එක්සත් ලංකාවක් තුල ජාතීන්ගේ සමානාත්මතාවය පදනම් කරගෙන ජීවත් විය යුතු බව, දැඩි හැගීමකින් යුක්තව කතා කල නඩරාජා රවී රාජ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මරා දැමුවේ මෙයට වසර 10 කට පෙර කොළඹ දී මහා දවාළේය. මේ කාලය තුළ ආණ්ඩුව දඩාවතේ ගිය බල්ලන්ට දුන්න රැකවරණය සහ ආරක්ෂාවේ සහතිකය ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් පෙනී සිටි මහජන මන්ත්‍රී වරයෙකුට දීමට අපොහොසත්වීම කොතරම් නම් අයුක්තියක්ද?

එසේත් නැත්නම් ආණ්ඩුවේ හිතුවක්කාරී වැඩ නොබියව විවේචනය කල ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදියෙකුට මහමග දී ජීවිතයට ඇති අයිතිය අහිමි කලේ එලෙසින්මය.

මේවා සියල්ලට ම වගකිව යුත්තේ රකපක්ෂ පාලනය විසින් නිර්මාණය කරන ලද පාතාල රාජ්‍යයයි. රවි රාජ් මහදවල් කොළඹ ජනාකීර්ණ වීදියකදි සහාසික ලෙස වෙඩි තබා ඝාතනය කිරීමට තරම් ඝාතකයින් එඩිතර වුයේ එය ට ආණ්ඩුවේ ආරක්ෂක අංශයන්ගේ දැඩි සහයෝගය ලද බැවිනි. මිනී මරුවන් අධිකරණය ඉදිරියට ගෙන එම සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ද උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන යාමට සිදුවිය.

යහපාලන ආණ්ඩුව බලය පත්වීමට පෙර ඔව්හු රවි රාජ් ඝාතනය ට සම්බන්ධ පුදගලයන් අත්අඩංගුවට ගෙන සාධාරණය ඉටු කරන බවට දැඩි ප්‍රතිඥා දුන්හ.

නමුත් සිදු වුයේ කුමක්ද? මසක් නඩු අසා නඩු විභාගයෙන් පසුව සියලුම සැකකරුවන් නිදොස් කොට පසුගිය සිකුරාදා මුදා හැර ඇත. මේ සැකරුවන් හමුදාවේ බුද්ධි අංශයට සහ කරුණාගේ ත්‍රස්ත කල්ලියට අයත් වූවන් බව කීම පමණක් මෙහිදී ප්‍රමාණවත්ය.

ජූරි සභාවේ සියල්ලන්ම සිංහලයන් වීම වීම අනෙක් කරණය වෙයි. දැන් ඉතින් රවිරාජ් මරා දැමු මිනීමරුවන් කවුද යන්න විභාගකොට නැවතත් යුක්තිය පසිදලීමට දේශපලන අධිෂ්ඨානයක් යහපාලන ආණ්ඩුවට නැති බවට අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත.

දැන් මිනීමරුවන් නිදැල්ළේය. එපමණක් නොවේ.

මෙය පැහැදිලිවම මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරයා අපරාධ සහ දුෂණ සොයමින් දුෂ්කර කටයුත්තක නියැළුන ආණ්ඩුවේ ආයතන වලට සහ කොමිසන් සභාවලට දොස් පවරමින් කරන ලද දේශනය නිසා සිදු වූ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වක ගැසීමේ හැරවුම් ලක්ෂයට සමීප සම්බන්ධයක් දරයි. රවී රාජ් ඝාතන නඩුවේ සැකකරුවන් උසාවිය මගින් නිදහස් කිරීම ආණ්ඩුවේ කෙරුමන්ට ලොකු අස්වැසිල්ලක් වූ බව නිසැකය. අපට අවශ්‍ය මේ වගේ රටක්ද? මෙබදු යුක්තියක් ද? මිනිස් ජීවිතය එතරම් ම බාල කොට දේශපාලන හේතු නිසා ඝාතනය කොට අවසානයේ යුක්තිය ද ඝාතනය කොට වළලා දැමීම කොතරම් අපරාධයක්ද? මේවා බරපතල දේශපලන අපරාධ පමණක් නොව සංහිදියාව පිළිබද බලාපොරොත්තු නැති බංග කරන දේවල්ය. ලංකාවේ යුක්තිය පසිදලීම පිලිබදව ද්‍රවිඩ ජනතාව තුල බලාපොරොත්තු සුන්වීම මෙහි අනෙක් ප්‍රතිපලයයි. මෙය ඔවුන් ජාතියක් වශයෙන් අත්කර ගෙන ඇති දෙවන පන්තියේ දේශපාලන සත්‍ය ට දෙනු ලබන තිත්ත ඇත්තයි. යුක්තිය පසිදලීම පිළිබද විශ්වාසය නැතිබංග කිරීම ද්‍රවිඩ එක්සත් පෙරමුන විසින් ද්‍රවිඩ අන්තවාදීන්ට එරෙහිව ගෙයන එක්සත් ලංකාවක් ගොඩ නැගීමේ ප්‍රයත්නය බරපතල ලෙස අභියෝගයට ලක් කරන්නකි. යුක්තිය ඉටුකිරීම පිලිබදව සබෑ තත්ත්වය මෙය නම් ද්‍රවිඩ ජනතාව එක්සත් ලංකාවක් තුල ජීවත් වීමේ අභිලාශය ශක්තිමත් කරන්නේ කෙසේද යන්න ගැන විසදීමට දුෂ්කර වූ ගැටළුවක් මෙහිදී පැන නැගී. මේ ගැටලුවට විසදීමට මේ රටේ නීතිය සහ ආරක්ෂාවට වග කිව යුත්තන් අපොහොසත් වන්නේ නම් අප ගමන් කරන්නේ එයින් ඇතිකරවනු ලබන අතිශය භයානක ප්‍රතිපල විදීමට සිදුවන අනාගතයකට මෙන්ම එයින් අතිශය වේදනාවට පත්වන්නේ අපේ රටේ අහිංසක ජනතාව බව අමතක නොකල යුතුය.

රවි රාජ් ඝාතනයට යුක්තිය ඉටු නොකිරීම ජන සමුහයක් වශයෙන් මුළු ඉතිහාසය පුරාම ද්‍රවිඩ ජනතා ව මුහුණපාන ලද අසාධාරණයන්ට තවත් එබදුම අසාධාරණයක් එක් කිරීමක් වනු ඇත. එසේම මෙය ඔවුන්ට ජාතියක් වශයෙන් සිදුවන/සිදුකරන පොදු අසාධාරණය සහ දුක් ගැනවිලි ඔවුන් එක් ලෙසකින් තවත් ශක්තිමත් කරන බලවේගයක් බවට පත්වනු ඇත.

දයාපාල තිරාණගම | Dayapala Thiranagama