Image: Philip Dissanayake/FB

‘‘ශ්‍රී ලංකා සමාජය කොතරම් ලිබරල්වාදී ද? මම බැලුවා පහුගිය දවස් දෙකකට කලින් තොරතුරු ලබා ගැනීමේ පනත සම්මත උනා. පූර්ණ වශයෙන් ලිබරල් වාදී සමාජයක නම් මම හිතන්නේ ප්‍රවෘත්ති විකාශණ වල ඒ පුවත ලබා දෙන්නේ ප්‍රථම පුවත හැටියට. නමුත් මම බැලුවා චැනල් කිහිපයකට ගිහිල්ලා, බොහෝ විකාශණවල එක්කේ 4වෙනි හෝ 5ස්වෙනි ප්‍රවෘත්තිය. තොරතුරු ලබා ගැනීමේ පණත කියලා කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත්ම දැඩි ලෙස සංස්ථාපනය කරන්න පුලුවන් නීතියක්. නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කර ගත්තොත්. නමුත් ඇයි ඒක 4 වෙනි පුවත උනේ? ඇයි ඒක 5වෙනි පුවත උනේ? ඇයි ඒක ප්‍රධාන පුවත උනේ නැත්තේ? මොකද්ද මේකට හේතුව. මම හිතන්නේ මේවා අපි හොයලා බලන්න ඕන.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී, ආචාර්ය දීපිකා උඩගම මහත්මිය මේ අදහස් ප්‍රකාශ කළේ පසුගිය ජූනි 27වන දින, කොළඹ, ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී පැවති ‘‘වදහිංසාවට පාත්‍රවූවන්ට සහය දැක්වීමට එක්වෙමු‘‘ මැයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සංවිධානය කල සම්මන්ත්‍රණයක දී ය.

‘‘මේ කොමිෂන් සභාවලට අපි පත් කරන කොට සභාපතිවරිය හැටියටත්, සාමාජිකයන් හැටියටත් අපි සියලු දෙනාම පත් වෙනකොට අපිට එක දෙයක් වැටහුනේ, ජනතා අපේක්ෂාවන් ඉතාමත්ම ඉහළයි කියලා. අපිත් මේ කොමිෂන් සභාවලින් පිට හිටයා නම් අපේක්ෂාවන් ඉතාමත් ඉහළයි. ඒක ඉතාමත් සාධාරණයි. නමුත් මම හිතන්නේ මේ ආයතන පරිපාලනය කරනකොට අපිට මොන තරම් අභියෝග තියනවද කියන එක. නමුත් මම කිව්ව විදිහට අවකාශත් තියනවා අපිට වෙනස් ආකාරයට කටයුතු කරන්න.‘‘

‘දැන් පහුගිය කාලේ අපි දන්නවා, අතුරුදන් කිරීම සහ වදහිංසාව පිළිබද වැනි පැමිණිලිවලට එතරම් ප්‍රමුඛත්වයක් දුන්නේ නෑ කියලා විරෝධතාවයක් තියනවා. ඒක අපි පිළිගන්න ඕන‘‘ අචාර්ය උඩගම මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ආචාර්ය දීපිකා උඩගම මහත්මිය එහිදී දැක්වූ අදහස් ඇතුලත් සංස්කරණය නොකළ හඩපටය පහත දක්වා ඇත.