Image credit: judecollins.com

යාපනය සරසවියේ ගැටුමක් ඇති වී ඇත. දකුණේ දේශපාලන ඔස්තාර්ලා දැන් තමන්ගේ මත ප්‍රකාශ කරමින් සිටිති. අප එවැනි ඔස්තාර්ලා නොවුනත් යමක් කීමට කැමැත්තෙමි.

යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත.

කුමන හෝ පදනමින් ගැටුමක් දක්වා වර්ධනය වී ඇත්තේ හදිසියේ ඇතිවූ දෙයක් නොව නිදහසන් පසු දෙමළ සමාජය, දැනුවත්වම නැවත නැවතත් අතිශය කෘෘර ලෙස මර්ධනය කරමින් ඒ ඝාතන විජයග්‍රහණ ලෙස සමරමින් දකුණ විසින් නැවත නැවත අමතක කරනා ‘දමළ ජනයාට යුක්තිය‘ ඉටු නොකිරීමේ අලුයට ගිණි පුපුරුය.

සිංහල – දෙමළ සංහිදියාවට යුක්තිය පසිදලීමෙන් මිස වෙනත් කිසිවකින් යහපතක් ඉටුවන්නේ නැත. වින්දිතයන්ට යුක්තිය ඉටු නොවනතාක් මේ අදාළ ජනකොට්ඨාශය තුළ සැකය මිස අන්කිසිවක් වර්ධනය වන්නේ නැත. අතීතය ද වර්ථමානය ද ජීවමාන උදාහරණ දෙමින් දෙමළ ජනයාට නැවත නැවත කියාදෙන පාඩම කොළඹ සිංහල මූලික ආණ්ඩු විසින්, දෙමළ විමුක්තිය විෂයෙහි තමන්ව රවටන ආකාරයයි.

80 දශකයේදී දෙමළ තරුණයා ආයුධ ගත්තේ නිකන් ඉන්න බැරි ගායකට නොවේ. ඒ නිදහසින් පසු දෙමළ විමුක්ති දේශපාලනයට සිංහල ආණ්ඩු ආමන්ත්‍රණය නොකළ නිසාවෙනි.

හමුදා බුද්ධි අංශ විසින් 2012 වර්ෂයේදී යාපනය විශ්වවිද්‍යාලයේ මහවිරුවන් සැමරුවායි කියා ඔලු පැලෙන්න ගසා ඒ විතරක් නොව අවසානයේදී අදාළ ශිෂ්‍ය නායකයන් පුනුරුත්තාපනය කරන්න හමුදා කඳවුරු තුළ රඳවාගැනීමේ භාරයට දැමූහ. ඒ වෙලාවේ දකුණේ දැන් කෑගසන බොහෝ දෙනෙකු සිටියේ ඇස් කන් නොපෙනෙන අන්ධයන් සේය.

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන සංහිඳියාව ගැන හීනෙන් අවදී වී මෙන් දොඩවනවා අප රූපවාහිනියෙන් දුටිමු. කරූ පරණවිතාන නියෝජ්‍ය ඇමතිට අප කියන්නට ඇත්තේ, කැනඩාවේ මහ කොමසාරිස් වී හිදිමින් සිංහල ජාතිකවාදය පෝෂණය කිරීම ගැන තමන් විසින් ලියූ ලිපි නැවත කියවන ලෙසය. එවිට සංහිඳියාවට මගහැරී ඇති තැන් තමන්ට ම අවබෝධකර ගත හැකිය.

යාපනය විශ්වවිද්‍යාලය යනු සෑමවිටම ශිෂ්‍ය දේශපාලනට එහා ගිය ජාතික විමුක්ති දේශපාලනයක් සහිත දේශපාලන භූමියකි. සිළුමිණේ කොළම් ලියන මාධ්‍ය ඔස්තාර්ලා කියන්නේ සිංහල ජාතිවාදය ද දෙමළ ජාතිවාදය ද එකවිට පරාජය කළ යුතුය කියාය. රාජ්‍ය විසින් දෙවැනි කොට සැලකීමට විරුද්ධව සිය විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිම ‘ජාතිවාදයක්‘ කියා හඳුන්වන්නේ භූ දේශපාලනය සම්බන්ධව කිසිදු අදහසක් නැති බව ඔප්පු කිරීමටය.

එසේනම් මේ මොහොතේ බටහිර කුර්දිස්ථානයේ(රොජාවා) සිට ඊනියා ඉස්ලාම් රාජ්‍යයට සහ ඒකාධිපති තුර්කියට එරෙහිව සටන්වදින කුර්දිස්ථාන විමුක්තිකාමීන්, තුර්කි ආණ්ඩුව විසින් මර්ධනය කිරීම මේ මාධ්‍ය ඔස්තාර්ලාගේ තර්කයට අනුව සාධාරණය.

අවසානය

උතුරේ හෝ වෙනත් ඕනෑම තැනක ඇතිවන වාර්ගික ගැටුම් අතිශය දේශපාලනිකය. මන්ද සිංහල ආණ්ඩු විසින් කළ සහ කරන දේශපාලනයට ප්‍රතිචාරයන් කුමන හෝ තැනකින් මතුවීමට ඉඩ ඇති නිසාවෙනි.

ඒ නිසා සිංහල, දෙමළ සංහිඳියාවට එකම මග වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම ම පමණි.

පසන් ජයතිලක
| Pasan Jayathilaka