ජනාධිපතිවරණ කාලය පුරා ට‍්‍රම්ප්, ඇමරිකානු අධිරාජ්‍යවාදී අරමුණු ජය ගැනීම හා වොෂින්ටනයේ නියෝග ක්‍රියාත්මක කරවීම සඳහා න්‍යෂ්ටික අවි යොදා ගැනීම වෙනුවෙන් නැවත නැවතත් පෙනී සිටියේය.

එක්සත් ජනපද න්‍යෂ්ටික අවි තොග වැඩි කිරීමට යෝජනා කරමින් නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් බ‍්‍රහස්පතින්දා නිකුත් කරන ලද ට්වීටර් පනිවිඩය, ලෝකය පුරා ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය බවට පත්ව ඇත. ට‍්‍රම්ප් මෙසේ සඳහන් කලේ ය, “න්‍යෂ්ටික අවි පිලිබඳව ලෝකයා යථා අවබෝධය ලබා ගන්නා තෙක් එක්සත් ජනපදය, තම න්‍යෂ්ටික හැකියාව විශාල වශයෙන් ශක්තිමත් කල යුතු අතර පුලුල් කල යුතු ය.”

ට‍්‍රම්ප්ගේ ට්වීටර් පණිවිඩය බොහෝ දුරට, ඉහල පෙළේ රුසියානු මිලිටරි නායකයන්ගේ රැස්වීමේ දී ව්ලැඩිමීර් පුටින් විසින් කරන ලද කතාවට ප‍්‍රතිචාරයකි. වාර්තා වන පරිදි, රුසියානු දේශසීමාවේ ප‍්‍රකෝපකාරී ලෙස එක්සත් ජනපද හා නේටෝ හමුදා ශක්තිමත් කිරීම හා නැගෙනහිර යුරෝපයේ එක්සත් ජනපද මිසයිල නාශක පද්ධතියක් රැඳවීම ගැන සඳහන් කරමින්, පුටින් මෙසේ පවසා ඇත: “විශේෂයෙන් ම පවත්නා හා අනාගත මිසයිල ආරක්ෂක පද්ධතීන්ට විනිවිදිය හැකි යයි විශ්වාස කල හැකි මිසයිල සංකීර්න සමග අප, න්‍යෂ්ටික මූලෝපායික බලවේගයන්හි මිලිටරි හැකියාව ශක්තිමත් කලයුතු ය.

සූදානමේ තබා ඇති න්‍යෂ්ටික බෝම්බ සවිකල මිසයිල 7,000 බැගින් සිය හමුදාවන් සතුව ඇති ට‍්‍රම්ප් හා පුටින්, න්‍යෂ්ටික අවි ගැන විවෘතව සාකච්ඡා කිරීමෙන් අවධාරනය කෙරෙන්නේ, භූ මූලෝපායික ගැටුම්වල නිරන්තර වර්ධනය හමුවේ ලෝක ජනතාව මුහුණ දෙන දැවැන්ත තර්ජනය යි.

සිය කැබිනට් මණ්ඩල සාමාජිකයින් ද ඇතුලුව ඔහු නියෝජනය කරන්නේ, න්‍යෂ්ටික බලවතෙකු වන චීනය―රුසියාව නොව― තම ගෝලීය ආධිපත්‍යයට විරුද්ධ බලගතු ම හා ආසන්න තර්ජනය ලෙස දකින ඇමරිකානු ප්‍රභූවේ පාර්ශවයක් බවට ට‍්‍රම්ප් බොහෝ විට ඇඟවුම් කර ඇත. ඔහු මෙන්ම බලයට පත්වීමට නියමිත ඔහුගේ පාලනාධිකාරය, බීජීනය සමග වෙළඳ යුද්ධයේ හා මිලිටරි ගැටුම්වල යුදවාදී න්‍යාය පත‍්‍රය සකසමින් සිටිති. කෙසේ නමුත් ඔහුගේ ට්වීටර් පනිවිඩය, විශේෂයෙන් ම පුටින් තන්ත‍්‍රය චීනයට සහාය ලබා දෙන්නේ නම් හෝ වෙනත් අයුරකින් ට‍්‍රම්ප්ගේ ධවල මන්දිර සැලැසුම්වලට බාධා කිරීමට උත්සාහ ගන්නේ නම්, ඔහු ස්ථිරවම පෙන්ටගන් ආස්ථානය ගන්නා බවට මොස්කව් වෙත කෙරෙන පැහදිලි අනතුරු ඇඟවීමකි.

