කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස ඔවුන් විසින් නම් කරගෙන ඇති පාද(?) යාත්‍රාව අද තෙවන දිනයට පැමිණියේය.

මේ සටහනින් මතු කරනුයේ යාත්‍රාවේ කෙසේ වෙතත් ‘මහපාරේ ජෝගියේ‘ පැමිණි මිනිසුන් ගණනවත්, නාමල්ගේ නැටුම වත්, පවිත්‍රාගේ ඩිෆෙන්ඩර් ජෝගියවත් මෙන්ම ගම්මන්පිලගේ, විමල්ගේ, වාසුගේ, රෝහිත ආදී රාජපක්ෂගේ එහෙයියන්ගේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද වහසි බස් ගැන නොවේ.(ඔවුන්ගේ කෙරුම් මුලු ලෝකයම දන්නේ ය)

මහින්ද වාහනයෙන් අනිත් උන් පයින් යන ‘පාද යාත්තරාව‘ ගැනවත් නොවේ.

එසේම රාජපක්ෂගේ ආණ්ඩු කාලයේ ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකළ මහජන විරෝධතාවලට අධිකරණයෙන් ලබාගත් වාරණ නියෝග වලින් නොනැවතී රාජපක්ෂ ගේ නිළ මැරයින් ළවා එම විරෝධතා කුඩු පට්ටම් කල තැන් සිට රාජපක්ෂගේ වහල්ලුන් පිස්තෝල, කඩු කිණිසි සමග පැමිණ පහර දීම් ගැන වත් නොවේ.

පුද්ගලික ස්ථාන තුළ සිදුකළ වැඩමුලු, වැඩසටහන්, රැස්වීම්වලට නානසාර පන්නයේ වහල්ලුන් යොදවා පොලීසියේද සහය ඇතිව ඒවා කඩා කප්පල් කිරීම ගැනවත් නොවේ.

පුත්තලම, රතුපස්වල, කටුනායක වැනි ස්ථානවල සිදුකළ මහජන විරෝධතාවලට වෙඩි තබා එහි වූ මිනිසුන් මරා දැමීම් ගැනවත් නොවේ. ජාතික ආරක්ෂාව ඉදිරියට දමාගෙන බන්ධනාගාර තුළදී දේශපාලන රැදවියන් ඝාතනය කිරීම ගැනවත් නොවේ. ළමයෙකුට බිස්කට් කෑමට දී ‘නිළ උණ්ඩ‘ වලින් පපුව සිදුරු කරමින් එය මානුෂික මෙහෙයුම යැයි නම් තැබීම ගැනවත් නොවේ.

එසේම වසර 10කට අධික කාලයක් මහජන මුදල් කෝටි ගණනින් කොල්ලකෑමෙන් පසු රාජපක්ෂ කල්ලියට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමත්, මාධ්‍යවේදීන් මරා දෑමීම් පිළිබද තොරතුරු සෙමෙන් වුවත් එළිවෙමින් තිබෙන නිසා එයට ඇති ඔවුන්ගේ බිය පාද යාත්‍රාවකින් දිය කර හැර රාජපක්ෂලා ලබා ගන්නා ස්වයං වින්දනයත් ගැනවත් හෝ වසර 10කට අධික කාලයක් සිදුකල ප්‍රජාතන්ත්‍රවිරෝධී, මහපොළව නුහුළනා අපරාධ ගැනවත් නොවේ.

”කිරිදීලා තමයි ගැහුවේ සමහරුන්ට” පා.ම. මහින්ද රාජපක්ෂ (වීඩියෝව බලන්න)

යහපාලන ආණ්ඩුවේ ‘යහපාලනය‘ පිළිබදවයි.

රාජපක්ෂලාගේ ඊනියා යාත්‍රාව ආරම්භ වූ පසු පොළීසිය විසින් දැනට වාරණ නියෝග 3ක් අධිකරණයෙන් ගනු ලබන්නේ මහජනයාට පීඩාවීමත්, සාමය කඩවීමටත් වැනි අවස්ථා පෙන්වමිනි.

පොලීසියට යම් විරෝධතාවයක් පිලිබද එසේ අධිකරණයට ගොස් කරුණු කීමෙන් පසු එවැනි ආකාරයකට කටයුතු කිරීමේ අවස්ථාවක් තිබේ.

නමුත් මේ සිදුවීම් වලින් පෙනී යන දෙයක් නම් පොලීසිය විසින් රාජපක්ෂ පාලන සමයේ මෙන් විරෝධතාවයන් කිසියම් ලෙසකින් හෝ නවතා දෑමීම සදහා උත්සහයක් ගත්තේ ද යන්නයි.

යහපාලන ආණ්ඩුව සිය ආණ්ඩුකරණයෙන් පෙන්නුම් කළ යුත්තේ රාජපක්ෂ පන්නයේ මෙන් විරෝධතා කිසියම් හෝ අයුරකින් මර්දනය කිරීම නොව යමෙක් විරෝධතාවයක් සිදු කරයි නම් විරෝධතාවයන් සිදුකිරීමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය සකස් කර දීමට අවශ්‍ය ධෛර්ය උත්පාදනය කර ගැනීමයි. (නමුත් විරෝධතා සිදුකල යුත්තේ ද ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතියට අනුකූල බවද මෙහීදි සටහන් කළ යුතු වන්නේ වසර 10ක් මෙරට බොහෝ මිනිසුන් සිතා සිටියේ නීතිය යනු ‘රාජපක්ෂට හිතෙන දෙය‘ කියාය. එය වෙනස් කරමින් නීතිය යන්නට ශිෂ්ඨ අර්ථයක් ලබා ගැනීමට උත්සහ කලේ 2015 ජනවාරි 8ය. ඒ රාජපක්ෂ පරාජය කරමිනි.)

එසේම, අනෙක් මත ඉවසීමේ දියුණු, ශිෂ්ඨ දේශපාලන ගුණාංගය අභ්‍යාස කිරීමට තරම් විභවතාවයක් වත්මන් ආණ්ඩුවට ඇති බවට පෙන්නුම් කිරීමට නම් ආණ්ඩුව ගත යුත්තේ එවැනි පියවරකි.

එසේ වූ විට රාජපක්ෂගේ මර්දනීය පාලනය සහ ‘යහපාලනය‘ අතර තිබෙන දුර ලාංකිය ජනයාට මෙන්ම ලෝක ප්‍රජාවටත් නිවැරදිව ගණනය කර ගත හැකි ය. එසේ නොමැතිව ඒවා අවම ලෙස හෝ මර්දනය කිරීමට ගන්නා සෑම පියවරක්ම ගිණුම් ගත වන්නේ මර්දනීය රාජපක්ෂ පාලනය වැනි ගිණුමකටය. දැන් රාජපක්ෂවරු සහ ඔවුන්ගේ යටත් වැසියන් ‘යහපාලන‘ ආණ්ඩුවට ඉතා හොද ‘පිටියක්‘ සකස් කර දී තිබේ. වඩා හොදට සෙල්ලම් කරනවාද යන්න 2015 ජනවාරි 8 වෙනසට දායක වූ, තවදුරටත් ‘යහපාලනය‘ වෙනුවෙන් බලාපොරොත්තු බිදක් හෝ තබා සිටින පුරවැසියන් නිරීක්ෂකයන් ලෙස බලා සිටින්නේ පසුව බුදියා ගන්නට නම් නොවන බවත් මේ මොහොතේ සටහන් කළ යුතුයි.

අනෙක නම්,

පාද(?) යාත්‍රාවේ පුන පුනා කෑ ගසමින් යන ආර්ථික, සමාජ සහ දේශපාලන කරුණුවලටද ‘යහපාලන‘ ආණ්ඩුව ජනතාවාදී ලෙස විසදුම් සොයන බවට ඉතා වේගවත් ලෙස සංඥා ද දිය යුතු වන්නේ ය.

සරලව කිවහොත් ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයක් ගෙන ගිය රාජපක්ෂ වරුන්ට අවශ්‍ය සටන් පාඨ නොමිලේම ලබා ගැනීමට අවශ්‍ය පරිසරය වත්මන් ‘යහපාලන‘ ආණ්ඩුවේ ක්‍රියාකාලාපයන් විසින් සැකසෙන්නේ නම් එය ඉතාමත් බියකරු අනාගතයකට පාර සකසනු ලබයි. ඒ නිසා එය ‘යහපත්‘ ලෙස වෙනස් කිරිමටද ආණ්ඩුවට වගකීමක් ඇති අතර, ඒවා නිශේධනීය නම් සාධනීය කර ගැනීම සදහා සෘජුවම ආණ්ඩුවට බලපෑම් කිරීමේ වගකීමක් ලංකාවේ සිවිල් සමාජයට ද පැවරේ.

එම නිසා ආණ්ඩුකරණය ජනතාවගේ පැත්තේ සිට වඩා බහුත්වවාදී ලෙස සංවාදයකට ලක් කල යුතු වන්නේ ය.

එසේම ආණ්ඩුව කල යුතු වන්නේ පාද(?) යාත්‍රාව මෙහෙයවන රාජපක්ෂ කල්ලියේ නරුම දේශපාලන න්‍යායපත්‍ර යේ ඇති කුණු ගද පිළිබදව උපායමාර්ගිකව සමාජය දැනුවත් කිරීමය.

නමුත් මේවන විට පෙනී යන්නේ එහි අනෙක් පස බව පැහැදිලි වෙමින් තිබීම නම් යහපත් නැත.

නීතියට පයින් ගසා තමන්‍ට අහිමි වූ බලය කෙසේ හෝ ලබා ගන්නට රාජපක්ෂලා දග දමන්නේ නම් නීතියට අනුවම ඔවුන්ට ප්‍රතිචාර දැක්විමටත් කිසිදු අන්දමක බාධාවක් නොකර ගත යුතුය. ‘යහපාලනය‘ වන්නේ ද එයයි. සෑම විටම නීතියේ අධිපත්‍ය තරාතිරම නොබලා ක්‍රියාත්මක කිරිමයි. එය රාජපක්ෂලාට විශේෂ වන්නේ ඔවුන් පුරා වසර 10කට අධික කාලයක් මර්දකයින් ලෙස ලංකාවේ ආණ්ඩු කළ නිසාවෙනි.(ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යහපාලනය ප්‍රමාද වන තරමට ‘හොරුන්‘ තමන්ට එරෙහිව ඇති බොහෝ දෑ අකා මකා දැමීමට සියලු උත්සහයන් ගන්නේය. එය වැලැක්වීමට නම් නීතිය ක්‍රියාත්මක වීම ඉක්මන් කල යුතුය)

11119115_849332485157225_1551692608508051192_n
2015 මැයි 31 අනුරාධපුරයේ ‘අපි පුරවැසියෝ‘ සංවිධානය සැළසුම්කළ විරෝධතාවයකදී මෙවැනි පුවරුවක් තිබිණි.

මහින්දලා නැවත එපා!

එය අදටත්, හෙටටත් එකසේ වලංගුය.