ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත්, නීතිය හා සාමය ප‍්‍රවර්ධනය කිරීමත් සඳහා අලූත් නීති තුනක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කර තිබීමත් සමග, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ නැමැති දරුණු නීතිය සංශෝධන කිරීම සඳහා බොහෝ කාලයක් තිස්සේ පැවති අවශ්‍යතාව සපුරාලිය හැකි වන්නේය. කෙසේ වෙතත්, මේ නව නීතිද බොහෝ සේ සාකච්ඡාවට බඳුන් කළ යුතුව ඇති අතර අදාළ ප‍්‍රතිසංස්කරණ සාර්ථක වීම සඳහා අවශ්‍ය ප‍්‍රගතිශීලී අංග ඊට ඇතුළත් කළ යුතුව තිබේ. එසේම එම ක‍්‍රියාවලිය මනා පාරදෘෂ්‍ය භාවයකින් යුතුව පවත්වා ගැනීමත් අවශ්‍ය කෙරේ.

දැනට පවතින ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ වෙනුවට මේ නව නීති තුන ගෙන එන බව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, එක්සත් ජාතීන්ගේ ත‍්‍රස්ත-විරෝධී කමිටුවේ විධායක අධ්‍යක්ෂ කාර්යාංශයට දැනුම් දී තිබේ. ජාතික හා මහජන ආරක්ෂාවටත්, නීතිය හා සාමයටත් අදාළව ගෙන ඒමට තීරණය කොට ඇති මේ නව නීති, අන්තවාදය සහ ත‍්‍රස්තවාදයේ නූතන තර්ජන සහ ප‍්‍රවණතාවන්ට සාර්ථකව මුහුණදීමටත්, සංවිධානගත අපරාධ ඇතුළු ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි වෙනත් අවදානම්වලට සහ මහජන සාමය සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවන්ට මුහුණදීමටත් අරමුණු කෙරෙන බව ඇමතිවරයා පෙන්වා දී තිබේ.

‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ ඉවත් කරමින්, ඒ වෙනුවට ත‍්‍රස්ත-විරෝධී සංයුක්ත අණපනත් පනවා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය වැනි අංග ඇතුළත් වන සේ, ත‍්‍රස්ත-විරෝධී නීතිරීති සංශෝධනය විය යුතු බවට ආණ්ඩුවේ සැලකිල්ල යොමු වී තිබේ. මේවා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවන්ට අනුගතව සහ දැනට ලෝකයේ පැවතෙන පිළිගත් උසස් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට යටත්ව සකස් කෙරෙනු ඇත.

‘මහජන ආරක්ෂක පනතට’ අනුකූලව හදිසි නීතිය යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවේ තබා ගත හැකි කාලය ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අනුව දීර්ඝ කර ගැනීමට අවකාශ සලසා තිබේ. එවැනි පුද්ගලයෙකුට එරෙහිව අධිකරණයක් ඉදිරියේ චෝදනා පත‍්‍ර ගොනු නොකොට, මාස 18 ක් වැනි දීර්ඝ කාලයක් දක්වා වුව පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේ තබා ගැනීමේ හැකියාව තිබේ. එපමණක් නොව, රැඳවියෙකුට උසස් අධිකරණයකට ගොස් සහනයක් ලබා ගැනීමේ අවසරයත් මේ පනතින් අහිමි කොට තිබේ. ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ’ 10 වැනි වගන්තිය ඉතා පැහැදිළිව මෙසේ ප‍්‍රකාශ කරයි: ‘‘9 වැනි වගන්තිය යටතේ නියම කෙරෙන ඕනෑම නියෝගයක්, අවසාන සහ තීරණාත්මක වන අතර, එය කිසි අධිකරණයකින් හෝ විනිශ්චය සභාවකින් රිට් ආඥාවක් හෝ වෙනත් මාර්ගයකින් ප‍්‍රශ්න කළ නොහැකි වන්නේය.’’

මේ අනුව, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික කොන්දේසි උල්ලංඝණය කරනවා පමණක් නොව, ශ‍්‍රී ලංකාව පාර්ශ්වකරුවකු වන තවත් නොයෙක් ජාත්‍යන්තර ගිවිසුම්වල කොන්දේසිද, පාර්ශ්වකරුවකු වශයෙන් ආරක්ෂා කිරීමට බැඳී සිටින වෙනත් ජාත්‍යන්තර වගකීම්ද නොතකා හරින්නේය. උදාහරණයක් වශයෙන්, ‘මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තියේ’ 9 වැනි වගන්තිය ප‍්‍රකාරව: ‘‘කිසිවෙකු අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම හෝ නඩු ඇසීම නොකළ යුතුය’’. තවද, ‘සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ’ 9 වැනි වගන්තියෙන් මෙසේ කියැවේ: ‘‘නිදහසට සහ ආරක්ෂාවට සෑම කෙනෙකුටම අයිතියක් තිබේ. කිසිවෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබා ගැනීමට නොහැක්කේය.’’

දැන් යුද්ධය අවසන්ව ඇති තත්වය තුළ නිතැතින්ම සිතට නැගෙන්නේ, පශ්චාත්-යුද්ධ තත්වය තුළ ඇති වී තිබෙන වෙනස්කම් සැළකිල්ලට ගනිමින් මේ පනතේ වගන්ති සංශෝධනය කිරීම තවදුරටත් පමා කළ යුතුද යන්නයි. ශ‍්‍රී ලංකාවේ සාක්ෂි ආඥාපනත යටතේ, පොලීසියට හෝ වෙනත් නිලධාරියෙකුට කරන පාපොච්චාරණයක් හෝ පොලිස් අත්අඩංගුවේ සිටියදී යමෙකු කරන පාපොච්චාරණයක්, එය කරන්නේ මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරියේ නොවේ නම්, පිළිගත නොහැක්කේය. එහෙත් මේ කියන ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ එවැනි පාපොච්චාරණ පවා නීතිය ඉදිරියේ පිළිගැනීමට සලස්වා තිබේ.

සාමාන්‍ය පොලිස් නිලධාරීන් ඉදිරියේ පාපොච්චාරණය කිරීමේ පවතින ක‍්‍රමය, පොලිස් අධිකාරිවරයෙකු හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඉදිරියේ කළ යුතු සේ වෙනස් විය යුතුව ඇතැයි මානව හිමිකම් ක‍්‍රියාධරයෝ පෙන්වා දෙති. මේවා වනාහී, අලූත් නීති යටතේ සැළකිල්ලට ගත යුතු තාක්ෂණික ප‍්‍රශ්න වන්නේය. එහෙත් වඩාත් පෘථුල අභියෝගය වන්නේ, මේ පනත යටතේ දැනටමත් අත්අඩංගුවේ පසු වන රැඳවියන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සළකා බැලීමත්, සුළු ජාතීන්ට එරෙහි භීතිකාවක් වැපිරීමට ප‍්‍රයත්න ගන්නා අවස්ථාවාදී දේශපාලඥයන්ට මෙයින් අවසරයක් සැපයීම වළක්වා ගන්නේ කෙසේද යන දුෂ්කරතා මධ්‍යයේ සංහිඳියාව ඉදිරියට ගෙන යාමත් ය.

*2016 අපේ‍්‍රල් 21 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ PTA Reform නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි