් පාලනය කරන සහ යුද ජයග්‍රහණ මතවාදී උන්මාදයකින් සමාජ මනස සිරගත කරන සමස්ත ක්‍රියාවලියකි. සමාජ දේශපාලන සංස්කෘතියකි. එය විසින් හදා වඩා ලොකු මහත් කරන ලද දූෂණයේ දේශපාලන සහ නිලධර පංතියක්ද භීෂණයේ රාජ්‍ය අවයවද එය සතුව පැවතුනි. ඉන් විශාල කොටසක් තවමත් නිරුපද්‍රිතව පවතී.

ප්‍රථමයෙන් ඔව්හු රාජපක්ෂ අන්තේවාසිකයකු වූ අගවිනිසුරු පිරිස් විසින් තමන් බේරා ගන්නවා ඇතැයි සිතූහ. පීරිස් එළවා දැමීමෙන් පසු ඒ කාරිය නීතිපතිවරයා අතට ගිය බව පෙනේ. රාජපක්ෂ සහ වහලුන්ගේ දූෂණ පිළිබදව නීතිමය පියවර ගැනීමට අඟුළු දමන ලද්දේ ඔහු විසිනි. දැන් ඔහු ද ගෙදර ය. එනමුත් රාජපක්ෂ විසින් දේශපාලන සහ පුද්ගලික සම්බන්ධතා මත පත් කරන ලද විනිසුරන් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පවා සිටී.

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවට අවශ්‍ය තොරතුරු යුද හමුදාපතිවරයා තවමත් ලබා දී නැති බව පසුගිය 15දා හෝමාගම අධිකරණයෙහිදී හෙළිදරව් විය. විදේශ ඇමැතිවරයා සමඟ යාපන යුද හමුදා ආඥාදායක එකට එක කියා ගත්තේ දෙතුන් සතියකට පෙරය. උතුර පළාතෙහි සිවිල් කටයුතුවලට අත දැමීම යුද හමුදාව තවම නතර කර නැත.

රාජපක්ෂ සහ වහල්ලුන්ගේ එකම ගැලවීම ඇත්තේ යළි කෙසේ හෝ බලය ඩැහැ ගැනීම මතය. රාජපක්ෂවරු දත්මිටි කාගෙන දිවා රෑ වෙහෙසෙන්නේ යහපාලන ආණ්ඩුව පෙරළා දමා බලයට ඒමටය. එසේ නොවුන හොත් රජගෙදර වෙනුවට හිර ගෙදර උලු ගණන් කරන්නට වෙන බව රාජපක්ෂවරු සහ වහල්ලු දනිති. එලඹෙමින් තිබෙන්නේ රාජපක්ෂ සහ වහලුන් සිය දේශපාලන මරණය සහ ජීවිතය අතර සටන පණ පොවනු ඇති කාලපරිච්ජේදයකි.

තමන් දෙවසරක් තුළ බලයට පැමිණෙන බව තවත් රණතුංග කෙනෙකු වන ප්‍රසන්න රණතුංග කියන අතර මහින්දාන්නද අලුත්ගම කියන්නේ මෙම වසර අවසාන වන විට පාර්ලිමේන්තුව වටකර අගමැති රනිල් වික්‍රමසිංහ ගෙදර යවන බව ය. රාජපක්ෂ කියන්නේ තමන්ට රට බාර දෙන්නේ නම් කරලා පෙන්වන බවය. ජන්ද බලයෙන්පරාජය වූ රාජපක්ෂ සහ වහල්ලු දැන් කියන්නේ බලහත්කාරයෙන් බලය අල්ලා ගන්නා බව ය.

අද හෙට තමන් බලය ලබා ගන්නා බව බොරුවට හෝ පෙන්වීමට නොහැකි වුවහොත් සිය දේශපාලන පදනම් දෙදරා යන බව රාජපක්ෂ නිසැකවම දන්නවා ඇත. පටු ජාතිවාදය සහ ඉන්දීය විරෝධය දැනටමත් රාජපක්ෂවරුන්ගේ කාලතුවක්කු බවට පත්ව තිබේ. එමෙන්ම පසුගිය 17දා හයිඩ්පිටියේ පැවැති රැස්වීමෙන් පෙනී ගිය පරිදි රාජපක්ෂවාදය තවමත් රටෙහි බලවත් ය. හයිඩ්පිටිය ගෙන ආ රාජපක්ෂවාදී පිරිස් ජාතිවාදී උමතුවෙන් අන්ධ කළ විට ලේ හැලිම එතරම් දුෂ්කර නොවනවා ඇත.

මේ වර්ධනයන් විසින් පෙන්වන්නේ ජනවාරි විප්ලවය පෙරට ගෙනයෑම පිණිස එහි සියලු ජන බලවේග ගොනු කරගත යුතු කාල පරිච්ජේදයක් එළඹෙමින් ඇති බවයි. එමෙන්ම එය ඉදිරියට ගෙන යා හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී මාවතෙහිම පමණක් බව ද අප අමතක නොකල යුතු ය. මන්ද යත් ජනවාරි විප්ලවයේ සුජාතභාවය රඳාපවත්නේ එහි ප්‍රජාතන්ත්‍රවාදි සහ මානව හිමිකම් (ආර්ථික, සමාජ සහ සංස්කෘතික හිමිකම් ද ඇතුලුව) රාමුව තුළ එය ඉදිරියට යන තාක් පමණක් නිසා ය. ඒ සඳහා ආණ්ඩුවේ දේශපාලනඥයින් විසින් පෙරට ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියක් විනා වන්ඩි කතා සංස්කෘතියක් නොවේ.

දැන් ආපසු හැරී බැලිමට කාලයයි. ඇතුළත සාධක නැතිව බැහැරින් පමණක් ප්‍රතිවිප්ලවයක් ජය ගනු නොහේ.

sd 120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya