Image: ScreenSHot/MaithreepalaSirisenaWeb

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවිය හැක් කිරීමේ සිද්ධියෙහි දෙවන සැකකරුවෙකුද අත්අඩංගුවට ගන්නා ලද බව වාර්තා වෙයි. ඊයේ කඩුගන්නාවෙදී 17 හැවිරිදි සිසුවෙකුද මේ සිද්ධියටම අදාළව අත්අඩංගුවට ගනු ලැබිණ. මේ අතරම මෙම සිද්ධිය ගැන පුදුමාකාර උනන්දුවකින් පසු වන බවක් පෙනෙන පොලීසිය “වැඩි දුර ප්‍රශ්න කිරීම් සඳහා” එම සිසුවාව කොළඹට ගෙනැවිත් ඇති බවටද පුවත් වාර්තා විය. පුවත් වාර්තා වන ආකාරය සහ මෙම සිද්ධියට පොලීසිය ප්‍රතිචාර දක්වන විලාසය අනුව අපට එළැඹීමට සිදු වන සාරාංශය නම් ‘ජනපතිගේ වෙබ් අඩවිය හැක් කිරීම මේ වන විට ලංකාවේ දැවෙන ජාතික ප්‍රශ්නවලින් එකක් බවට පත්ව ඇති අතර පොලීසියද මේ ගැන පුදුමාකාර උනන්දුවකින් කටයුතු කරමින් සිටියි’ යන්නයි. එක අතකින් මෙහෙම “චාන්ස්” එකක් පොලීසියටද උදා වන්නේ කාලෙකට සැරයක්ය!

හැක් කිරීම යන්නෙන් අදහස් වන්නේ වෙනත් අයෙකුට හිමි වෙබ් අඩවියක් හෝ වෙනත් සමාන ගිණුමක් වෙත අනවසරයෙන්, අයථා ක්‍රමයකින් ඇතුළු වී එහි පාලනය සියතට ගෙන කටයුතු කිරීමයි. එය තමන්ට රිසි අයුරින් හැසිරවීමයි. ලෝ ප්‍රකට ගූගල් සමාගමද මෑතකාලීනව සිසුවෙකු අතින් මෙලෙස හැක් කිරීමට ලක් වූ අතර සිද්ධිය දැන ගත් සැණින් ගූගල් සමාගම පොලීසි, උසාවි ගානේ රස්තියාදු වෙන්නට ගියේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ තම වෙබ් අඩවියේ දුර්වලතා හඳුනා ගැනීමට කළ උපකාරය අගයමින් විශාල මුදල් ත්‍යාගයක් එම සිසුවාට ලබා දීමයි. හැක් කිරීම නෛතික හේතූන් මත අනුමත කෙරෙන දෙයක් නොවන බවට සැකයක් නැත. එහෙත්, මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා ප්‍රබල ලෝක බලවතුන්ගේ වෙබ් අඩවිද ඕනෑ තරම් හැක් කිරීම්වලට ලක්ව ඇත. අනෙක මෙහි ලොකුම අඩුපාඩුව ඇත්තේ හැක් කළ තරුණ පිරිස අත නොව ජනාධිපතිතුමාගේ තොරතුරු තාක්ෂණ අශයේ සාමාජිකයන් අත බවද නොකියාම බැරිය.

මේ සිද්ධිය පසුපස මෙතරම් හඹා යමින් කාලය නාස්ති කිරීම නිරර්ථක දෙයක් බව කියන්නට සිදු වන්නේ හේතු දෙකක් මතය. එක, වෙබ් අඩවිය හැක් කළ තරුණ පිරිස එහි පළ කර තිබුණේ ස්වකීය “දේශපාලනික ප්‍රකාශයක්” මිස ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට එරෙහි තර්ජනයක් නොවේ. “වැඩේ හරියට කරන්නට බැරි නම් ගෙදර යන්න” වැනි පණිවුඩයක් එහි ගම්‍ය වුණද එය තර්ජනයක් ලෙස ගත යුත්තක් නොවේ. අප කියන්නේද එයමය! මට අනුව (අඩුම තරමින්), මෙම තරුණයන්ගේ වෑයම සලකා බැලිය යුතු දේශපාලනික භාවිතයකි. එක අතකින් ඔවුන් සිදු කර ඇත්තේද කිසියම් දේශපාලනික තත්ත්වයක් පිළිබඳ තමන්ගේ “කියවීම” අදාළ හරිම තැන ප්‍රකාශ කිරීමයි. අදහස් ප්‍රකාශ කරන්නට නිදහස තිබීම යහපාලනයේ ලක්ෂණයක් විය යුතුය. දියුණු රටවල මෙවැනි ‘සූපින් කේස්’ මහා ලොකු කරගෙන පොලීසි වෙහෙසවන්නේ නැත!

