වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කළේ 2012 නොවැම්බර් 9වන දිනයි. එනම් අදට (2016 නොවැම්බර් 9වන දිනට) ඒ අපරාධය සිදුකර වසර 4ක් ගතවේ. නමුත් එම සැළසුම් සහගත ඝාතනය පිළිබද සෙවීම සදහා, යහපාලන ආණ්ඩුවෙන් පත් කළ කමිටුවේ වාර්තාව ද, එයට පෙර එම ඝාතනයන්ට සම්බන්ධ යැයි පැවසෙන ‘රාජපක්ෂ පාලන‘ විසින් පත් කළ කමිටුවේ වාර්තාව ද තවමත් ප්‍රසිද්ධ කර හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් සම්බන්ධයෙන් ගන්නා මූලික පියවරක්වත් පෙනෙන්නට නැත.

පවතින යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර වේදිකාවල කෑමොර දුන් පොරොන්දු අතර ප්‍රධාන පොරොන්දු වූයේ මෙවැනි ඝාතන පිළිබද සොයා බලා ඝාතකයන්ට, සහ ඝාතනයන්ට නියෝග දුන් අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන බවය.

නමුත් එම වැළිකඩ ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වා කිසිවක් සිදු නොවන තත්ත්වයක් තුළ 2015 පෙබරවාරි 17 වනදා සිවිල් සංවිධාන සහ මරා දැමුණු රැදවියන්ගේ සමීපතමයින් එක්ව සිදුකල විරෝධතාවයකදී එවකට අධිකරණ නියෝජ්‍ය අැමතිව සිටි සුජීව සේනසිංහ විසින් පවසා සිටියේ ‘ඒ පිළිබද ඉක්මනින් සොයා බලා නිසි පියවර ගන්නා බවයි.‘‘

ඉන් පසුව අදාල ඝාතනයන් හා සැබැදි සිදුවීම් පිළිබද සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද අතර එහි අනිකුත් සාමාජිකයන් වූයේ, විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක, විශ්‍රාමලත් පරිපාලන නිලධාරී නීතීඥ එස්.කේ.ලියනගේ යන අයයි. මාස 5කට අධික කාලයක් විමර්ශණය සිදුකල මෙම ත්‍රිපුද්ගල කමිටුව විසින් පුලුල් වාර්තාවක් ලබා දී තිබෙන බව වාර්තා විය. එම වාර්තාව 2015 ජුනි මස 9 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී විජේදාස රාජපක්ෂ, අධිකරණ අමාත්‍යවරයා විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට බාර දෙන ලදී.

නමුත් අභාග්‍ය නම් මේ වන විට එම වාර්තාව ප්‍රසිද්ධ කිරීම හෝ එම වාර්තාවේ සදහන් කරුණු වලට අනුව ඝාතනයන්ට සම්බන්ධ කිසිවෙකුවත් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට ‘නීතියේ අධිපත්‍ය‘ සහ ‘මානව හිමිකම්‘ ඉහලින් සුරකිනවා පමණක් නොව ඒවා සුරැකෙන බව පෙන්වනවා යැයි කියන ‘යහපාලන‘ ආණ්ඩුවට තවමත් නොහැකි වී තිබේ.

එම නොහැකියාවෙන් පෙන්නුමේ කරන්නේ රාජපක්ෂ ආණ්ඩුව මෙන් ඝාතකයන් ආරක්ෂා කිරීමට බිම්ගත ව්‍යාපෘතියක් ‘යහපාලන‘ ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වන බවට පැතීරී යන මතය තහවරු වීමක්ද?

නො එසේ නම්, එම ඝාතනයන්ට සෘජුවම හවුල් වූ ඇතැම් දේශපාලකයන් වත්මන් ආණ්ඩුව තුළත් නියෝජනය වීමද?

කෙසේ නමුත්, පැවසීමට ඇත්තේ.. ‘යහපාලන‘ මූළධර්ම ආරක්ෂා කිරීමට සහ ඒවා මහපොළවේ පැලවීම දක්නට ආසා කරන්නේ නම් මෙන්ම 2015 ජනවාරි 8ට පෙර වේදිකාවල දුන් පොරොන්දු ඉටු කිරීමේ අංශු මාත්‍රයක හෝ දේශපාලන කැපවීමක් ආණ්ඩුවට ඇත්නම්, සිරගෙවල් තුළ රැදවියන් ඝාතනය කිරීම වැනි බරලතල අපරාධයන්ට හවුල් වූවන් නීතිය හමුවට පමුණුවා ‘යහපාලනයට‘ ඇති සිය ‘දේශපාලන අධිෂ්ඨානය‘ පෙන්වන ලෙසය.

පහත පළවන්නේ වසර 4ක ‘යුක්තිය‘ සදහා වන බලපෑම නැවත, නැවතත් මතක් කිරීමකි. සම්පූර්ණ සටහන්, ඡායාරෑප සහ වීඩියෝ අඩංගු spark සටහන සදහා පිවිසෙන්න.

වැළිකඩ ඝාතනයට වසර 4යි