ශ‍්‍රී ලංකාවේ වෙසෙන සියළු දෙනාට තමන්ගේම මව් භාෂාවෙන් ජාතික ගීය ගැයීමට ඇති අයිතිය, 2016 නොවැම්බර් 18 වැනි සිකුරාදා, ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කෙළේය.

‘නමෝ නමෝ මාතා’ යනුවෙන් ගැයෙන අපේ ජාතික ගීය තුළ ඇති විශේෂත්වය වන්නේ, එය රට පිළිබඳ අභිනන්දනය පමණක් ගැයෙන ගීයක් වීමයි. කිසි ජාතියක්, කුලයක්, ඇදහීමක්, ප‍්‍රජාවක් හෝ ආගමක් ඒ මගින් උත්කර්ෂයට නැංවෙන්නේ නැත. එය මුළුමණින්ම නිර්-පාක්ෂික වන අතර, ලංකා මාතාව වන අප රටේ වෙසෙන සියළු දෙනාගේ දේශමාමකත්වයට ඒ මගින් ආමන්ත‍්‍රණය කෙරේ. මේ ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කළ මුල් අවස්ථාවේ මේ රටේ වෙසෙන දෙමළ ජනතාව එහි ඇති කිසිවකට විරෝධයක් නොපෑවේ එබැවිනි. එසේම, ඉහළම ගෞරවයෙන් යුතුව තම මව් භාෂාවෙන් ඔවුන් එම ගීය එදා පටන් හදවතින්ම ගැයූවේද එබැවිනි.

ජාතික ගීය අතීතයේ භාවිත වී ඇති ආකාරයත්, රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ නීති ගැනත් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, 1951 නොවැම්බර් 22 වැනි දා අප රටේ ජාතික ගීය වශයෙන් භාවිතයට ගත් ‘නමෝ නමෝ මාතා’ ගීය, මේ රටේ වෙසෙන ඕනෑම කෙනෙකුගේ මව් භාෂාවෙන් ගායනා කිරීම තුළ කිසි පරස්පරයක් නැති බව කියා සිටියේය. මේ අධිකරණ විනිශ්චයෙන් අදහස් වන්නේ, තමන්ගේ හදවතට වඩාත් හොඳින් හැෙඟන සහ දැනෙන භාෂාවකින් ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් වන ඕනෑම ප‍්‍රජාවකට එය ගායනා කළ හැකි බවයි. මෙම විනිශ්චය තුළ තවත් දෙයක් අවධාරණය කෙරේ. එනම්, අපේ මොන වෙනස්කම් තිබුණත්, අප සියල්ලන්ම එක සමාන වන බවත්, කිසි භාෂාවක්, ජාතියක් හෝ ආගමක්, තවත් භාෂාවකට, ජාතියකට හෝ ආගමට ඉහළින් උසස් කොට නොසැළකෙන බවත් ය.

අවසානයේදී ගත් විට, ජාතික ගීයක් යනු, රටක ඉතිහාසය, සම්ප‍්‍රදාය සහ එරටේ වෙසෙන ජනතාවගේ අරගල අභිනන්දනය කෙරෙන ගීයකි. රටක ආණ්ඩුවක් එවන් ගීතයක් තමන්ගේ ජාතික ගීය වශයෙන් පනවා ගන්නේ එබැවිනි.

අප නිදහස ලැබුවේ 1948 දී වුවත්, ආනන්ද සමරකෝන් විසින් රචිත ‘නමෝ නමෝ මාතා’ ගීය 1951 දී ජාතික ගීය වශයෙන් සම්මත කර ගන්නා තෙක්, අපට ජාතික ගීයක් තිබුණේ නැත. එදා රට පාලනය කළ අගමැති ඞී. ඇස්. සේනානායකගේ ඉල්ලීම පරිදි මේ ගීතය දෙමළ භාෂාවට පරිවර්තනය කෙරුණි. 1954 පෙබරවාරි 4 වැනි දා, යාපනය, වව්නියාව, මන්නාරම, ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප‍්‍රදේශවල පැවති නිදහස් සමරු උළෙලවලදී මේ ගීය ගායනා කෙරුණේ දෙමළ භාෂාවෙනි. එදා පටන් එම භාවිතය දිගටම ගෙන ගොස් තිබේ. එය අත්හිටැවුණේ, යුද්ධ කාලයේ උතුරේ විශාල භූමි ප‍්‍රදේශයක් එල්.ටී.ටී.ඊ, සංවිධානය යටතට පත්වූ කෙටි කාලයකදී පමණි. මේ කාලයේදී ඔවුන්ගේ බල ප‍්‍රදේශවල ජාතික ගීය ගැයීම නතර කෙරුණි. එහෙත්, මේ පළාත් තම වාසභූමි වශයෙන් සළකා කටයුතු කළ ඒ කාලයේ පවා, එල්.ටී.ටී.ඊ. සංවිධානය තමන්ගේම වන වෙනම ජාතික ගීයක් සකසා ගත්තේ හෝ ගායනා කෙළේ හෝ නැත.

ක‍්‍රම ක‍්‍රමයෙන් උතුරු නැගෙනහිර පළාත් හමුදාව යටතට පත්වීමත් සමගම එම පළාත්වල ජාතික ගීය වාදනය කිරීම යළි ඇරැඹුණි. අනතුරුව, නිදහස් උත්සවයකදී රට පුරාම ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයුණේ, 2016 පෙබරවාරි 4 වැනි දා ය. එය අප අතිශයින් ප‍්‍රීතියට පත්විය යුතුව තිබුණු දිනයකි. මන්ද යත්, කිසිදු බලහත්කාරයකින් තොරව, තමන්ගේම භාෂාවෙන් සියළු ජනතාවට තමන්ගේ මව්බිමේ ජාතික ගීය ගැයීමේ අවස්ථාව එදා ලැබුණු බැවිනි.

අවාසනාවකට, මේ ආණ්ඩුවට පසමිතුරු, නොමග ගිය ‘සිංහ හදවත්’ සහිත ඇතැම් පිරිස්, සියලූ ශ‍්‍රී ලාංකිකයන්ව එක් තැන් කළ ඒ උසස් ක‍්‍රියාව ගැන ප‍්‍රශංසා කරනවා වෙනුවට, එය විවේචනය කිරීමට පටන් ගත්හ. එතැනින් නොනැවතුණු ඔවුහූ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද අධිකරණයට ඉදිරිපත් කළහ.

එබැවින්, මේ අධිකරණ විනිශ්චය මගින්, අප රටේ සමාජ නිර්මිතය සකස්ව ඇති විවිධ ප‍්‍රජාවන් භේද භින්න කළ දීර්ඝ කාලීන වාර්ගික යුද්ධයෙන් පසුව, එම ජාතීන් අතර සම්බන්ධතා සුවපත් කිරීමේ ක‍්‍රියාවලියට විශාල රුකුලක් දී තිබේ.

1948 සිට 1951 දක්වා අපේ රටට ජාතික ගීයක් නොතිබුණු බවද මෙහිදී අමතක නොකළ යුතුය. 1948 දී අප නිදහස ලබා ගත්තත්, මේ කාලය මුළුල්ලේම අප ගායනා කෙළේ බි‍්‍රතාන්‍යයන්ගේ ජාතික ගීයයි. ‘සිලෝන්’ වශයෙන් එදා හැඳින්වුණු ලංකාවේ ජාතික ගීය වශයෙන් ‘නමෝ නමෝ මාතා’ ගීතය යොදා ගත යුතු බවට කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කෙළේ ශ‍්‍රීමත් ඊ. ඒ. පී. විජේරත්න විසිනි. ඒ 1951 අගෝස්තු මාසයේදී ය. ඒ අනුව, 1951 නොවැම්බර් 22 වැනි දා, එය රටේ ජාතික ගීය වශයෙන්, කැබිනට් මණ්ඩලය ඒකමතිකව සම්මත කරගත්තේය.

අනතුරුව මෙය ජාතික නිදහස් දින උත්සවයකදී මුල් වරට නිල වශයෙන් ගායනා කෙරුණේ 1952 පෙබරවාරි 4 වැනි දා ය. දැන්, මේ වසරේ පෙබරවාරි 4 වැනි දා රටේ සියලූ ජන කොටස්, එක තාලයකට එකාවන්ව විවිධ වචනවලින් මේ ගීය වාදනය කළහ. ඒ සියල්ලන් අභිනන්දනය කෙළේ මරකත මාණික්‍යයක් වන් අපේ දේශයයි.

නොවැම්බර් මාසය ශ‍්‍රී ලාංකිකයන්ට විශේෂ වැදගත් කමක් ගෙන දෙන මාසයක් යැයි හැෙඟ්. ‘නමෝ නමෝ මාතා’ අපේ ජාතික ගීය වශයෙන් සම්මත කරගත්තේ 1951 නොවැම්බර් මාසයේ ය. ඊළඟට, එම ජාතික ගීය තම තමන්ගේ භාෂාවලින් ගායනා කිරීමට ඕනෑම ජන ප‍්‍රජාවකට ඇති අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගන්නා ලද්දේද මේ නොවැම්බරයේ ය. එම ජාතික ගීයෙන් එක්සත් කෙරෙන ජනතාව කඩා ඉහිරවීමට කිසිවෙකු යත්න නොදරතියි අපි විශ්වාස කරමු.

*2016 නොවැම්බර් 21 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Let the National Anthem Unite Us නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි