Image:VIKALPA

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු කර, ඔහු පැහැර ගැනීම සාධාරණීකරණය කරන්නට හමුදාව ගත් උත්සාහය අසාර්ථක වී තිබේ. යුද හමුදා බුද්ධි අංශය මගින් ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට සාධක හෙළි වෙමින් තිබියදී, බුද්ධි අංශය මාධ්‍යවේදීන් පිරිසක් ද හවුල් කරගෙන කඩිනම් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළේය. එහි අරමුණ වූයේ ප‍්‍රගීත් එල්ටීටීඊකාරයකු බවට මතයක් සමාජගත කිරීම ය. ඒ හරහා ‘ඕකව උස්සන්නමයි ඕනෙ, ඕකට හොද වැඬේ’ කියන පද ටික ජනතාව ලවා ම කියවා ගැනීම බුද්ධි අංශ වල ඉලක්කය විය.

ඒ වෙනුවෙන් මාධ්‍යවේදීන් පිරිසක් සැදී පැහැදී සිටි අතර, පුවත්පත් කිහිපයක් ප‍්‍රගීත් එල්ටීටීඊකාරයකු කිරීමේ කුමන්ත‍්‍රණයේ පෙරමුණ ගෙන සිටියේය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් මිනීමැරුම් සාධාරණීකරණය කරන්නට සැදී පැහැදී සිටි පරාජිත, එහෙත් යහපාලන ආණ්ඩුවෙන් පින ඵල දුන් ඇතැම් ඇමැතිවරු ද ඒ කුමන්ත‍්‍රණයට තමන්ට හැකි උපරිමයෙන් දායක වෙමින් සිටියහ. ඇතැම් මාධ්‍යවේදීන් කිව්වේ ප‍්‍රගීත් මාධ්‍ය සාකච්ඡා වලට පැමිණ නැති බවත්, ඒ නිසා ඔහු මාධ්‍යවේදියකු නොවන බවත් ය. එහෙත් කර්තෘ මණ්ඩල සම්මාන උළෙල වැනි තැන් වල දී ලියන්නට නොදන්නා, නොලියන මාධ්‍යවේදීන්ට ද සම්මාන ලැබුණු බව ඔවුන් හිතාමතා ම අමතක කර තිබිණි.

ඒත් දැන් සියල්ල සුද්ධ ය. මේ ලියන්නේ ඒ ගැන ය.

16172884128_afb2dc9a03_k

‘රජයේ ආයතන දහයක තොරතුරු මත කරන ලද විමර්ශනයට අනුව මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට සම්බන්ධ වී හෝ ඊට අනුබලදීමක් කර හෝ නැති බවත්, ඔහුට එරෙහිව කිසිදු ආයතනයක් හරහා අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 23 දා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන නඩු විභාගය එදින ද හෝමාගම අධිකරණයේ මහේස්ත‍්‍රාත් නිල කාමරයේ දී වැඩ බලන මහේස්ත‍්‍රාත් සරෝජා වනිගසේකර ඉදිරියේ දී විභාගයට ගැනිණි.

මේ සිද්ධියට අදාළ ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් අට දෙනා ද එදින අධිකරණයේ පෙනී සිටි අතර, එම සැකකරුවන් ලබන 06 දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

මේ ප‍්‍රවෘත්තිය අදාළ කුමන්ත‍්‍රණයට සම්බන්ධ වූ මාධ්‍ය ආයතන වාරණය කළේය. ප‍්‍රගීත් එල්ටීටීඊකාරයකු නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ම තහවුරු කිරීම ඔවුන්ට එල්ල කළ බරපතල පහරක් විය.

ප‍්‍රගීත් පැහැරගැනීමට සහ අතුරුදන් කිරීමට සම්බන්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් රණවිරුවන් ලෙස හදුන්වමින්, ඔවුන් බේරාගැනීම වෙනුවෙන් ජාතිවාදීන් සහ යුද්ධය විකුණාගෙන කන්නන් දියත් කළ මෙහෙයුම ද මේ නිසා පරාජයට පත් වී ඇත. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර ඇතුළු චීවරධාරීහු සිවුර විකුණමින් හෝමාගම අධිකරණය ඉදිරියේ වීරයන්ගේ චරිත රගපාන්නට උත්සාහ දැරූහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළ මේ කරුණුත් සමග ඒ වීරයන්ගේ ද රෙදි ගැළවුණේය.

ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊයෙන් මුදල් ලබා ගත් බවත්, ඔහු මරාගෙන මැරෙන බෝම්බ කට්ටල සගවන්නට උදව් කළ බවත් ඇතුළු බරපතල චෝදනා රැසක් යුද හමුදා බුද්ධි අංශය මගින් ප‍්‍රසිද්ධ කෙරිණි. ඒ අතරවාරයේ මේ සිද්ධියට සම්බන්ධ ගිරිතලේ යුද හමුදා බුද්ධි කදවුරේ ලිපිගොනු සගවන්නට ද ඔවුහු සෑහෙන උත්සාහයක් දැරූහ.

යුද්ධයට මුවා වී හමුදා බුද්ධි අංශය කළ පැහැරගැනීම්, අතුරුදන් කිරීම්, මිනීමැරුම් සහ කප්පම් ගැනීම් සම්බන්ධ සියලූ තොරතුරු මේ වනවිට හෙළිදරව් වෙමින් පවතී. ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ සහ අතුරුදන් කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගත කර සිටින හමුදා නිලධාරීන් බලන්නට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරයට යාමෙන් පැහැදිලි වන්නේ තවදුරටත් රණවිරුවන් යන වචනය විකුණමින් මේ සිදුවීම් සගවන්නට ඔවුන්ට ඇති වුවමනාව ය.

මේ අතර ඒ වෙනුවෙන් ඇතැම් මහේස්ත‍්‍රාත්වරුන්, මහාධිකරණ විනිසුරුවරුන් පවා සම්බන්ධ වෙමින් බවතින බවට තොරතුරු හෙළි වෙමින් තිබේ. ඒ කියන්නේ යුක්තිය පසිදලන්නට ඇස් වසාගෙන සිටින කන්‍යාව යළිත් දූෂණය වෙමින් පවතින බව ය. ඇය ගේ රෙදි ගැළවෙමින් තිබෙන බව ය.

ඒ නිසා මෛත‍්‍රිපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට මේ පාරේ හරියට යාමේ වගකීමක් තිබේ. යුද්ධය විකුණමින් කුලියට මිනී මැරූ වුන් බේරා ගැනීමට ඞීල් දාන්නට එන වුන් පළවා හැරිය යුතුය. ජනතාව ප‍්‍රතික්ෂේප කළ ද, වර්තමාන ආණ්ඩුව විසින් ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයට පයින් ගසා ඇමැතිකම් දුන් ඇතැම් නරුමයෝ ඒ අතර ඉදිරියෙන් ම සිටිති.

ඒ නරුමයන් සේ ම, මේ ආණ්ඩුවේ ලොක්කන් ද මතක තබා ගත යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සාධාරණය වෙනුවෙන් ඡන්දය දමන්නට ජනතාවට බල කරමින්, ජනතාවගේ ඔළු ගෙඩි වල හොල්මන් කළ ප‍්‍රගීත් එක්නැලිගොඩ ලා, ලසන්ත වික‍්‍රමතුංග ලා හෙටත් ඒ ඔළු ගෙඩි අතහැර නොයන බව ය.

Shalika Wimalasenaශාලික විමලසේන | Shalika Wimalasena