මගේ දෙවැනි හේතුව ජනවාරි 08 හැරවුම්කාරකය වෙත ඇදී යන්නකි. මෙවැනි ‘මර්දනයන්ට’ ඉඩ දී බලා සිටීමෙන් වැළකීමට බල කෙරෙන ඉතිහාසයක් වත්මන් ජනාධිපතිතුමාට තිබේ. එක අතකින් එතුමා බලයට පත් වන්නේ එතෙක් පැවැති මර්දනකාරී, පීඩනාත්මක රෙජීමය ප්‍රතික්ෂේප කරමින් තම පරමාධිපත්‍යය භාවිත කළ පරවැසි බහුතරයේ ඡන්දයෙනි. සමහරවිට අදහස් ප්‍රකාශ කිරීම මත අත්අඩංගුවට ලක් වූ 26 හැවිරිදි තරුණයාගේ මනාපයද එකල පොදු අපේක්ෂකයාට ලැබුණා වන්නටද බැරි නැත. එවක වේදිකාවල නිතර දෙවේලේ අසන්නට ලැබුණු පොදු කාරණාවලින් එකක් වූයේද මහින්ද රෙජීමය යටතේ මිනිසුන්ට නිදහසේ කතා කිරීමටවත් නිදහසක් නොතිබූ බවයි. වෙනස් මත දරන අය මර්දනය කෙරුණු බවද ඒ සමගම කියැවිණ. එසේ කී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට වෙනස් මත දරා සිටීමට හැකියාවක් තිබිය යුතු බව අපට අපේක්ෂා කරන්නට සිදු වන්නේ එහෙයිනි.

අනෙක් අතට, මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව ඝාතනය කරන්නට පැමිණි LTTE සාමාජිකයාට ප්‍රසිද්ධියේ සමාව දුන්නේය. එසේ කරමින් තමන් මහින්ද රාජපක්ෂට වඩා බොහෝ සෙයින් වෙනස් කෙනෙකු බව පෙන්වන්නට උත්සාහ කළේය. එහෙවු මෛත්‍රීට තම වෙබ් අඩවියේ එල්ලා ඇති දේශපාලනික ප්‍රකාශනයක් පදනම් කරගෙන කලබල වන්නට හේතුවක් තිබිය හැකිද? මේ තරුණ පිරිස මෛත්‍රීට මරණ තර්ජන එල්ල කර නැත. ගල් ගසා මරන බවට ප්‍රසිද්ධ වේදිකාවල ප්‍රකාශ කළ ඩී. වී. උපුල්ලාටත් සැලියුට් ගසා ‘සර්’ කියන්නට හුරු කර ඇති පොලීසියක් සිවිල් පුරවැසියන්ගේ ‘ආණ්ඩු විරෝධී’ මත මර්දනය කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වීම ගැන පුදුම වීමට දෙයක්ද නැත. මහජනතාව වෙනුවෙන් නීතිය හා සාමය ආරක්ෂා කරන්නට යැයි කියාගෙන ආණ්ඩු ඔවුන් නඩත්තු කරන්නේද තමන්ට විරුද්ධ පුරවැසි බලවේග මතු වන විට ලිහා හැරීම සඳහාය.

වැදගත්ම තර්කය විය යුත්තේ ‘ජනාධිපතිතුමාගේ වෙබ් අඩවිය’ හැක් කිරීම මේ සා විශාල ජාතික අර්බුදයක් නම්, බහුතර පුරවැසි ඡන්දයෙන් බලයට පැමිණියද අපේක්ෂිත යහපාලන ජයග්‍රහණ ජනතාවට දිනා දීමට අසමත් වන තැනට “ජනාධිපතිතුමාව” හැක් කළ අයද හෙළා දැකිය යුතු බවයි. වෙබ් අඩවිය හැක් කිරීම සහ පුද්ගලයා හැක් කිරීම දෙකකි. මහින්ද ප්‍රතික්ෂේප කර අලුත් ශ්‍රී ලංකාවක් අපේක්ෂා කරමින් බලයට ගෙන ආ පුද්ගලයාද පැවැති දූෂිත රෙජීමයට වඩා වෙනස්, විකල්ප රටක් බිහි කිරීමට අපොහොසත් වීම එක අතකින් ජනතා පරමාධිපත්‍යයම හැක් කිරීමකි. එදා යහිමන් වැජඹුණු දූෂිතයන් මේ ආණ්ඩුව යටතේද හුරතල් වෙමින් සිටිනු අපි දකිමු. පිස්තෝල අතැතිව මහමග වියරුවෙන් හැසිරුණු, පසුව තමා ගෙන ආවේ ‘සෙල්ලං පිස්තෝලයක්’ බව ප්‍රසිද්ධියේම කියමින් නීතිය පවා හෑල්ලුවට ලක් කළ මැරයෙකු ඊයේ පෙරේදා ආසන සංවිධායක කමකින් පවා පිදුම් ලැබූ සැටි අපට රහසක් නොවේ. මේවා ජනාධිපතිතුමාව හැක් කිරීමෙහි ප්‍රතිඵල එකක් දෙකක් පමණි. හෙලා දැකිය යුත්තේ මේවා නොවේද?

වරක් එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවි කිහිපයක් හැක් කළ 18 හැවිරිදි පාසල් සිසුවෙකු සහ තවත් පුද්ගලයෙකු පෙන්ටගනයට කැඳවූ ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් තම වෙබ් අඩවිවල අඩුපාඩු හෙළි කිරීම ගැන ඔවුන් දෙදෙනා අගය කිරීමට අමතක නොකළේය. එරට පොලීසියද වෙන සියලු වැඩ පැත්තක තියා ජනාධිපතිගෙන් ලකුණු දමා ගැනීමට හති දම දමා හැකරුන් සෙවීමෙහි වෙහෙසුණේ නැත. ඒ රටවලට වෙන කරන්නට දේවල් බොහෝ තිබේ. එක අතකින් යහපාලනයේ හිණිපෙත්තටම නැග සිටින අපි වෙන කුමක් කරමුද?

Ashanඅශාන් වීරසිංහ | Ashan Weerasinghe