ඩිමොක‍්‍රටික් පක්ෂය හා ඇමරිකානු මාධ්‍යයේ වැඩි කොටස විසින් ට‍්‍රම්ප් “සයිබීරියානු අපේක්ෂකයෙකු” මෙන් ම පුටින්ගේ “ඉත්තෙකු” බවට කරනු ලබන සියලු ප‍්‍රකාශන සම්බන්ධයෙන් ගත් විට, ඕනෑම හෝ සියලු එදිරිවාදීන්ට විරුද්ධව, ඇමරිකානු පාලක පන්තියේ මූලෝපායික හා ව්‍යාපාරිකයේ අවශ්‍යතා ඔහුගේ පාලනාධිකාරය විසින් නිර්දය ලෙස තහවුරු කරනු ඇත. පශ්චාත් දෙවැනි ලෝක යුද්ධ පර්යායේ පිළිගත් නීතිමය හා රාජ්‍යතාන්ත්‍රික සම්මතයන්ට හෝ ඇමරිකානු ධනේශ්වර දේශපාලන සම්ප‍්‍රදායන් පිලිබඳ සංකේතාත්මක බැඳීමකට හෝ යටත් නොවන පරිදි එසේ සිදුවනු ඇත.

බිලියනපතියන්, ජනරාල්වරුන්, අන්තවාදී මිලිටරිවාදීන් හා දක්ෂිනාංශික ප‍්‍රතිගාමීන්ගේ කුමන්ත‍්‍රණ කල්ලියක් පිරිවරා ගත් තවත් බිලියනපති කයිවාරුකාරයෙකු වන ට‍්‍රම්ප්, ට්විටර් පනිවුඩ හරහා හිතූමතේ ඔහුගේ න්‍යෂ්ටික ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශයට පත් කරන අතර පුලුල් සැලැසුම් සකස් කිරීම ඔහුගේ කාර්ය මණ්ඩලයට බාර කරයි. ඉදිරි සති හතරේ දී, ග‍්‍රහ ලෝකය වැනසීමේ කටයුත්ත සඳහා න්‍යෂ්ටික කේත හා බලය පවරා දෙනු ලබන්නේ මේ මිනිසාට ය.

ජනාධිපතිවරණ කාලය පුරා ට‍්‍රම්ප් නැවත නැවතත් පෙනී සිටියේ, ඇමරිකානු අධිරාජ්‍යවාදී අරමුනු ජය ගැනීමට හා වොෂින්ටනයේ නියෝග බලගැන්වීම පිණිස න්‍යෂ්ටික අවි යොදා ගැනීම වෙනුවෙන්ය.

මාර්තු 23දා ට‍්‍රම්ප්, බ්ලූම්බර් ග් ප‍්‍රවෘත්ති සේවයට පැවසුවේ, අයිඑස්අයිඑස් සංවිධානය “අප ඔවුන් යොදා ගැනීමට ඉඩ ඇති බව සිතීම” තමාට අවශ්‍ය බව ය. අවස්ථා කීපයක දී යොදා ගෙන ඇති සූත‍්‍රගත කිරීමකදී ඔහු ප‍්‍රකාශ කලේ, “කල් තියා කිව නො හැකි ආකාරයේ” වාතාවරනයක් තමන්ට අවශ්‍ය බව යි. ඔහුගේ සූදානම කුමක් කිරීමට දැ යි ලෝකයම දන්නේ නැත. “අවංකව ම, මම සිතමින් සිටින්නේ කෙසේ දැ යි හතුරන් නො දැන ගැනීම මට අවශ්‍යය යි” ඔහු පැවසී ය.

MSNBC රූපවාහිනී ජාලයට ඔහු මාර්තතු 30දා පැවසුවේ, ISIS සංවිධානය එක්සත් ජනපදයට “පහර” දුන හොත් මැද පෙරදිගදී තමා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සූදානම් බව යි. ෆොක්ස් ප‍්‍රවෘත්ති සේවයට මාර්තු 31දා ඔහු පැවසුවේ, “එය විශාල ප‍්‍රදේශයක්” වන නිසා, අනුමාන කල හැකි පරිදි රුසියානු ඉලක්කවලට එරෙහිව, යුරෝපය තුල න්‍යෂ්ටික ප‍්‍රහාර එල්ල කිරීමේ නියෝග “බැහැර නොකරන” බව යි.

“අපට න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට නොහැකි මන් දැ යි
” පැහැදිලි කරන ලෙස ට‍්‍රම්ප්, “විදේශ ප‍්‍රතිපත්ති විශේෂඥයෙකුට” නැවත නැවතත් අභියෝග කර ඇති බව අගෝස්තු මාසයේ දී, එම්එස්එන්බීසී වාර්තා කලේ ය. එවන් වචන හුවමාරුවක් සැබවින්ම සිදුවූ බව සනාථ කෙරී නැත.

එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව පලවෙන නිව්යෝක් ටයිම්ස් ඇතුලු අනෙකුත් මාධ්‍ය හොරනෑ උත්සාහ කරන්නේ, නව ජනාධිපතිගේ ට්වීටර් පනිවුඩය, එක්සත් ජනපද න්‍යෂ්ටික ධර්මතාවේ ඓතිහාසික මාරුවක් ලෙස පින්තාරු කිරීමට ය. ට‍්‍රම්ප් “ඇමරිකානු ආරක්ෂක මූලෝපාය තුල න්‍යෂ්ටික අවිවල කාර්යභාරය අඩු කිරීමේ දශක ගනනාවක ජනාධිපතිවරුන්ගේ ද්වීපාර් පාර් ශ්වීය උත්සාහයන් අවසානයට ගෙන ඒමේ ව්‍යායාමයක නිරතව සිටින බව පෙනේ” යැයි බ‍්‍රහස්පතින්දා ටයිම්ස් පත‍්‍රය සඳහන් කලේ ය.

බීබීසීය ට්වීටර් පනිවුඩය විස්තර කලේ, “න්‍යෂ්ටික අවිවලින් තොර ව සාමය හා අරක්ෂාව පැතීමේ ජනාධිපති ඔබාමාගේ වර්තමාන ප‍්‍රතිපත්තියෙන් පෙරලිකාරී ව වෙන්වීමක්” ලෙස ය.

එය ඒ ආකාරයේ කිසිවක් නොවේ. එක්සත් ජනපද න්‍යෂ්ටික අවි තොග අවම කිරීම ඔබාමාගේ ප‍්‍රතිපත්තිය නො වී ය. හාස්‍යජනක ලෙස ඔබාමාට 2009 නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමෙන් යන්තම් වසරකට පසුව 2010දී, න්‍යෂ්ටික ස්ථාපන පුනරීක්ෂනය (Nuclear Posture Review), න්‍යෂ්ටික අවි ගොඩගැසීම නතර කරන ගිවිසුම උල්ලංඝනය කරන බව පෙනෙන රටවලට එරෙහිව පලමුව න්‍යෂ්ටික ප‍්‍රහාර එල්ල කිරීමේ එක්සත් ජනපදය සතු අයිතිය නැවතත් ප‍්‍රකාශ කලේ ය. 2014දී ඔහුගේ පලනාධිකාරය, පවතින්නා වූ න්‍යෂ්ටික බෝම්බ සවි කල මිසයිල වලට වඩා බර දරන විශාල, විනාශකාරී, වඩා දියුණු මිසයිල විහිදුම් පද්ධතියක් වර්ධනය කිරීමට හා රැඳවීමට දැවන්ත “නවීකරනයක්” සඳහා නියෝග කළේ ය.

ඔබාමා විසින් ආරම්භකත්වය ගැණුනු සැලසුම් සඳහා වසර 10ක දී ඩොලර් බිලියන 355ක් ද දශක තුනක දී ඩොලර් ට්‍රිලියනයක් ද වියදම් වෙතැ යි ඇස්තමේන්තු කෙරිනි. නව මූලෝපායික බෝම්බ ප‍්‍රහාරක යානා හා බැලස්ටික් මිසයිල සබ්මැරීන නිෂ්පාදනය කිරීම සහ පවතින න්‍යෂ්ටික අවි කම්හල් හා පර්යේෂනාගාර වැඩි දියුණු කිරීම ද ඊට ඇතුලත් වුනි. ආසියාවේ දී, ජපානය තුල එක්සත් ජනපද මිසයිල්-නාශක පද්ධතියක් ස්ථානගත කරමින් ඇත. උතුරු කොරියාව හෝ චීනයට එරෙහිව පළමු න්‍යෂ්ටික ප‍්‍රහාරය එල්ල කිරීමේ ආරක්ෂක පද්ධතියක් දැන් දකුණු කොරියාව තුල ගොඩනගමින් තිබේ. එහිදී කුමන හෝ එකට එක කිරීමේ ප‍්‍රහාරක මිසයිල වෙඩි තබා බිම හෙළීම පිණිස එම ආරක්ෂක පද්ධතිය යොදාගනු ඇත. පුටින්ගේ මෑත ප‍්‍රකාශ මගින් පොළඹවන ලද එවැනිම පද්ධතියක් යුරෝපය තුල ස්ථාපනය කෙරී ඇත.

පෙර පැවති පාලනාධිකාරයන්, විශේෂයෙන් ම ඔබාමාගේ, පිළිවෙත් මගින්, සතුරන් ලෙස චෝදනා කරනු ලබන මෙන් ම පුද්ගලයන් මිලියන සිය ගණනක් න්‍යෂ්ටිකව විනාශ කිරීමට තර්ජනය කරන, එලඹෙන ට‍්‍රම්ප් පාලනාධිකාරයේ හැකියාව, අඩු කරනවා වෙනුවට නාටකාකාර ලෙස සවිබල ගන්වා ඇත.

ස්ටැලින්වාදී තන්ත‍්‍රය 1991දී සෝවියට් සංගමය විසුරුවා හැරීම, ඇමරිකානු පාලක පන්තිය විසින් දකිනු ලැබුවේ, “එක ධ‍්‍රැවයක” ආරම්භය ලෙස ය. අවසාන විග‍්‍රහයේ දී තම න්‍යෂ්ටික අවි ගබඩාවේ උපකාරයෙන් එක්සත් ජනපදය අදහස් කරන්නේ, අඛන්ඩ යුද්ධ හා රාජ්‍යතාන්ති‍්‍රක කුමන්ත‍්‍රණ හරහා සිය බැංකු කරුවන්ගේ හා ව්‍යාපාර සමූහයන්ගේ අසීමිත ගෝලීය ආධිපත්‍යයට පවතින සියලු බාධා අවසන් කර දැමීමට ය.

වසර විසිපහකට පසුව ට‍්‍රම්ප් පාලනාධිකාරය, “ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ” තම පොරොන්දුව සමග මූර්තිමත් කරන්නේ, සිය අරමුණ ජය ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් ඇමරිකානු පාලක කවයන් තුළ පවතින කැකෑරෙන අසහනය යි. විශේෂයෙන් ම, න්‍යෂ්ටික අවි ඇතුලු ඇමරිකාවේ ආර්ථික සම්පත් හා සාපේක්ෂ මිලිටරි ශක්තිය නිසා, චීනයේ හා රුසියාවේ ධනේශ්වර ආණ්ඩුවලට ඔවුන් සලකනු ලබන්නේ, අවශ්‍ය වුවහොත් යුද්ධයෙන් කුඩු කර දැමිය යුතු බාධාවන් ලෙස ය. මීට පෙර නොදුටු විරූ ලෙස ට‍්‍රම්ප් ලෝක දේශපාලනයට ගෙන එන්නේ, අවිනිශ්චිත බව හා අස්ථාවරත්වයේ වාතාවරණයකි.

ජාත්‍යන්තර කම්කරු පන්තියට සිය ඉරණම මෙන් ම මානව වර්ගයාගේ පැවත්ම, ධනේශ්වරයේ කිසියම් කොටසක් අතට පවරා දිය නො හැක.

අධිරාජ්‍යවාදී පීඩනයේ උග‍්‍ර වීම කෙරෙහි දැක්වෙන චීන හා රුසියානු ධනේශ්වර ආණ්ඩුවල ප‍්‍රතිචාරය, ලෝක ජණගහනයේ අති බහුතරයේ උත්සුකයන්ට විරුද්ධ ය. ඒවා කම්කරු පීඩිත ජනතාවගේ පක්ෂපාතිත්වය ලබා දිය යුතු පාලන තන්ත‍්‍රයන් නො වේ. ධනේශ්වර කතිපයාධිකාරයේ තුනී ස්ථරයක දූෂිත සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන්, න්‍යෂ්ටික සමූලඝාතනයක් සමගින් ඇමරිකානු ජනතාවට තර්ජනය කරන බීජීනයේ හා මොස්කව් හි ප‍්‍රතිපත්තිය, නෛසර්ගිකව ම ප‍්‍රතිගාමීය. ඒ අයුරින් ම, ජාත්‍යන්තර ආතතියේ අනිවාර්ය වර් ධනයට ජර්මන්, ජපන් හා අන් තැනක පාලක ප‍්‍රභූවේ එකම උත්තරය වන්නේ ද මිලිටරිවාදය හා න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීම සඳහා වන ඔවුන්ගේ ම න්‍යායපත‍්‍රයකි.

යුද්ධයේ විනාශය නතර කල හැකි එකම ක‍්‍රමය, ධනවාදයේ බංකොලොත්කම හා ජාතික රාජ්‍ය පද්ධතියට එරෙහි එකම ශඛ්‍ය විසඳුම සඳහා සටන් කරන කම්කරු පන්තියේ එක්සත් අරගලය පමණි. සෑම රටකම කම්කරු පන්ති අරගලවලට මග පෙන්වන ඉදිරි දර්ශනය ලෝක සමාජවාදී විප්ලවය යි.

ජේම්ස් කෝගන්
(@WSWS)

සබැදි සටහන්

ජනපති සිරසේන ඔබාමාට නොලියූ ලිපියක් ට්‍රම්ප්ට ලිවේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජනපති සිරිසේනට ලිපියක්