පෙරහැර සඳහා හීලෑ අලි – ඇතුන්ගේ හිඟයක් මතු වී ඇති බව මවා පෙන්වමින් දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් අලි පැටවුන් ජාවාරමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම වැලැක්වීමට දැඩි පරිශ‍්‍රමයක නිරත වේ.

පෙරහැරට අලි හිඟ වීමට බලපාන සැබෑ හේතු සඟවා අලි පැටවුන් ජාවාරම සාධාරණීකරණය කර ඊට එරෙහිව නීති කි‍්‍රයාත්මක කිරීම ආපස්සට ගැනීමේ අරමුණ ඇති ව හීලෑ අලි – ඇතුන්ගේ ව්‍යාජ හිඟයක් මවා පෑමට මොවුහු උත්සාහ දරති.

අප විසින් සිදු කරන ලද අධ්‍යයන වලට අනුව අනාවරණය වී ඇත්තේ පෙරහැර සඳහා නොයොදවා සංචාරක කටයුතු සඳහා හීලෑ අලි – ඇතුන් බහුල ව යොදා ගැනීම හා නිසි පරිදි රැක බලා නොගැනීම හේතුවෙන් බහුල ව සතුන් මිය යෑම පෙරහැර සඳහා හීලෑ අලි – ඇතුන්ගේ හිඟය මතු වීමට ප‍්‍රධාන වශයෙන් ම බලපා ඇති බව ය.

හබරණ, සීගිරිය, දඹුල්ල, කණ්ඩලම හා පින්නවල ප‍්‍රදේශ වල පිහිටි සංචාරක මධ්‍යස්ථාන වල හීලෑ අලි – ඇතුන් 55ක් පමණ මේ වන විට සංචාරක කටයුතු වල යොදවා තිබේ. මීට අමතර ව නුවර හා තිස්සමහාරාම ප‍්‍රදේශයේ ද අලි – ඇතුන් 10 ක් පමණ සංචාරක කටයුතු වලට යොදවා තිබේ.

කරළුපන හන්දියේ සිට පින්නවල දක්වා මාර්ගය දෙපස පිහිටි සංචාරක මධ්‍යස්ථාන වල අලි – ඇතුන් 25 ක් පමණ සංචාරක කටයුතු වල යෙදවීම සිදු කරයි. ඉනාමළුව, හිරිවඩුන්න හන්දියේ සිට හබරණ දක්වා මාර්ගය දෙපස පිහිටි බොහෝ සංචාරක මධ්‍යස්ථාන වල අලි – ඇතුන් සංචාරක කටයුතු වලට යොදා ගැනීම සිදු කරයි.

සංචාරක කටයුතු වලට හීලෑ අලි – ඇතුන් යෙදවීමේ දී මේ සතුන් නිසි පරිදි පෝෂණය නොකිරීම, මෙම සතුන්ට අවශ්‍ය ශාරීරික නිදහස ලබා නොදීම, සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ව සැලකිලිමත් නොවීම ඇතුළු හානිකර තත්ත්වයන් රැසක් සිදු වෙමින් පවතී. මීට අමතර ව මෙම සතුන්ව සංචාරක කටයුතු වල යෙදවීම සිදු කරනු ලබන්නේ නීති විරෝධී ලෙස ය.

1(1)

2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 22අ වගන්තියට අනුව හීලෑ අලි – ඇතුන් සඳහා බලපත‍්‍ර ලබා දීමේ දී එහි සඳහන් වන්නේ පෙරහැර ඇතුළු ව සංස්කෘතික කටයුතු සඳහා පමණක් අලි – ඇතුන් භාවිතා කළ හැකි බව ය. නමුත් මේ සතුන් දහවල් කාලය පුරාම, නිසි පරිදි පෝෂණය කිරීමකින් තොරව, හිංසාකාරී ලෙස, නීති විරෝධීව සංචාරක කටයුතු වල යෙදවීම සිදු කරන නමුත් එම සතුන් ව පෙරහැර සඳහා යෙදවීම සිදු නොකරයි. ඊට හේතුව සංචාරක කටයුතු වල යෙදවීමෙන් වැඩි ආදායමක් මෙම සතුන් හිමිකරුවන්ට ලැබීම ය. මේ ආකාරයෙන් සංචාරක කටයුතු ව හීලෑ අලි – ඇතුන් බහුල වශයෙන් යෙදවීම පෙරහැර සඳහා අලි – ඇතුන් හිඟ වීමට ප‍්‍රධාන වශයෙන් බලපා ඇති බව සනාථ වී තිබේ.

මීට අමතර ව පසුගිය කාලය පුරා ම නිසි පරිදි රැුක බලා නොගැනීම නිසා තරුණ වයසේ පසු වූ හීලෑ අලි ඇතුන් විශාල ප‍්‍රමාණයක් මරණයට පත් වී ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි – ඇතුන් ලියාපදිංචි කිරීමේ වාර්තාවට අනුව 2013 අගෝස්තු මස 08 වන දින වන විට අලි – ඇතුන් 359 ක් ලියාපදිංචි කර තිබී ඇත. ඉන් 94 ක් ජාතික සත්ත්වෝද්‍යානයේ හා පින්නවල අලි අනාථාගාරයේ සිටින සතුන් විය. තවත් අලි – ඇතුන් 60 ක් පමණ මිය ගොස් තිබේ. ඒ වන විට හීලෑ අලි – ඇතුන් හිමිකරුවන් සතුව 205 ක් පමණ සතුන් ප‍්‍රමාණයක් ජීවත ව සිට ඇත.

නමුත් අද වන විට දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා ප‍්‍රකාශ කරන පරිදි හීලෑ අලි – ඇතුන්ගේ ගහනය 123 දක්වා පහළ බැස තිබේ. එ් අනුව පසුගිය වසර තුන ඇතුළත හීලෑ අලි – ඇතුන් 82 ක් පමණ මිය ගොස් තිබෙන බව තහවුරු වේ. මීට අමතරව අප විසින් පසුගිය කාලය තුළ දී සිදු කළ අධ්‍යයනයකට අනුව අනාවරණය වූයේ 2006 හා 2009 අතර වසර තුනක කාලය තුළ දී හීලෑ අලි – ඇතුන් 95 ක් පමණ මරණයට පත් ව ඇති බව ය. එම වසර තුන තුළ වසරකට සාමාන්‍යයෙන් හීලෑ අලි – ඇතුන් 30 ක් පමණ මරණයට පත් ව තිබේ. එය ඉතා විශාල අගයකි. සාමාන්‍යයෙන් වසරකට මිය යන හීලෑ අලි – ඇතුන් ප‍්‍රමාණය මෙන් දස ගුණයකින් පමණ වැඩිහිටි හීලෑ අලි – ඇතුන් එම වසර තුන තුළ මිය යාම සිදු වී ඇත. මේ බව අනාවරණය වූයේ නීති විරෝධීව අලි පැටවුන් ලඟ තබාගෙන සිටින අලි පැටවුන් හිමිකරුවන්ගෙන් හා එම සතුන් බලා ගන්නා ඇත් ගොව්වන්ගෙන් ලබා ගත් තොරතුරු ආශ‍්‍රයෙනි.

මීට අමතර ව නීති විරෝධීව කැලයෙන් අල්ලා ගත් අලි පැටවුන් බොහොමයක් ම විවිධ පුද්ගලයින් භාරයේ සිටිය දී මරණයට පත් වී ඇත. නිරාජ් රොෂාන්, ප‍්‍රදීප් නිලංග දෑල, ඩබ්ලිව්.පී.එච්. දීප්ති කුමාර, රිචඞ් ගෝනකුඹුර හා අජිත් ගාල්ලගේ යන මහත්වරුන් භාරයේ නීති විරෝධීව රදවාගෙන සිටි අලි පැටවුන් කිහිපදෙනෙක්ම මරණයට පත් වී ඇත.

දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා විසින් 2002 වසරේ දී නීති විරෝධීව සෙවණගල ප‍්‍රදේශයෙන් අල්ලාගන්නා ලද වයස අවුරුදු එකහමාරක් පමණ වූ වාසනා නම් ඇත් පැටවා 2007 වසරේ දී රත්නපුර දෑල ඔයේ ගැට ගසා සිටිය දී ඔයේ ජල මට්ටම වැඩි වීමෙන් දියේ ගිලී මිය ගියේ හීලෑ අලි – ඇතුන් නිසි පරිදි රැුක බලා නොගන්නා බවට සාක්ෂි එක් කරමිනි.

හීලෑ අලි – ඇතුන් උපයෝගී කර ගෙන අලූතින් අලි පැටවුන් ගහනයක් වර්ධනය කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගනීම ද හීලෑ අලි ගහනය අඩු වීමට බලපා තිබේ. මෙතෙක් ඉතිහාසයේ හීලෑ අලි – ඇතුන් යොදා ගෙන පින්නවල අලි අනාථාගාරයෙන් පරිබාහිරව බිහි කර ඇත්තේ අලි පැටවුන් තිදෙනෙකු පමණි.

කෑගල්ල, රන්දෙනියේ ජීවත් වූ නැසීගිය සෑම් සමරසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ගාමිණී ෆොන්සේකා මහතාට අයත්ව සිටි ලක්ෂ්මි නම් ඇතින්න හා කිවුල්පනේ රන්බණ්ඩා මහතාට අයත්ව සිටි කණ්ඩුල නම් අලියා යෙදා ගෙන සිදු කළ බෝකිරීමේ කි‍්‍රයාවලියෙන් ජූජා නම් ඇතිනි පැටවකු බිහි කර තිබේ. එම පැටවා ඉපදී ඇත්තේ 1986 අගෝස්තු 05 වන දින ය. සමහරුන් මෙම ඇතිනි පැටවාව සෑම් පැටියා ලෙස ද හදුන්වයි. දැනට වයස අවුරුදු 30 ක් පමණ වන මෙම ඇතින්න සෑම් සමරසිංහ මහතාගේ පුතනුවන් වන සංජිත් සමරසිංහ මහතා භාරයේ සිටී.

කොට්ටාවේ පදිංචිව සිට නැසීගිය ජේ.පී.අයි. පියදාස මහතාගේ මැදිහත්වීම මත හීලෑ අලි – ඇතුන් යොදා ගෙන අලි පැටවුන් දෙදෙනෙකු බෝ කර තිබේ. කුමාරි නම් ඇතින්න හා රාජා නම් අලියාව යොදා ගෙන 1975 වසරේ දී ජයතු නම් අලි පැටවාව බිහි කර ඇත. එම සතා 1980 වසරේ දී මිය ගොස් තිබේ. ඉන් පසුව පින්නවල සිටි නීලා නම් ඇතා සහ කුමාරි නම් ඇතින්න යොදා ගෙන සිදු කළ බෝ කිරීම මඟින් 1986 වසරේ දී බණ්ඩාර නම් අලි පැටවා බිහි කර ඇත. පියදාස මහතාගේ පුතනුවන් වන ජේ.පී.අයි. කමල් කිත්සිරි මහතා භාරයේ සිටි මෙම අලියාව වැල්මිල්ලේ ඇත්ගොව්වෙකුට භාර දී තිබේ.

3

1986 වසරෙන් පසුව අද වන තුරු හීලෑ අලි – ඇතුන් උපයෝගී කර ගෙන අලූතින් පැටවුන් බිහි කර නැත. හීලෑ අලි – ඇතුන් හිමිකරුවන් මේ සඳහා උත්සාහ නොකරන්නේ ඇතින්නක් ගැබ් ගත් පසුව හා පැටවා බිහි කළ පසුව වසර පහකට වැඩි කාලයක් වැඩ ගැනීමකින් තොරව ඇතින්නියන් පෝෂණය කිරීමට සිදු වන නිසා ය. මේ නිසා අද වන විට හීලෑ අලි – ඇතුන්ගේ ගහනය වර්ධනය වීමක් සිදු නොවේ. මේ තත්ත්වය පෙරහැර සඳහා අලි හිඟ වීමට බලපා තිබේ.

