Image Credit: www.gettyimages.com

පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ? ‘සිදුකරන ලද‘ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ‘යහපාලන‘ රජය විසින් අතුරුදහන් වූවන් පිළිබද සොයාබැලීම සදහා කාර්යාලයක්, පිහිටුවීමට පසුගිය දා පියවර ගත්තේය.

එම කාර්යාලයේ ඉදිරි ක්‍රියාවළිය පිළිබද සැක සංකා මැද වුවත් ඒ පිළිබදව බොහෝ ‘වින්දිතයන්‘ තුළ ඇත්තේ බලාපොරොත්තු සහගත හැගීමකි. එසේ තිබිය දී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ පවසන්නේ එහි මූළික අරමුණ ‘රණවිරුවන් දඩයම් කිරීම‘ බවයි.

නමුත් දැන් ‘අපරාධ කරුවන්‘ ට ‘රණවිරු‘ ලේබල් ගසමින් නරුම භාවිතයක යෙදෙන රාජපක්ෂ 89/90 කාලයේ අතුරුදහන් වූවන් වෙනුවෙන් පාරවල් දිගේ ගිය, ඒ වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානවල සහයෙන් ජීනිවා ගිය මහින්ද රාජපක්ෂ මංත්‍රීවරයා දැන් පවසන්නේ ලංකාවේ සිදුවූ අතුරුදහන් වීම් සෙවීම යනු රණවිරුන් දඩයම් කිරීම බවයි.

රාජපක්ෂ මංත්‍රීවරයා නිකුත් කර ඇති මේ දිර්ඝ ප්‍රකාශය ඉතාමත් සැලකිල්ලෙන් විමසන අයෙකුට එහි ඇති පදනම තේරුම් ගැනීමට අපහසු නැත.

ඉන් එකක් නම්, රාජපක්ෂ සමයේ අතුරුදන්කල මාධ්‍යවේදී ප්‍රගීත් එකැණැලිගොඩ සෙවීම හෝ ඒ සදහා සිදුකරන ලද පරික්ෂණ වලට කිසිදු අන්දමේ කැපවීමක් පෙන්නුම් නොකල රාජපක්ෂ පාලනය එය දෙවියන්ට බාර දීම වැනි තක්කඩි තීරණවලින් ලෝකය ඉදිරියේ ලංකාව බියකරු විහිළු කාරයින්ගේ රාජ්‍යක් බවට පත් කළේය.

නමුත් ජනවාරි 8න් පසුව පත්වූ ‘යහපාලන‘ ආණ්ඩුව විසින් ප්‍රගීත් සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරමින් එයට සම්බන්ධ යැයි සැකපිට ගිරිතලේ කඳවුරේ එවක ප්‍රධානියා වූ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුලු බුද්ධි අංශ ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවළිය වේගවත් කළේය. ඉන් පසු එම අතුරුදන් කිරීමත් ඇතුලු වෙනත් අතුරුදන් කිරීම් සම්බන්ධ තොරතුරු අධිකරණය හමුවේ ගොනුවෙමින් පවතී.

මෙයට රාජපක්ෂ බයය. ඒ නිසා ඔහුගේ ප්‍රධාන ගෝලයෙක් වන ඥානසාරට අධිකරණ භූමියට දැක්කුවේය. ඥානසාරටත් සිදු වූයේ සිරබත් කමින් අවසන අදිකරණයෙන් සමාව ගෙන ‘ගෙදර‘ යාමටය.

එසේම මේන වන විට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ට සම්බන්ධ යැයි සැක පිට යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම අත්අඩංගුවට ගත්තේ පසුගිය සතියේ ය.

එය සැලවූ වහාම රාජපක්ෂ පවුලම සළිත වූ බවත්, ගෝඨා වෙවුලා කිය බවත්.. හොරුන් රෝහල් ගතවන විට, හිරගත වන විටත් පස්සෙන් දුවන මාධ්‍ය විසින් වාර්තා නොකලාට රාජපක්ෂලාට සමීපමතම අය විසින් එය තහවරු කර තිබේ.

දැන් දකුණේ දී සිදුකරන ලද අපරාධයන් දෙකකට සම්බන්ධ යැයි සැක කරන බුද්ධි අංශ නිළදාරීන් සිටින්නේ බන්ධනාගාරයේ ය.

දැන් වින්දිතයන් සේම යුක්තිය ප්‍රාර්තනා කරන මිනිසුන් ඉල්ලා සිටින්නේ අවසානයට වෙඩි තැබූ ඝාතකයා හෝ සූදු වෑන් රථයට පටවා ගත් අය පමණක් නොව විශේෂයෙන් ඒවාට අණදුන්, නියෝග කල අපරාධ කරුවන් හෙළි කරන ලෙසයි.(උතුරේ සිදු වූ අපරාධ ගැන තවමත් කිසිදු පරීක්ෂණයක් නොවුනාට එය උතුරටත් අදාල බව ‘යහපාලන‘ ආණ්ඩුව සිහි තබා ගත යුතුය)

අන්න ඒ දෙය දැන් බන්ධනාගාර ගතකර සිටින ප්‍රධාන සැකකරුවන් කොයි මොහොතේ හෝ හෙළි කරාවි යැයි රාජපක්ෂලා බයය.. සත්‍ය ලෙසම යුක්තිය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් ඔවුන් බිය වි යුතුය.

එසේ බිය වන බව දැන් ඔවුන් සිදු කරන මෙවැනි ප්‍රකාශණ වලින් සහ රගපාන රැගුම්වලින් මනාවට පැහැදිලි වේ.

එම නිසා තවදුරටත් අතුරුදහන් කිරම් සහ එවැනි අපරාධයන් සෙවීම සදහා පත් කරන ඕනෑම ක්‍රියාවලියකට රාජපක්ෂලා බිය වන්නේ ය.

එමනිසා ඒ බිය වීම තුළම හොරාට කළින් කෙහෙල් කැන වැට පැනීමට ඉඩ තිබේ.

දැන් සිදුවෙමින් ඇත්තේ ද එවැන්නකි.