‘මේක රජතුමා හදපු නගරෙ, තොපි එනවද මානව හිමිකම් කරන්න, උඹේ අම්මට……….. මම ප්‍රා යකෝ…..’ මේ යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාලන සිරිසේන ජනාධිපතිවරයා අතින් අභිනවයෙන් පිදුම් ලැබූ බෙලිඅත්ත ශ්‍රීලනිප ආසන සංවිධායක එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුගේ තර්ජනාත්මක වචන මාලාවලින් කොටසකි.

දිනය 2014 දෙසැම්බරයේ 27 වන දාය. වේලාව උදෑසන 10පසු වී විනාඩි කිහිපයකි. මහින්ද රාජපක්ෂ පාලනයේ ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධීබාවය පිළිබද ජනතාව දැනුවත් කරමින් ජනතාව සමග සංවාද කිරීම සදහා ලංකාවේ සිවිල් සංවිධාන100කට වඩා එකතුවකින් ආරම්භ කල ‘වීදියේ විරෝධය‘ හම්බන්තොටටත් ගියේ ඒ සදහා ය.

නමුත් කිසිවක් සිදු කිරීමටත් පෙර එතැනට පැමිණි එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු, හම්බන්තොට නගරාධිපති වරයා මේ ලියුම්කරු ඇතුලු පිරිසට පහර දුන්නේ තවත් 20කට අධික පිරිසක් සමගය. මොහොතකින් පිස්තෝලයක් ගෙනවිත් ‘මරණවා තොපි…..’ යැයි කෑ මොර දෙමින් නැවත වටයකින් පහර දෙන්නට පටන් ගත් විට තවත් තැනකින් මතු වූයේ පොලු සහ කිනිසිය.

අතිශය දරුණු වීදි සටන් සහිත චිත්‍රපටවල ඇති චිකාගෝව සිහිකරමින් අවට කඩසාප්පු ක්ෂණිකයෙන් වසා දැමුණේය. බේරී පළා යාම හැර කරන්නට කිසි දෙයක් නැති හෙයින් එතැනින් ඉවත්වන්න ගත් වෑයමේ ද පසුපස වූයේ තවත් ගුටිය. කෙසේ හෝ එවකට විපක්ෂ නායක අයුබ් ඛාන් මහතාගේ මැදිහත්වීමත්, ඔහු ලබා දුන් ආරක්ෂාවත් නොවන්නට වීදියේ විරෝධය කණ්ඩායමේ කිහිප දෙනෙකුගේම ජීවිත හම්බන්තොටින් අවසන් වන්නට ඉඩ තිබිණි.

ඒ තරමටම එරාජ් ප්‍රනාන්දුගේ එදවස හැසීරීම බිය කරු විය. ගෝත්‍රික සමාජවලවත් එවැනි ආකාරයේ හැසිරීම් අප කියවා ඇත්තේ ඉතාමත් සුලු වශයෙනි. ඒ තරමටම මිනිස් සමාජයට නුසුදුසු චරිතයක් වී ඇති බව පවසන්නේ අප පමණක් නොවේ. හම්බන්තොට ප්‍රගතිශිලී ජනයා ද පවසයි.

ඒ පහර කෑමෙන් පසු 2014 දෙසැම්බර් 28 වනදා පැවත්වූ මාධ්‍ය හමුව සංවිධානය කර තිබුනේය. එය සංවිධානය කර තිබුණේ එවකට ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ කටයුතු මෙහෙය වූ තිඹිරිගස්යාය කාර්යාලයේදී ය. එම සාකච්ඡාවට චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක, රාවය පුවත්පතේ කර්තෘ කේ. ඩබ්. ජනරංජන, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම්(එවකට) සුනිල් ජයසේකර සහ වීදියේ විරෝධය කණ්ඩායමේ බ්‍රිටෝ ප්‍රනාන්දු, ජයතිලක බණ්ඩාර සහ ලියුම්කරුද සහභාගී විය. එම සාකච්ඡාවේ තේමාව බැනරයක සටහන් කර තිබුනේ මෙසේය. ‘මැර දේශපාලනය සංස්කෘතිය අවසන් කරමු‘

එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව
එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව

පොදු අපේක්ෂක ජනාධිපතිවරයා වීමෙන් පසු මැර දේශපාලනය අවසන් කරන්නේ මැරයින්ට සංවිධායක කම් දීමෙන් විම තරම් ඛේදවාකචයක් තවත් තිබේද?

එපමණක් ද නොවේ, එක්සත් ජාතික පක්ෂ මංත්‍රී පිරිසක් හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපළ නැරඹිම සදහා ගොස් සිටි අවස්ථාවේද එරාජ් ප්‍රනාන්දු පිස්තෝලයක් ගෙනවිත් තර්ජනය කරන අයුරු සහ ඔහුගේ අනුගාමිකයන් පිරිසක් මංත්‍රීවරුන්ට සහ මාධ්‍යවේදීන්ට කුණු බිත්තර සහ ගල්මුල් ප්‍රහාරයක් එල්ල කල බවත් එවකට මාධ්‍ය වාර්තා කලේය. ඒ මංත්‍රී පිරිසට අයත් වූ එක් අයෙක් වන අජිත් පී පෙරේරා අද අමාත්‍ය වරයෙකි.

නමුත් ඒ පිළිබද එරාජ් ප්‍රනාන්දු පසුව කීවේ ‘එය සෙල්ලම් පිස්තෝලයක් බවයි‘

ඉන් මාස කිහිපයකට පසු ඔහු කිවූ සෙල්ලම් පිස්තෝලය, සෙල්ලම්ද නැත්ද යන වග ලියුම්කරුගේ දෑස් ඉදිරියේ ම පෙනේනනට වූයේ එරාජ් ඇතුලු මැරයන්ගේ ඉවසා ගත නොහැකි පහරවල් ද සමගය.

කෙසේ නමුත්, මේ සිදු වීම් ගණනාවටම අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පවතී.

දැන් එදවස පොදු අපේක්ෂක, වත්මන් ‘යහපාලනයේ‘ සිරිසේන ජනාධිපති විසින් එම ගෝත්‍රික තත්ත්වයේ භාවිතයක් ඇති, මුලු සමාජයම පිළිකුල් කරන මැර ශරීරයට ආසන සංවිධායක කමක් පිරිනමා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕනෑම තක්කඩියෙකුට, මැරයෙක්ට ඕනෑම සංවිධායක ධූරයක් දුන්නාට අපට කමක් නැත. නමුත් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂක අවදියේ ඔහු කීවේ ‘මා නිර්පාක්ෂකව කටයුතු කරමි‘ , ‘මා යහපාලනය ඇති කරමි. ආදී වශයෙනි.

මේ සිදුවෙන සියල්ලෙන් පෙනී යන්නේ පොදු අපේක්ෂක ජනාධිපති වීමෙන් පසු ජනාධිපතිවරයාගේ නිර්පාක්ෂික බාවය ය. එරාජ් වැනි තක්කඩීන් ට තමන් විසින්ම සංවිධායක කම් ලබා දීමෙන් පෙන්නුම් කරන්නේ ‘යහපාලනය‘ වත්මන් ජනාධිපති වරයා භාවිතාවේ යොදවන අන්දමය.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ රාජපක්ෂ පාලනයේ දුර්දාන්ත බාවය පිළිබද කතා කරමින් ගිය නිරායුද මිනිසුන්ට පහරදුන් එරාජ් ප්‍රනාන්දුලාට ‘යහපාලන‘ ආණ්ඩුවක් තුළ සංවිධායක කම් පිරිණැමීමෙන් ‘යහපාලන‘ ගුණාංග ආරක්ෂා වේ යැයි ජනාධිපතිවරයා සිතන්නේ නම් ඒ තරම් අනුවන සිතුවිල්ලක් තවත් නැත. කිසිදු ශිෂ්ඨ තත්ත්වයක් පෙන්නුම් නොකරන එවැනි චරිත නව දේශපාලන ගමනට සම්බන්ධ කර ගැනිමෙන් මෛත්‍රීපාල ජනාධිපතිවරයාත් පෙන්නුම් කරමින් සිටින්නේ වසර 10ක ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ගෙන ගිය රාජපක්ෂ ලා ගේ මාර්ගයේම තවත් මාර්ගයක් දැයි දැන් සැකසංකා මතු වෙමින් තිබේ.

එපමණක් ද නොවේ, සංහිදියාව පිළිබදව නව තත්ත්වයන් ආරම්භ කර ඇති මේ මොහොතේ බිය ගැන්වීම පමණක් තම එකම උපකරණය කර ගත් එරාජ් ප්‍රනාන්දු වැනි චරිතවලට ජනාධිපතිවරයා විසින් ම සංවිධායක කම් පිරිණැමි ම සංහිදියා ගමන ගැන තිබෙන කිසියම් හෝ බලාපොරොත්තුවක හැගීම්ද මොට කරනවා ඇත. එබැවින් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ජනාධිපති කරවීම සදහා පෙළ ගැසුනු සිවිල් සමාජය දැන් මේ තත්ත්වය හමුවේ සිය ස්ථාවරය පැහැදිලි කළ යුතුය. එසේ නොවුනහොත් 2015 ජනවාරියේ ලබා ගත් වෙනස නැවතවරක් ආපසු හැරවෙන තත්ත්වයක ට මේ සිදූවීම් මගපාදනවා ඇත. එසේම බලාපොරොත්තු වූ අවම ප්‍රතිසංස්කරණ වලින් ජනතාවට කිසිදු යහපතක් අත් වන්නේ ද නැත.

සිය ඉතිහාසයේම මැරකම සිය දේශපාලනයේ එකම යතුර බවට පත්කර ගත් මිනිස් ශරීර නැවතත් වත්මන් දේශපාලනයට හවුල් කර ගැනීමෙන් යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගා ගත හැකිද? මහ දවල් ඇස් පනාපිට, කිසිදු බියක් නැතිව ගිණිඅවි ඇතුලු ආයුද භාවිතා කරමින් ජනතාව තලා පෙළන අයෙක් සමග ‘යහපාලන‘ ගුණාංග සරුසාරව කෙසේ වෙතත් යම්තම් හෝ වගා කිරිමට හැකිද? එබැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ සිදු කර තිබෙන්නේ දුර්දාන්ත රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට වීදියේ වෙහෙස වු මෙන්ම සෑම ක්ෂේත්‍රයකම වෙහෙස වූ මිනිසුන්ට දේශපාලනය වශයෙන් කොකා පෙන්වීමකි. එසේම රාජපක්ෂ ලා විසින් සෑම විටම ආරක්ෂා කළ මැර දේශපාලනයට සෘජුවම වගකිව යුත්තෙක් නැවතවරක් ‘යහපාලනය‘ තුළද ආරක්ෂා කරමින් සමාජයට මුදා හැරීමකි. එබැවින් මේ ක්‍රියාවෙන් තර්ජනයට ලක්වන්නේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය යි. එය එසේ වන හැටි එලැඹෙන මැතිවරණයක් තුළ හොදින්ම දැකබලා ගැනීමට ලැබෙන බව නිසැකය.

මේ පත්කිරීම තුළ තව වැදගත් සාධකයක් සිරිසේන ජනාධිපතිවරයා විසින් නිරාවරණය කර දී තිබේ. එනම්, එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු කිසිදු මැර, තක්කඩි වැඩකට සම්බන්ධ වී නැත, ඔහු ළග තිබෙන්නේ සෙල්ලම් පිස්තෝලයකි. ඔහු විසින් වීදියේ විරෝධය කණ්ඩායමට පහරදුන්නා යැයි එදවස මගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව බොරු එකක්. එහෙම දෙයක් සිදු වූයේ නැත. එදින කතා කළ අය ඒ ගැන කිසිවක් කීවේ නැත. එමනිසා යහපාලනයේ ජනාධිපතිවරයා විසින් නැවත වටයකින් සලුපිලි අන්දවා ආසන සංවිධායක ධූරයකින්, රාජපක්ෂගේ කීකරු ගෝලයෙක් වන එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුට සංග්‍රහ කර ඇත.

ජනාධිපති තුමනි ජය වේවා!!!

ttසම්පත් සමරකෝන් | Sampath Samarakoon