අද වන විට හීලෑ අලි පරපුර මුහුණපා තිබෙන තවත් ප‍්‍රධාන ඛේදවාචකයක් වන්නේ පුහුණු, පාරම්පරික අලි බලන්නන් නැතහොත් ඇත්ගොව්වන් හිඟ වීම ය. මේ නිසා බොහෝ විට අලි බැලීම සිදු කරන්නේ නුපුහුණු කම්කරුවන් වැනි පුද්ගලයින් ය. විශේෂයෙන් ලාබාල වයසේ පසුවන පුද්ගලයින් අලි බලා ගැනීමේ යොදවනු ලැබේ. මේ නිසා එම සතුන්ට හිංසාකාරී තත්ත්වයන්ට නිතර ගොදුරු වීමට සිදු වේ. මේ නිසා ද හීලෑ අලි – ඇතුන් බහුල ව මිය යාමට ලක් වේ.

එපමණක් නොව පාරම්පරික අලි – ඇතුන් හිමිකරුවන් වෙනුවට අද වන විට මහ පරිමාණ ව්‍යාපාරිකයින් හීලෑ අලි – ඇතුන්ගේ හිමිකරුවන් වීම නිසාවෙන් මෙම සතුන් නිසි පරිදි රැුක බලා ගැනීම, පෝෂණය කිරීම, පෙරහැර වැනි සංස්කෘතික කටයුතු වල යෙදවීම හා පැටවුන් බෝ කිරීමේ යෙදවීම වෙනුවට සිදු වනුයේ සංචාරක කටයුතු වලට මෙම සතුන් යොදවමින් මුදල් ඉපයීමය. මේ නිසා ඊට සමගාමී ව අද වන විට අලි පැටවුන් ජාවාරම්කරුවන් ද වර්ධනය වී තිබේ. අද වන විට හීලෑ අලි – ඇතුන්ගේ භාරකාරත්වය හා හීලෑ අලි – ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ මූලිකත්වය දරන්නේ ද මෙම ජාවාරම්කරුවන් ය. ඔවුන්ගේ අලි – ඇතුන් ජාවාරම් සඳහා බාධා එල්ලවන විට පෙරහැර සඳහා හීලෑ අලි – ඇතුන් හිඟ බව සඳහන් කරමින් සමාජය හා නිලධාරීන් මුලා කිරීමට දැඩි වෙහෙසක් ගනිති.

මේ නිසා අප අවධාරණය කරන්නේ හීලෑ අලි – ඇතුන් රැුකබලා ගැනීමේ නිවැරදි ක‍්‍රමවේදයක් හා ප‍්‍රතිපත්තියක් රට තුළ කි‍්‍රයාත්මක කළ යුතු ව ඇති බව ය. එය පසුවිපරම් කිරීමේ නිසි යාන්ත‍්‍රණයක් ද ඇති කළ යුතු ව ඇත. එපමණක් නොව හීලෑ අලි – ඇතුන්ගේ සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා නීති විරෝධීව රදවා තබාගෙන සිටින සියළුම අලි – ඇතුන් අත් අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කිරීම හා එම සතුන්ව නිසි පරිදි පුනුරුත්තාපනය කිරීම ද කළ යුතු ය. මීට අමතර ව හිංසාකාරී ලෙස අලි – ඇතුන් ව කොටන් ඇදීමේ හා සංචාරක කටයුතු වල යෙදවීම වහාම නතර කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගත යුතු ව ඇත. අලි ගහනයේ සුරක්ෂිතතාව උදෙසා හීලෑ අලි – ඇතුන් බෝ කිරීමේ විධිමත් කි‍්‍රයාවලියක් ඇති කළ යුතු අතර ස්වාභාවික අලි ගහනයේ පැවැත්මට මොනයම් ආකාරයක හෝ බලපෑමක් ඇති වන ආකාරයෙන් අලි – ඇතුන් හීලෑ කිරීමේ කටයුතු සිදු නොකිරීමට කටයුතු සම්පාදනය කළ යුතු ය.

Sajeewa Chamikaraසජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය