පසුගිය රජය ආරම්භ කර ක‍්‍රියාත්මක කළ වත්මන් රජයේ අගමැතිතුමා සිදුවිය හැකි පරිසර විනාශය හේතුකොට ගෙන තමන් බලයට පැමිණි විට නවත්වන බව සපථ කර කියූ නමුත් මේ රජය ද ජයටම කරගෙන යන ජෝර්ට් සිටි ව්‍යපෘතියට එරෙහිව මීගමුව ඇතුළු බටහිර මුහුදු තීරුවේ ධීවරයින්ගෙන් විරෝධතා මතුවිය. මෙකී විරෝධතාවයන් ගොනු කර ‘පෝර්ට් සිටි විරෝධී සංවිධානය‘ බිහි විය. මෙම සංවිධානය රාජපක්ෂ යුගයේ සිටම මෙම ව්‍යාපෘතියට එරෙහිව විරෝධතා දැක් වූ අතර බලයට කෙල හලමින් සිටි රනිල්ලා ඊට හූ මිටි තැබූහ.

එකල කොළඹ නිළ කතෝලික සභාව නිහඩව සිටි බව කවුරුත් දනිති. එකල ද රටේ විවිධ ප‍්‍රදේශවල කඳුගැට පුපුරුවා කඩා ගත් කළුගල් ද, අවට මුහුදින් වැලි ද යොදා ගනිමින් අදාළ මුහුදු ප‍්‍රදේශය ගොඩ කරමින් තිබිණි. පෝර්ට් සිටි විරෝධී ව්‍යාපාරය ජනතාව දැනුවත් කරමින් ද ජනතාව බල මුළු ගන්වමින් ද කටයුතු කරනු දැකිය හැකි විය.

පෝර්ට් සිටිය ගොඩගැනීමේ කටයුතුවල යෙදී සිටින චීන සමාගම මාධ්‍යයද බටහිර මුහුදුකරයේ කතෝලික ජනයාද හීලෑ කරන මං සොයමින් සිටියේ ය. මේ අතර සිරස මාධ්‍ය ආයතනය එකී චීන සමාගමේ අනුග‍්‍රහයෙන් ගලක් අරගෙන රට වටේ යනු දක්නට ලැබිණි. කොළඹ කතෝලික සභාවට බරපතළ ගැටලූවක් මතු වී තිබිණි. එනම් දෙවන ලෝක යුද සමයේ ශ‍්‍රී ලංකාව යුද රකුසාගෙන් බේරා ගැනීම වෙනුවෙන් මරියතුමියට කෘතඥතාව පළ කිරීම සඳහා ගොඩනැගූ තේවත්ත බැසිලිකාවේ වහලේ මතු වු කාන්දුවයි. මේ සඳහා විශාල මුදලක් වැය වන බව ගණනය කරනු ලැබිණි. පූජක ප‍්‍රාණීන් එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට ලැගුම් ගන්නට කෝටි ගණන් වැය කර ගෙවල් හදන කොළඹ නිළ කතෝලික සභාවේ පිළිසරණට අදාළ චීන සමාගම පෙරට ආයේ ය. චීන රාජ්‍යය තුළ කතෝලික ආගම ඇදහීමේ නිදහසට කොතරම් සම්බාධක තිබුණ ද ආදාළ කොම්පැනියට පහළ වූ මහා සත්ත කරුණාව නිසා දෝ බැසිලිකාවේ වහල නොමිලේ ම ප‍්‍රතිසංස්කරණය කර දෙන්නට ඉදිරිපත් විය.

port-city-campaign-11

මේ අතර අලූත් ආණ්ඩුව පැමිණි පසුවද පෝර්ට් සිටි විරෝධී ව්‍යාපාරය, ඉදිකරමින් පැවති පෝර්ට් සිටිය අසබඩ ගාලූ මුවදොරට විත් විරෝධය පාමින් එතැනට සම්ප‍්‍රාප්ත වුණු අගමැති නියෝජිතවරයාට සිය ලිඛිත විරෝධය භාර දුන්හ. පසුගිය දිනෙක මීගමුවේ සිට උස්වැටකෙයියාව දක්වා ධීවරයෝ අදාළ ගම්මානවලම රැස්වී නිහඩ විරෝධය පළ කළහ. කොළඹ නිළ කතෝලික සභාවට කිසිවක් නොකර සිටිය නොහැකි විය. එතෙක් පැවති පෝර්ට් සිටි විරෝධතාවය වැලි විරෝධයකට ලඝුවී නව මගක් ගති. මීගමුව අවට මීසම් සේවක පියතුමන්ලාගේ නිල අනුග‍්‍රහයෙන් නව ප‍්‍රාණයක් ලද ධීවරයෝ මීගමු-කොළඹ මහා මාර්ගය අවහිර කර පසුදා සිට දින ගණනාවක් දරුපවුල් පවා උගසට තබා, රැකියාවට නොගොස් දිවා රෑ මීගමුව නගර සභා පිටියේ රැදී උන්හ. රජය ද කරුණාබරිත විය. කි.මී 10කට එහායින් පමණක් වැලිගන්නා බව නිවේදනය කෙරිණි. නමුත් පෝර්ට් සිටි වැඬේ ජයටම කෙරෙයි.

කැලෑපත්තරයක්

ඉහත අවසාන සිදුවීමට පෙර වූ තවත් සිදුවීමක උභතෝකෝටිකය ද පාඨක භවතුන්ගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කිරීම ප‍්‍රයෝජනවත් විය හැක.

පසුගිය දිනෙක මීගමුවේ සිට උස්වැටකෙයියාව දක්වා ගම්මට්ටමෙන් ජනතාව දැක් වූ නිහඩ විරෝධයෙන් පසු එළඹි ඉරුදින එම ප‍්‍රදේශවල පල්ලිවල සැදැහැවතුන්ට ලැබෙන පරිදි මඩ කැලෑපත්තරයක් බෙදා හැර තිබුණි. ඒ පූජකවරයෙන් පසු 70 දශකයේ සිට මේ දක්වා මීගමුව හා තදාසන්න ප‍්‍රදේශවල දිළිඳු ජනයා සංවිධානය කරමින් ජනතා සංවිධාන ගොඩනගමින් වචනයෙන් කියා නිම කළ නොහැකි සුවිශාල මෙහෙවරක යෙදුණු හා දැන් පෝර්ට් සිටි විරෝධී ව්‍යාපාරයේ පෙරමුණේ සිටින ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාට එරෙහිව ය.

ඒ මඩ කැලෑ පත්තරයේ අරමුණ පැහැදිලිය. ඒ පෝර්ට් සිටි විරෝධී ව්‍යාපාරය කඩා බිඳ දැමීමය. එහි පැහැදිලිව සටහන් වී තිබුණේ කතෝලික ජනයා පොර්ට් සිටියට විරුද්ධ නැති බවක් කියැවෙන අමූලික බොරුවය.

මේ කැලෑපත්තරය බෙදා හැරිමේ යෙදුණු දෙදෙනෙකු පිළිබඳව පෝර්ට් සිටි විරෝධී ව්‍යාපාරයට දැනගන්නට ලැබිණි. ඔවුන් පිළිබඳ තොරතුරු මීගමුව පොලිසියට ලබා දීමෙන් අනතුරුව පොලීසිය විමර්ශනයක් කැදවීය. පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය හා සම්බන්ධ පියතුමන්ලා හා අදාළ මඩ කැලෑ පත්තරය බෙදාහැරීමට සම්බන්ධ වූ දෙදෙනා මුහුණට මුහුණ පොලිසිය ඉදිරියේ සම්මුඛ වීමෙන් පසු මාධ්‍යයට ප‍්‍රකාශයක් කළ පියතුමෙකු පැවසූයේ අදාළ මඩ කැලෑපත්තරය ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයෙන් නිරිමාණය වී බෙදා හැරි එකක් බැව් ඔවුන් ප‍්‍රකාශ කළ බවයි. මේ පිළිබඳ වංහුං නියම ලෙස දැන ගැනීම පිණිස පෝර්ට් සිටි විරෝධී ව්‍යාපාරය හා ඓන්ද්‍රීය ලෙස බැදී ඇති ක‍්‍රිස්තියානී සහයෝගිතා ව්‍යාපාරය අදාළ අමාත්‍යාංශයේ ඇමතිතුමා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද කිසිදු සුබවාදී ප‍්‍රතිචාරයක් නැත. මීගමුව අවට මීසම්වල පියතුමන්ලාගේ අනුග‍්‍රහයෙන් පෝර්ට් සිටි විරෝධය වැලි ගැනීමට එරෙහි විරෝධයක් බවට ලඝු වි දවස් ගණනාවක් ධීවරයන් මීගමු නගර සභා පිටියේ සිර කර සටන දියාරු කර හැරෙන්නේ ඉන් ඉක්බිතිවය.

ඥානාර්ථ ප‍්‍රදීපය

පෝර්ට් සිටි විරෝධය වැලි විරෝධයක් බවට පරිවර්තනය කර දියාරු කිරීමේ සටන රජයේ පාර්ශ්වයෙන් සිදුවූ තදබල විරෝධයකින් තොරව ජයගැනීම නිසා උද්දාමයට පත් ආචාර්ය කැමිලස් පියතුමාගේ කර්තෘත්වයෙන් යුත් කතෝලික සභාවේ නිල පුවත්පත වූ ඥානාර්ථ ප‍්‍රදීපයේ කතුවැකිය හැමදාම ජනතාවාදී අරගල භූමියේ සිටියවුන් හාස්‍යයට ලක්කිරීමට තරම් උඩගු වීම අපට නම් නියම හාස්‍යජනක කරුණකි. ජනතාවාදී අරගල භූමියේ හුළගක්වත් නොවදින්නට පරිස්සම්වන එතුමන්ලා අරගල කරුවන්ට අරගල කරන හැටි කියා දීම තව තවත් හාස්‍යජනකය.

ඥානාර්ථ ප‍්‍රදීපයේ හිටපු සංස්කාරක සාන්ත සාගර පියතුමා තමන් උපන් ගම් ප‍්‍රදේශයට ද ඍජුවම බලපාන පෝර්ට් සිටි සිද්ධියට එරෙහිව පැහැදිළි ස්ථාවරයක් ගෙන තිබිණි. මේ පිළිබඳව කොළඹ නිල කතෝලික සභාවේ ඉහළම තැන්වල උදහසට එතුමා ලක් වූ බව සැලය. ප‍්‍රදීපයේ සකසු අංශවලින් අසන්නට ලැබෙන ආරංචි මාර්ග අනුව එතුමාගේ මාරුවට ද බලපා ඇත්තේ එය ය. මෙම ලියුම්කරු මේ පිළිබඳව එතුමා සමඟ කළ සංවාදයේදී මේ බව තහවුරු වන්නට තරම් කරුණු අනාවරණය විය. කෙසේ වුවද පුද්ගලබද්ධ වීම වලක්වනු පිණිස ඒ සියලූ කරුණු අනාවරණය කිරීමෙන් වැලකීම පිළිබඳව පාඨකයෝ කමත්වා!

අපෝස්තලික සේවාව යනු මීසම් ආකෘතිය තුළ පමණක් කෙරෙන කෙරුවාව බැව් සිතන එක්තරා නොමේරූ තරුණ පියතුමෙකු ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ මුහුණටම එතුමාගේ අපෝස්තලික සේවාව හෑල්ලූ කරමින් අපහාසාත්මකව දෝෂාරෝපණය කළ බව උස්වැටකෙයියාව පැත්තෙන් වාර්තාවේ. ඒ ගැන අපට නම් ඇත්තේ පිළිකුලකි. 70 දශකයේ සිට මේ දක්වා සරත් ඉද්දමල්ගොඩ පියතුමා කළ සේවාවට අලගු තියන්නටවත් කිසිවක් කර නොමැති එතුමන්ලා සිතා සිටින්නේ මීසමක් භාරදුන් පමණින් තමන් තරම් කෙරුමෝ ලොව නැති බව ය. අඩුම තරමින් වැඩිහිටි පියතුමෙකුට ඇහුම්කන්දීමට හෝ ගරු කිරීමටවත් සදාචාරයක් නැති එතුමන්ලා වැනි අය ජනතාවට උගන්වන දහම ප‍්‍රශ්නාර්ථයකි.

මෙවන් ප‍්‍රතිචාරවලට අපට ඇත්තේ එකම උත්තරයකි. ඒ කතෝලික සභාවේ සසුන් පියා වූ ප‍්‍රැන්සිස් පාප්තුමා පජකාධිපත්‍යය (Clericalism) පිළිබඳව ලියූ උපදේශ ලිපිය කියවන ලෙස ඉල්ලා සිටීමයි. එය අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි බව දැනගැනීම පිණිස වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමි.

port-city-campaign-7

කොළඹ නිල කතෝලික සභාවට ප‍්‍රශ්න කිහිපයක්

01. බටහිර මුහුදුකරේ ධීවර ජනතාව ද ඔබගේ නිල පුවත්පත වන ඥානාර්ථ ප‍්‍රදීපය ද මුල සිටම ගොනු කළ පෝර්ට් සිටි විරෝධය වැලි විරෝධයක් දක්වා පසුබැස්සවූයේ ඔබ පෝර්ට් සිටි ව්‍යාපෘතිය අනුමත කරන නිසා ද?

02. ගොඩ මුහුදෙන් වැලි නොගෙන දියඔ මුහුදෙන් වැලි ගැනීම මගින් පරිසර හානියක් සිදු නොවන්නේ යැයි ඔබට සහතික විය හැකි ද?

03. පෝර්ට් සිටිය ඉදි කිරීම නිසා ලාංකීය ධීවරයන්ට හිමි මත්ස්‍ය භූමි ඔවුන්ට අහිමි නොවේයැයි ඔබට කිව හැකිද?

04. පෝර්ට් සිටිය ඉදි කිරීමෙන් අනතුරුව කොළඹ හා කැලණි ගග තදාසන්න ප‍්‍රදේශවල සිදු විය හැකි යැයි අනුමාන කෙරෙන පස් කදු කඩා වැටීම් හා ගංවතුර තර්ජන ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?

05. අවු. 99 බද්දකට රටේ කොටසක් පිටරටකට විකිණීම මගින් රටේ ස්වෛරීත්වයට ඇති විය හැකි තර්ජනය හා හානිය පිළිබදව මොහොතක්වත් ඔබ සිතා ඇත්ද?

06. මෙය මූල්‍ය නගරයක් බව බවට දැනටමත් හෙළිදරව් කොට ඇත. මුදල් හම්බ කිරීම ප‍්‍රමුඛතම අරමුණ වුණු නගරයක සුරැකෙන ආගමික හා සදාචාරාත්මක වටිනාකම් මොනවාද?

අවසාන වශයෙන් ….

අවසාන වශයෙන් මගේ සභාව වෙනුවෙන් මගේ සමිදුන්ට කරන යාච්ඥාවකින් මෙය නිමා කරන්නට රිසි වෙමි.

‘‘ දිළිදුන් අතර ඉපිද, නිරිඳුන් හා පූජකයන් විසින් පාවා දෙනු ලදුව, කුරුසපත් කරන ලද්දා වූ මගේ ආදර ජේසු ස්වාමිනී, ඔබ වහන්සේ ම පමණක් සිරස වූ මගේ ශුද්ධ වූ සභාවට ප‍්‍රඥාවත්, දුරදක්නා නුවණත්, නිහතමානී ගුණයත් දානය කළ මැනව. ආමෙන්…

අජිත් හැඞ්ලි ඇන්ටන් පෙරේරා